මේ ගීතයෙන අම්මා කියන්නෙ කව්ද කියලා බොහෝ දෙනෙක් වටහා ගනීවී

- අභිෂේකා විමලවීර
මැයි 20, 2020

කොරෝනා වෛරසය විසින් යටපත් කර දැමුණු තවත් මවුවරුන්ගේ දිනයක් පසුවුණා. වැටෙන හුස්මක් ගානේ සිහිපත් කළ යුතු මවකගේ ගුණ සිහිපත් කරන්නට එක් දිනයක් සෑහෙන්නේ නැති වුණත් ඇය වෙනුවෙන්ම වෙන් කළ ඒ දිනය සමරන්නට අප අමතක කරන්නනේ නැහැ.

එහෙත් කොවිඩ් 19 වෛරසය මුළු ලොවම ගිල ගනිද්දී අපේ පුංචි රටටත් එහි බලපෑම එල්ල වුණා. අප දැන් කොවිඩ් මාරයා පරාජය කර ජයග්‍රහණය අභිමුවේ සිටින අතර ආදරණීය මවුවරුන් වෙනුවෙන් කළ උපහාරයක් ගැන කියන්නටයි මේ සූදානම. පරම්පරාගත උරුමයෙන් කලාවට පිවිසි ඇය කලාවේ ඉසව් රැසක දස්කම් පෑ කලාකාරිනියකි. සංගීත විශාරදවරියක්, ගායිකාවක් සහ නිවේදිකාවක ලෙස කලාවේ නියැලෙන ඇය කවුරුත් හඳුනන්නේ අභිශේකා විමලවීර ලෙසයි. කලාකාරිනියක් ලෙසත් මවක ලෙසත් කාර්යබහුල දිවියක් ගෙවන ඇය අලුත් ගීතයක් එළිදක්වන්න සූදානම් වන බව අපට අසන්න ලැබුණා. එහි විශේෂත්වය මෙවර කොරෝනා නිසා සමරන්නට නොහැකිවුණු ලෝක මවුවරුන්ගේ දිනය වෙනුවෙන් මේ ගීතය නිර්මාණය කර තිබීමයි.

මවුවරුන් ගැන කියැවෙන ඒ ගීතය ගැන වගේම ඇගේ සොඳුරු කැදැල්ල ගැනත් තරුණී සමග ඈ මෙලෙස කතා බහකට එකතු වුණා.

අලුත් කලා නිර්මාණයකට දායක වුණා කියලා ආරංචියි..

ඔව්. අලුත් ගීතයක් නිර්මාණය කළා. ගීතයේ තේමාව නේත්‍රා. එහි තනු නිර්මාණය කළේ දිළුම් තේජන හෙට්ටිආරච්චි. පද රචනය කළේ මමත් ජනිත් වික්‍රමගේ කියලා මල්ලි කෙනකුයි. මැයි 10 වැනිදාට යෙදුණු ලෝක මවුවරුන්ගේ දිනය නිමිත්තෙන් තමයි එය නිර්මාණය කළේ. ඒත් මං හිතුවා ඒ දවසටම ගීතය එළිදැක්වූවොත් ඒක එදාට විතරක් පවතින ගීතයක් වෙයි කියලා. ඒ නිසා තව දින කිහිපයකින් ඒ ගීතය එළිදක්වන්න හිතුවා. එවිට ඒ ගීතය හැමදාටම පවතීවී. අම්මා කෙනෙක් සිහිකරන එක එක දිනකට සීමා කළ යුතු නැහැ.

ඇයි මෙවන් ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ...

අම්මා තමයි අපිට හැමදේටම ඉන්නෙ. එහෙත් වර්තමානයේ ඉන්න පිරිස අම්මා කෙනකුගේ ආදරය තේරුම් ගන්නෙ නැහැ. ගොඩක් වෙලාවට අම්මා තමයි නිතරම දුවට පුතාට කෝල් කර කර කෑවද බිව්වද කියලා අහන්නෙ. දරුවෙක් තමන්ගෙ අම්මාට කෝල් එකක් දීලා අම්මෙ කොහොමද කෑවද කියලා අහන්නෙ කලාතුරකින්. දැනටමත් පරක්කු නැහැ අම්මට කතා කරලා සැප දුක අහන්න. මේ මවු ගුණ ගීතයෙන් අම්මා කියන්නෙ කව්ද කියලා බොහෝ දෙනෙක් වටහා ගනීවී.

මම තාත්තාට ආදරෙයි. දැන් තාත්තා නැති වෙලා. මට තාමත් හිතෙනවා අනේ මට තාත්තා වෙනුවෙන් මේ දේ කරන්න තිබ්බණේ.. මේ විදියට ආදරෙන් ඉන්න තිබණේ කියලා. ඒත් මං දැන් ඒකට ප්‍රමාදයි. තාත්තට තිබුණෙ ගැඹුරු ආදරයක්. තාත්තා මගෙ හැම දේම වුණත් මගෙ ජීවිතයේ හැම දෙයක්ම බෙදා ගත්තෙ අම්මත් එක්ක. මොකද මේ ජීවිතයේදී විශ්වාසවන්තම හොඳම යාළුවා වෙන්නෙ අම්මා. ඕනෑම දුවක් හැම දේම කියන්නෙ අම්මත් එක්ක. දුවල විතරක් නෙවෙයි පුතාලත් ඉන්නවා එහෙම. අම්මා ඉන්න කාලෙදි අම්මාට ආදරේ නොකර, නැති කාලෙදි දුක් වෙලා වැඩක් නැහැ. මං හිතුවා බොහෝ අයට අමතක වුණු අම්මව මේ ගීතයෙන් නැවත මතක් කරන්න.

 

2020/05/20 තරුණි පුවත්පත බලන්න