වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මොන හිතුවක්කාර කමක් කළත් මම පාසල් ප්‍රේමයක් ඇතිකර ගත්ත කෙනෙක් නෙවෙයි
''සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනාසෙන්නටවත් හඬා වැළපෙන්නටවත් නොව අවබෝධ කරගන්නට'' යැයි ප්‍රකට කියමනක් තිබේ.
එහෙත් පුහුදුන් මිනිසුන් වන අප පුරුදුවී සිටින්නේ යම් සිදුවීමකදී සිනාසෙන්නට නැතහොත් හඬා වැටෙන්නටය. එසේ වූ විට අපට නොදැනීම ජිවිතය අපෙන් මඟහැරී යයි. අවසානයේ අපට ඉතිරි වන්නේ අපේක්ෂා භංගත්වය පමණකි.
එහෙත් අප කළ යුත්තේ සිදුවූයේ කුමක් වුවත් එය අවබෝධ කරගෙන ජිවිතය අර්ථවත් කරගැනීමය. මේ එවැන්නියකගේ කතාවයි.
ඇය ඔබ අප කවුරුත් නම කී සැණින් දන්නා ජැක්සන් ඇන්තනීගේ පියඹ වන කුමාරි මුණසිංහයි. මේ ඇය තරුණී වෙනුවෙන් අප සමග යෙදුණු පිළිසඳර සටහනයි.
*සම්පූර්ණ නම මොකක්ද?
මුණසිංහ අප්පුහාමිලාගේ චන්ද්‍රලතා කුමාරිහාමි මුණසිංහ.
*කුමාරිහාමිගෙ මවුපියන්ගේ තොරතුරු හා ඉපදුණු ගම් පළාත ගැන විස්තර ටිකක් කියනවද?
මගේ අම්මයි තාත්තයි දෙදෙනාම ගුරුවරු නිසා විවිධ කාලවල රටේ විවිධ පළාත්වලට ස්ථානමාරු ලැබෙද්දී අපේ පදිංචියත් වෙනස් වෙලා තියෙනව. මම ඉපදුණේ බදුල්ලෙ ඇපලපිටිය ප්‍රදේශයේ. අපේ අම්මා යාපා මුදියන්සේලාගේ යාපා බණ්ඩාර වසන්ත තිලකා කුමාරිහාමි මුණසිංහ. අප්පච්චි මුණසිංහ අප්පුහාමිලාගේ හරිපාල මුණසිංහ.
කුමාරිගේ ළමාවියට යමුද?
මට ළමාවියක් තිබ්බද කියල මට මතක නෑ. මොකද මම අට දෙනකුගෙ පවුලක වැඩිමලා. මගේ ළඟම මල්ලි බලාගත්ත බවට නම් මට මතකයක් නැහැ. එතැනින් පල්ලෙහා ඉපදුණු නංගිලා මල්ලිලා බලාගන්න කවන්න පොවන්න අම්මා නැති වෙලාවට මම තමයි මුලික වුණේ. මට හිතුණෙ මං හරි ලොකුයි කියල. මට දැන් දුක හිතෙනව මට හුරතල් බාල වියක් තිබුණේ නැහැ නේද කියලා දැනෙද්දී. හැම වෙලාවකම ලොකුයි කියල පැත්තකින් තිබබ් ගතියක් තමයි මට හිමිවුණේ.
කුමාරි ඒ අතීතය දෙස රිදුමක් සමගින්ද බලන්නෙ
අනේ නැහැ. හරිම කැමැත්තෙන් තමයි ඒ දේවල් කළේ. මම කියන්නෙ ඔය අත්දැකීම් නිසා මම පොඩිකාලේම පැහිච්ච ළමයෙක් වෙලා හිටිබවයි. එක දවසක අම්මා නංගිට බෙහෙත් පොවන්න කියල පාසල් ගියා මම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලයකින් තමයි නංගිට බෙහෙත් පොවල තිබුණෙ. බෙහෙත් පොවල ටික වෙලාවකින් නංගිගේ කටින් පෙණ එන්න ගත්තා. ඒ වෙලාවෙ බයවෙලා කෑ ගහල අඬනව වෙනුවට මං කළේ ඉක්මනට නංගිට වතුර පොවල පොවල වමනෙ දමම්වල පොල්කිරි පොවල තත්වය සමහන් කරගත්ත එකයි. ඒ සිදුවීම වෙත්දි මට වයස අවුරුදු අටක් විතර ඇති.
