මම මේසයකට පුටුවකට සීමාවෙලා රැකියාවක් කරන්න කැමැති නැති කෙනෙක්

මාර්තු 11, 2020

දෛවය මහා පුදුමාකාරය. විටෙක එය අප හිතනා පතනා දෑ වෙනුවට නොසිතනා, නොපතනා දේ ජීවිතයට ලබා දේ. අද අපේ කතා නායිකාවගේ ජීවිත ඉරණම විසැඳී ඇත්තේ ද එලෙසිනි.

ඇය යම් ඉලක්කයක් වෙත පියනගද්දී සැණෙකින් එය වෙනස් වී වෙනත් ගමන් මාවතකට පිවිසියා පමණක් නොව ඒ හරහා අද වනවිට ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී කාන්තා චරිතයක් බවට ද පත්වී හමාරය.

ඉතින් තවත් එක් අන්තර්ජාතික කාන්තා දිනයක් අභිමානවත්ව සමරද්දී ඇය පිළිබඳ ඔබට නොකියාම බැහැ.

මන්ද අද ඇය අප රටේ මිනුම්පතිනියයි. එහෙමත් නැතිනම් වර්ෂ 1800 දී ආරම්භ කළ, දැනට වසර 220 ක් පැරැණි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරියයි.

එදා මෙදාතුර පිරිමින් 49 ක් හෙබවූ අසුනට සපැමිණි පනස්වැන්නිය ඇයයි. ඕ නමින් ශ්‍යාමලී චිත්‍රලේඛා පෙරේරා ය.

සියුමැලි සිරුරෙන් සහ ළඳ බොළඳ සිතුවිලිවලින් සුසැදි යැයි සම්මත කාන්තාව විටෙක ප්‍රතික්ෂේප කරනා මාවතක ඉතා සීරුවට ගමන් කළ ඇය මේ තනතුර දක්වා පැමිණ ඇති මාවත නම් සුවපහසු නොවේ.

කටු කොහොල්, රළු බොරළු මතින් අසීරුවෙන් පැමිණි ඒ ජයග්‍රාහී ගමන් මඟ පිළබඳ මෙලෙස සිය හඬ අවදි කරන්නේ ඒ තුළ ඔබේ ජීවිතයට ද එකතු කරගත යුතු බොහෝ දේ තිබෙනා බැවිනි.

සුන්දර ළමාවිය

“මගේ ගම බණ්ඩාරගම. දරුවන් සයදෙනකුගෙන් සමන්විත පවුලක මම තෙවැනි දියණියයි. අපේ තාත්තා වැඩිහිටි අධ්‍යාපන නිලධාරියෙක්. මව විදුහල්පතිනියක්. ගුරු යුවළක් වුණු නිසාමදෝ ඔවුන්ට අවශ්‍ය වුණේ අපට හොඳ අධ්‍යාපනයක් ලබාදී මේ රටේ ශ්‍රේෂ්ඨ පුරවැසියන් බවට පත් කරන්න. එහි ප්‍රතිඵලයක් විදිහට අපි හැමෝම රාජ්‍ය සේවයට තමයි සම්බන්ධ වුණේ.

පාසල් අවධිය

මගේ මුල්ම පාසල පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමය.

ඒ කාලේ 07 වැනි ශ්‍රේණියේ දී පැවැති ශිෂ්‍යත්වය සමත් වෙලා මම කොළඹ දේවි බාලිකාවට ඇතුළත් වුණා. ගණිතය විෂයයට සුවිශේෂී කැමැත්තක් තිබුණු නිසාම මම උසස් පෙළට ගණිතය විෂයය ධාරාව තෝරාගත්තා.

එහිදී මම පළමුවරට විභාගය සමත් වුණත් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු නිසා තවත් වරක් විභාගයට ඉදිරිපත් වුණා.

එවරත් ලැබුණු ප්‍රතිඵල ඉංජිනේරු පාඨමාලාව සඳහා ප්‍රමාණවත් නොවුණු නිසා මට සිදුවුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන්න.

මොකද ඒ වෙනකොට මගේ හොඳම යෙහෙළිය එහි ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටියා. ඇයගේ දැඩි බලාපොරොත්තුවක් තිබුණා මමත් ඉංජිනේරු පීඨයට ඒවි යැයි කියා. නමුත් එතැනදී මම හිතුවේ දෛවය මට ලබාදෙන්නෙ මෙය නම් මම තවත් ඉහළ අධ්‍යාපනයට යොමුවෙනවා කියන එකයි.

 

ඡායා -  ශාන් රූපස්සර

 

2020/03/11 තරුණි බලන්න