වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
මට රඟපාන්න බැහැ ගෙදර යනවා කියලා ඇඬුවා

තෝඩු ටෙලිනාට්‍යයේ ‘දිනිති’ සෙව්වන්දි නයන්තාරා
සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණයෙන් පුංචි තිරයට එකතු වුණු තවත් සුන්දර ටෙලි නිර්මාණයක් වන ‘තෝඩු’ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වෙයි.
තෝඩු ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ඔබට මුණගැහෙන චරිත අතර අලුත් මුහුණක් සමඟ කතා බහ කරන්නයි මේ සූදානම ඇය සෙව්වන්දි නයන්තාරා.
‘තෝඩු’ ටෙලි නාට්‍යයයේ ‘දිනිති’ ගේ චරිතයට පණපොවන ඇය ගීත රූප රචනා කිහිපයක් සඳහාත් මේ වනවිට රංගනයෙන් දායක වී තිබේ. මේ දිග හැරෙන්නේ ඇය සමඟ කළ කතාබහයි.
සෙව්වන්දි මේ දවස්වල මොකද කරන්නේ.
තෝඩු නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ දිනවල වැඩසටහන් කිහිපයක නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඒ නිසා කලා කටයුතුත් එක්ක තරමක් කාර්යබහුලයි.
‘තෝඩු’ හි ‘දිනිති’ ට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා මෙය මගේ පළමු රංගනය. හිතුවටත් වඩා රසිකයින් මේ චරිතය වැළඳගෙන. මේ චරිතය නිසාම බොහෝ අය මාව දැන හඳුනාගෙන දැන් කතා කරනවා. ඒ අය මට ගොඩක් ආදරය කරන බව දැනෙනවා. ඉතිං නවක රංගන ශිල්පිනියක් හැටියට මෙතරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්න තරම් මම වාසනාවන්තයි.
‘දිනිති’ චරිතය ඔබට ගැළපෙන එකක් ද?
මේ චරිතය පෞද්ගලික ජීවිතයට ගොඩක් දුරට සමානයි. හැබැයි ‘දිනිති’ තරම් මම අහිංසක නැහැ. ‘දිනිති’ කියන්නේ ප්‍රශ්න තිබුණත්, හිනාවෙලා ඉන්න චරිතයක්. මගේ පෞද්ගලික ජීවිතේට මේ චරිතය ගොඩක් සමාන නිසා එය හොඳින් කරන්න පුළුවන් වුණා. ඒ වගේම මම එයට උපරිම සාධාරණයක් කළා කියලා මම හිතනවා.
ඒ වගේම එය පෙම්වතියකගේ චරිතයක් කියන්නත් පුළුවන්. සූර්යා තමයි පෙම්වතාගේ චරිතය කරන්නේ. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම tik tok කියන මියුසිකල් ඇප් එක හරහා කරපු වීඩියෝ දෙක තුනක් ෆේස්බුක් හරහා හුවමාරු වුණා. ඒ හරහා මට යම් ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ විදියට හුවමාරු වුණ වීඩියෝ එකක් දැකලා තමයි ලලිත් වසන්ත සර් මට කතා කළේ. ඔහු තමයි තෝඩු නාට්‍යයේ නිෂ්පාදක ලෙස කටයුතු කරන්නේ. ‘තෝඩු’ සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණයක්. ගයාන් හෙට්ටිආරච්චිගේ මේ පිටපත කියවගෙන යද්දි මට ආසා හිතුණා. ඊට පස්සේ තමයි මේ නාට්‍යයට සම්බන්ධ වුණේ.
tik tok වීඩියෝ එකක් ඔබව මෙතරම් දුරක් රැගෙන එයි කියලා හිතුවද?
ඒ දවස්වල ට්‍රෙන්ඩ් එකක්නේ බඪජ බධඬ වීඩියෝ කරන එක. ආසාවට වගේ මාත් කළා. කිසිම බලාපොරොත්තුවකින් නෙවෙයි මම ඒ වීඩියෝ කළේ. ඉතිං සතුටුයි මට ඒ හරහා නිළියක් වෙන්න අවස්ථාව ලැබුණාට.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒක මම කියන්නම ඕනේ. සිංහ එන්ටර්ටේට්මන්ට් ආයතනයේ ලලිත් සර් වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා සර්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි තෝඩු ටෙලි නාට්‍යයේ ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. ඒ හැමෝම මාව හැමවෙලේම ධෛර්යමත් කරනවා. මගේ නාට්‍යයේ ඉන්න හැමෝම ගොඩක් හොඳයි. යම් යම් අවස්ථාවල මට දිනිතිගේ චරිතය හොඳට කරගන්න බැරි වෙනකොට ඒ හැමෝම මට උදව් කරනවා.
රූගත කිරිම් අතරතුර සිදුවූ අමතක නොවන සිදුවීමුත් ඇති නේද?
මේ නාට්‍යයේ මගේ චරිතය රූගත කිරිම් කරපු දෙවැනි දවසේ මට එක කොටසක් කරගන්න අමාරු වුණා. ඒ නිසා මම “මට රඟපාන්න බැහැ” කියලා ඇඬුවා. “මම ගෙදර යනවා. මට රඟපාන්න බැහැ” කියලා. එතැනදි තෝඩු එකේ හිටපු හැමෝම මා ළඟට ඇවිත් “ඔයාට පුළුවන් අපි කරමු.” කියලා මාව ධෛර්යමත් කළා. ඒ සිදුවීම නිසා ටික වේලාවක් රූගත කිරීම් නතර කළා. ඊට පස්සේ තමයි මම ආයෙමත් රඟපාන්න පටන් ගන්නේ.