අනාගතයේ දවසක තෝරගන්න රැකියාව ගැනත් මේ පණ්ඩිත පුංචි කෙල්ලට අදහසක් තිබුණද?
අමම්යි තාත්තයි උදේට නැගිටලා රැකියාවට යනව මං හැමදාම දැක්කා. ඒ නිසා මමත් රැකියාවක් කරන්න ඕන කියල හිතේ තිබුණා. ඒත් ඒක මොන විදිහේ රැකියාවක්ද කියල අදහසක් තිබුණෙ නැහැ. රස්සාවක් නැතිව ගෙදර ඉන්න කාන්තාවක් වෙන්න මම හරි අකැමැතියි. කුඩා කාලෙ ඉඳන් මම ඒ අය සංසන්දනය කළා. ගෙදර ඉන්න කාන්තාව අල්ලපු ගෙදර එක්ක ඕපදුප කතා කරනව. හරි පීඩනයක ඉන්නව. ඒ පීඩනයෙන් කොටසක් වටේ ඉන්න අයට බෙදල දෙනව. අනෙක් අය වැඩට යද්දී ඊර්ෂ්‍යාවෙන් ඒ ගැන හිතනව. ඒක මම චූටි කාලෙ ඉඳන්ම දැක්කා.
කුමාරි කියන කාන්තා චරිතය පෝෂණය කරන්න මවුපියන්ගේ ගුරු භූමිකාවන් බලපාන්න ඇති නේද?
ඔව්. අපේ අම්මා මට පොඩිකාලෙ ඉඳන් කියල දුන්නු දෙයක් තමයි කිසිම දෙයක් බෑ කියන්න එපා හැම දෙයක්ම කරන්න ඉගෙන ගන්න කියන කාරණය. තව මනුස්සයෙක් කරන දෙයක් තවත් කෙනකුට කරන්න පුළුවන්. ඒක බැහැ කියල කියන්නෙ උත්සාහයක් නැති කම කියල ඇය මට කියල දුන්නා. මම ගොඩනැඟුණේ ඒ පසුබිමේ. ගෙදර ලැලි කෑලි ටිකක් ඇණ ටිකක් තියෙනව නම් මිටියක් ගත්හම බංකුවක් හදාගන්න මට පුළුවන්. ලඹය අල්ලල ගල් ටික්ක කෙලින් බැඳගන්න මට පුළුවන්. ඒ නිසා අදටත් අපේ ගෙදර බල්බ් එකක් මාරුකර ගන්න, තව තැනකට ලයිට් එකක් ගන්න, ඒ හැමදේම කරන්නෙ මම. මට යන්න බැරි උසක නම් එතැනට ගිහින් මෙහෙම කරන්න කියනව මිසක් එතැනට ගිහින් පුළුවන් දෙයක් කරන්න කියන පුරුද්ද මට නැහැ. අට වසරෙදියි අපි ඉදිරියට ඉගෙනගන්න විෂයන් තෝරන්නෙ. මට සංගීතයටත් ලකුණු 100යි. ගණිතයටත් ලකුණු 100යි. මම බොහොම සංතෝෂයෙන් ගිහින් කලා පන්තියෙ ඉඳගෙන හිටිය. ඒ වෙලාවේ මගේ අප්පච්චි ඇවිත් මාව අතින් අල්ලගෙන ගිහින් විද්‍යා පන්තියෙ ඉන්දෙව්ව. අප්පච්චි මට කිව්වෙ දුවට සංගීතය කොහොමත් පුළුවන්. ඒක බාහිරවත් ඉගෙනගන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන්න තවත් දේවල් අවශ්‍යයයි කියලයි. එතැන ඉඳන් මම කැමැත්තෙන් විද්‍යා විෂය ධාරාවන් හදාරන්න පටන් ගත්තා. ඒත් මගේ හිත කලාවට සංගීතයට ඇදිල ගිහින් තිබුණ නිසා මම වැඩියෙන් පන්ති කාමරයෙ නම් රැඳුණෙ නැහැ. විද්‍යා විෂයන් හැදැරීම එක්ක මම හුඟක් ක්ෂේත්‍ර අතපත ගෑවා. මේ හේතුවෙන් අවම සම්පත් වලින් යමක් කරගැනීම ක්ෂණිකව තීරණ ගැනීම වගේ හැකියා මා තුළ දියුණු වුණා.
