සරත්චන්ද්‍ර කුමාරයන් ගෙන් සාධු ගී වන්දනා - මැයි 25 දා

මැයි 20, 2024

 

මීට වසර සිය ගණනකට පෙර සිටම මිනිසා චිත්තවේග හා බුද්ධි වර්ධනය පාලනයටත් ඒ වර්ධනය පිණිසත් නොගත් වෑයමක් නැති තරම්ය. මේ කාර්යයෙහිලා අත්හදා බැලූ විවිධ දේ අතර තාල සහ නාද ඉදිරියෙන්ම දක්නට ලැබුණා. නාද, තාල හා හඬ මුසුව නිමැවුණු ගීතය හෝ සංගීතය මෙකී කාර්යයෙහි ලා කෙතරම් දුරට දායක වූයේ දැයි ඔබටම දැන් දැනෙනු ඇත. සිතුවිලි හා චිත්තවේගය පාලනය කිරීම අරභයා සංගීතයෙන් කෙරෙන කාර්යය මහඟු බව පසක් කරමින් සංගීත් නිපුන් සරත්චන්ද්‍ර කුමාර ගුරු පියාණන් මෙහෙයවන ‘සාධු ගී වන්දනා’ ගීත අරුත පැහැදිලි කරමින් ‘සාදු ගී බණවරය’ 2024 මැයි 25 වැනි දින ප.ව. 7.00ට හොරණ අඟුරුවාතොට උඩුවර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. මෙවන් උදාරතර වැඩසටහනකට මුල් පිරීමම පෙර සසර භවයේදී ලද කුසල්වල බල මහිමය මෙතෙකැයි කිව නොහැකිය.

 

ඔබතුමන් විසින් සිදු කරනු ලබන මේ සාදු ගී බණවරය පිළිබඳ හැඳින්වීමක් කරන්න

 

මේ වනවිට අපි අතර තිබෙන ගීත අතරින් බුදු ගුණ, මවුපිය ගුණ, දේශාභිමාන ගීත මුල්කර ගනිමින් සාදු ගී බණවරය වැඩසටහන පවත්වනු ලබනවා. එහිදී සිදු වන්නේ එම ගීතවල සැබෑ අරුත පැහැදිලි කිරීමත්, විචාරයත් තෝරාගත් මෙවැනි ගීත 15ක් එදින විචාරය කෙරෙනවා.

වත්මන් තරුණ පරපුර ඉලක්කකර ගෙන සිදු කෙරෙන මහත් සද්ක්‍රියාවක් මේක. හුදෙක් තාක්ෂණික ලෝකයේ අතරමං වී සිටින දරු පරපුර මෙවැනි රසවින්දනයක් මඟින් හෝ රටට, දැයට, සමාජයට යහගුණ ඇති පිරිසක් බවට පත් කිරීම මෙහි ඒකායන අරමුණයි.

 

සාදු ගී බණවරය සඳහා එකතුවන පිරිස ගැනත් මතක් කරමු.

 

හොරණ අඟුරුවාතොට උඩුවර ශ්‍රී ශෛලතලාරාම විහාරයේ විහාරාධිපති හාමුදුරුවෝ ප්‍රමුඛ දායක සභාව මෙහි සංවිධාන ශක්තිය හොබවනවා. මෙහි ගීත ගායනය මා විසින් සිදු කරනු ලබනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ලසන්ත මීගහවත්ත ගුරු මහත්මයා සහ මගේ සිසු සිසුවියන් දෙපොළක්වන අමිල වික්‍රමනායක සහ දිල්මි ධනංජනා යන දෙදෙනාත් එදිනට ගීත ගායනයෙන් එකතු වෙනවා. වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර.

 

මෙවැනි සමාජ සද්කාර්යයක් සිදුකරන ඔබතුමන්ගේ සංගීත වපසරිය පිළිබඳ අප දැන ගන්න කැමැතියි.

මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදියෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක්. වලස්මුල්ල විදුහලට වෘත්තීය සංගීත ගුරුවරයකු ලෙස මුල්ම පත්වීම ලැබුවා. ඉන් අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙත් වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙත් සේවය කළා. වර්තමානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා ලෙස කටයුතු කරනවා. මගේ ගුරු වෘත්තියට විසිපස් වසරක්. ඉතින් දශක දෙකහමාරක් ගෙවෙන සංගීත දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සිහි ගන්වමින් මේ කර්තව්‍ය කරන්නට සිතුවා.

 

මෙවැනි ඒකපුද්ගල ප්‍රසංග පැවැත් වූ තවත් අවස්ථා මතක් කළොත්?

 

මම ඒක පුද්ගල ප්‍රසංග අටක් කළා. 2016 වසරේ තමයි මුල්ම ප්‍රසංගය කළේ. මට අවශ්‍ය වුණේ රටේ සුභාවිත ගීතය රසිකයා අතරට ගෙන ඒමටයි.

 

ඔබ ගත් කතුවරයෙක්?

 

ඔව්, මම කාල සර සහ සංගීත මංජ‍රී කෘති දෙක රචනා කළා. එය සංගීතය හදාරණ නවක පරපුර උදෙසා රචනා කළ ග්‍රන්ථ එමෙන්ම 1998 වසරේ ඉරමල පිපී නමින් කැසට් පටයත් 2022 වසරේ කවුළුව අතරින් සහ 2015 වසරේ මල් යායක සුවඳ අරන් යන ගීතත් මා එළි දැක්වූවා.