මාව ධෛර්යමත් කරපු ඒ අය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඒ හැමෝටම මම ස්තුති කරන්න ඕනේ.
ඔබ ගීත රූප රචනාවලට වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා නේද?
ඔව්. දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන සුදු නංගී, සජීව දිසානායකගේ ආයාචනා සහ ඕබි බෑන්ඩ් එකෙන් කරපු මරිඟුවක් වෙලා කියන ගිත තුනට මා රංගනයෙන් සම්බන්ධ වුණා.
ඒ අතර සන්කුවික් සහ මොබිටෙල් වෙළෙළඳ දැන්වීම් දෙකකටත් රංගනයෙන් දායක වෙන්න හැකි වුණා. සන්කුවික් වෙළෙඳ දැන්වීමත් ප්‍රේක්ෂකයින් අතර මට ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් වුණා.
රංගනයට පිවිසි ඔබ දැන් නිවේදිකාවක්.
ඔව් දෙරණ නාළිකාවේ විකාශය වන ‘විවාහ මංගල’ වැඩසටහනේ පසුගිය කාලයේ මං නිවේදිකාවක් විදිහට කටයුතු කළා. මේ දවස්වල රිසිර ඊඍ නාළිකාවේ විකාශය වන හොලිවුඩ් බොලිවුඩ් වැඩසටහනෙත් මං නිවේදන කටයුතු කරනවා.
තෝඩු නාට්‍යයට ඔබ ගායනයෙනුත් දායක වෙනවා.
ඔව්. ‘තෝඩු’ ටෙලි නාට්‍යයේදී ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. දැනට ගීත දෙකක් ගායනා කරලා තියෙනවා නාට්‍යය වෙනුවෙන්. ඒ ගීත හරිම ලස්සනයි. චන්දන වල්පොල අයියා සහ ලලිත් සර් මට ගොඩක් උදවු කළා. මම පාසල් යන කාලයේදී සංගීතය හදාරපු නිසා ඒ ගීත දෙක හොඳට කරන්න හේතුවක් වෙන්න ඇති.
ඔබ විලාසිතාවලට දක්වන කැමැත්ත කොහොමද?
ඇත්තටම විලාසිතා කරන්න මම හරිම කැමැතියි. විලාසිතාවලට කැමැති වුණාට මම හැම විලාසිතාවක්ම කරන්න යන්නේ නැහැ. මොකද සමහර විලාසිතා තියෙනවා මට ගැළපෙන්නේ නැති. නමුත් ඒ විලාසිතා වෙනත් කෙනකුට ගැළපෙන්න පුළුවන්. ඒනිසා විලාසිතා කරද්දී ඒක මට ගැළපෙනවාද නැද්ද කියලයි මුලින්ම හිතල බලන්නේ.
රංගන ශිල්පිනියක් ලෙස ඔබ රුව ගැන සැලකිලිමත් වෙන්නේ කොහොම ද?
ගොඩක් අය කියනවා රංගන ශිල්පිනියක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න ඕනේ කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. රංගනය තුළදී හැකියාවයි දක්ෂතාවයි තමයි වැදගත් වෙන්නේ. ඉතිං ඒ දක්ෂතාවය තියෙනවනම් රූපය වැදගත් වෙන්නේ නැහැ.
මම රුව ලස්සන කරගන්න කියලා විශේෂ දෙයක් කරන්නේ නැහැ. නමුත් තරුණියක් විදිහට ලස්සනට ප්‍රිය මනාපව, පිරිසුදුවට ඉන්න ඕනේ. එතකොටයි සුන්දරත්වයක් තියෙන්නේ.
පුංචි කාලේ ආස කළේ කවුරු වෙන්න ද?
පුංචිම කාලේ ඉඳන් මම හරිම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න. පුංචිම කාලේ ප්ලේන් එකක නැගලා උඩ යන්න මම ආස කළා. ඊට පසසේ රට රටවල්වල යන්න ආසා කළා. ඒ ඇඳුමට මම ආසා කළා. ඒ අයගේ තියෙන පෙනුමට මම ආසා කළා. පහුවෙද්දි මට ඒකට යන්න අවස්ථාවක් ලැබුණා. නමුත් මගේ අම්මයි තාත්තයි මම ගුවන් සේවිකාවක් වෙනවට අකමැති වුණා. මගේ තාත්තා මම රැකියාවක් කරනවට කැමැති නැහැ. ඒ නිසා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් කරන හීනය මගේ අතින් මඟහැරුණා.
ගුවන් සේවිකාවක් වෙන්න හීන මවපු ඔබ දැන් රංගන ශිල්පිනියක්. මොකද හිතෙන්නේ ඒ ගැන.
නිළියක් වෙන්න මම කවදාවත් හිතුවේ නැහැ. ඇත්තටම මේක අහම්බයක්. ගොඩක් වෙලාවට අපි හිතන පතන දේවල්ම නෙවෙයිනේ අපිට ලැබෙන්නේ. මේකත් එහෙම දෙයක්. නමුත් අද මං සතුටු වෙනවා රංගන ශිල්පිනියෙක් වෙන්න ලැබුණට. අද මට මෙතරම් ජනප්‍රියත්වයක් හිමිව තිබෙන්නේ මං රංගනය තෝරාගත් නිසයි.
ඡායා - සගා ගෲප්
2019/12/04 තරුණි බලන්න