මේ වෙත්දි කුමාරි වේදිකාව පරිහරණයත් ආරම්භ කරලද?
එක වසරේදී දරු නැළවිල්ලකට සහභාගි වුණා. ඒක මට තවමත් මතකයි. එතැන හිටි කිහිප දෙනා අතරින් කැපිල පෙනුණේ මං. මගේ කලාවේ ජාන අවේ මවු පාර්ශවයෙන් ගායක සෞම්‍ය කුමාර යාපා බණ්ඩාර මගේ අම්මාගේ මල්ලි. නිවේදිකා චිත්‍රා කුමාරි යාපා බණ්ඩාර, ගීත රචිකාවියක් වන පුණ්‍යා කුමාරි යාපා බණ්ඩාර මගේ අම්මාගෙ සොහොයුරියො. මම පාසල් එකොළහකට ගිය ළමයෙක්. කෑගලු බාලිකාවේ ඉගෙන ගන්න කාලයේ හය වසරෙදි නරිබෑණා නාට්‍ය නිර්මාණය කරලා මම නරියටත් රඟපෑවා. පාසලේ තිබුණ නාට්‍ය තරගයෙන් ලොකු පන්තිවල නාට්‍ය අභිබවා මගේ නාට්‍යය පළමුවැනි තැනට ආවා. මම වැඩිම කාලයක් හිටියෙ ගලහිටියාව මධ්‍ය මහා විදයාලයෙ. ඒ පාසලේදී තමයි මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් වුණේ. ඒ කාලෙ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙ ජනපි‍්‍රයම සිසුවිය මමයි. ඉස්කොලෙ මට බාල ළමයි මට වැඩිමහල් ළමයි විතරක් නෙවෙයි ගුරුවරුනුත් මට කිව්වෙ කුමාරි අක්කා කියල.
මේ කුමාරිහාමි පාසල් වියේ ප්‍රේමයකුත් අත් වින්දද?
මට මොනව හරි එපා කිව්වොත් මම ඒක අත්හදා බලනවාමයි. ඒ තරමට මම හරිම හිතුවක්කාරයි. ඒ දවස්වල අම්මා හරි වදයක් වින්ද මං නිසා. අද අම්මා නැතත් අම්මාගෙන් මම සමාව ඉල්ලනව. මං අම්මා කෙනෙක් වෙලා දරුවොත් එක්ක හැසිරෙන කොට තමයි මට දැනණේ අම්මා මං නිසා කොච්චර වදයක් විඳින්න ඇතිද කියල. මොන හිතුවක්කාරකමක් කළත් මම පාසල් ප්‍රේමයක් ඇතිකර ගත්ත කෙනෙක් නෙවෙයි. ජැක්සන් මට හම්බවෙන්නේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙදී වුණත් අපි ඇසුරු කළේ ළඟම මිතුරන් විදිහට ඉස්කොලෙදි අපි එකට කලා කටයුතු කළ නිසා ළඟම මිතුරන් වුණා. මම ජැක්සන්ට ජැකා කියල වගේම මචං කියල කතාකරපු අවස්ථාත් තිබුණා. මම හරි වසයි ඒ කාලෙ. වස විතරක් නෙවෙයි නොසන්ඩාලයි කියන්නෙ.එහෙම ගති තිබුණෙ. මම කොල්ල වගේ හිටියෙ. මගෙත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියාගන්න තියා යාළුවෙන්න අහන්නත් කොල්ලො බයයි.
කුමාරි මුණසිංහ හා ජැක්සන් ඇන්තනීගේ ප්‍රේමයේ පළමු මතක සටහන් තැබෙන්නෙ.ඉස්කෝලෙන් අස්වණු ගමන්ම නෙවිල් ඩයස් සුබසිංහගෙ 'වාරුවෙන්යන මිනිස්සු' කියන ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයේ මමයි ජැක්සනුයි පෙම්වතුන් ලෙස රඟපෑවා. ඒ තමයි අපි දෙන්නාගෙම පළමු ප්‍රසිද්ධ වේදිකා රංගනය. මේ නාට්‍යය රට පුරා පෙන්නුවා. ඔය කාලෙ තමයි අපි ආදරවන්තයන් වෙන්නෙ.
දෛවය හැමවිටම පෙම්වතුන් ළංකර තබන සිදුවීම් ම ජීවිතයට තිළිණ කළාද?
මම උස්ස පෙළ අවසන් කරලා කෙලින්ම ගියේ ගම්පහ සිද්ධායුර්වේදයට. ඒකත් මගේ අප්පච්චිගෙ තීරණයක්. ඒ කාලෙම ජැක්සන් කොළඹ විශ්විද්‍යාලයට ගියා. ආයුර්වේදය තියෙන්නෙ යක්කල. කැම්පස් එක කොළඹ අපිට මුණගැහෙන්න තියෙන ඉඩ අඩුවෙලා ගියා. ඔය කාලෙ එයාගේ සටහන් ලියල දීම කෑම හදල රෙදි හෝදල දෙනව වගේ වැඩ ඔක්කොම මම කරල දුන්නත් මෙහෙ ඉඳන් ඒව කරගෙන යන්න මට අපහසු වුණා. එක දවසක මම තැපැල් කන්තෝරුවට ගිය වෙලාවක කට්ටියක් ගැසට් එක බලනවා. මාත් මේ මොකක්ද බැලුවා. ඒ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාළගුණ නිරීක්ෂකයන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවන නිදෙව්නයක්. මමත් ඒකට ඉල්ලුම් කළා. ඒ සඳහා පැවැත්වුණ තරග විභාගයෙනුත් මම ඉහළින් සමත් වුණා. 1982 මට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාව ලැබුණා. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි කොළඹ විශ්විද්‍යාලයයි එක ළඟ තිබුණ නිසා අපිට ලොකු අස්වැසිල්ලක් වුණා. අපිට නිතරම මුණගැහෙන්න ලැබුණා. එයාගෙ වැඩත් පහසුවෙන්ම කරලා දුන්නා. අනික අපිට ඒ කාලෙ සල්ලිත් නැහැනේ. මට පඩියකුත් හම්බ වුණ නිසා ඒක ලොකු දෙයක් වුණා.
කුමාරිගේ පටන් ගත්ත පෙම් කතාවට වගේම ආයුර්වේදය ඉගෙනීම අතහැර දැමීම ගැන මවුපියන්ගෙ මනාපයක් තිබුණද?
ආදර සම්බන්ධයට අම්මගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් ජැක්සන් අපේ ගෙදර ඇවිත් අම්ම එක්ක කතාකරල අම්මාගෙ හිත දිනාගත්තා. පසුකාලයක අම්මා ජැක්සන්ට ගොඩක් ආදරේ වුණා. ආයුර්වේදය අතහැරදැමීම ගැන විරෝධය ආවේ අප්පච්චිගෙන්. අප්පච්චිට ඕන වුණේ මාව ආයුර්වේද වෛද්‍යවරියක් කරන්නනෙ.
2020/08/26 තරුණි පුවත්පත බලන්න