මගේ විශ්ව විද්‍යාලෙ තමයි පිටකොටුවේ පස්වෙනි හරස් වීදිය

දේශීය ආහාර කලාවේ සන්නාමය ආචාර්ය පබිලිස් සිල්වා
අගෝස්තු 26, 2020

1956 දී ගාලු පුරවරයේ රත්ගම නම් ගම්මානයේ විසූ තරුණයෙක් ගල්කිස්ස මහ හෝටලයට පැමිණියේ රැකියාව පිණිස ය. එදා, මේ තරුණයා මතු යම් දිනෙක රටේ නාමය ලොව පුරා බබළවන බව කිසිවකු නොසිතන්නට ඇති.

ක්‍රීඩාවෙන්, රුවෙන්, සිනමාවෙන් ආදී නොයෙකුත් ක්ෂේත්‍රයන්ගෙන් ලෝකය ජයගත්තවුන් සිටිය ද සූපවේදය මඟින් ලෝකය ජය ගැනීමට හැකි වූ ප්‍රථම ලාංකිකයා ඔහු ය.

ශ්‍රී ලාංකීය ආහාර කලාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා යැයි පැවසූ විට ඔහුගේ නම අමුතුවෙන් කිව යුතු නොවේ. පබිලිස් සිල්වා යන නාමය ඇසෙන විටම සිතට නැගෙන්නේ දේශීය ආහාර කලාවේ සන්නාමයයි. එපමණට ම ඔහුගේ දිවියත් දේශීය ආහාර කලාවත් ගසට පොත්ත මෙන් බැඳී පවතින්නකි.

එතෙක් මෙතෙක් ඔහු පැමිණි ගමන් මඟ කටුක අත්දැකීම් තම දිවිය ජය ගැනීමට යොදා ගත් මේ අපූරු මිනිසා අද වන විට තම දිවියේ සැඳෑ සමය විඳින්නේ ජීවිතය පිළිබඳ වූ තෘප්තිමත් හැඟීමකිනි. ගල්කිස්සේ ඔහුගේ නිවස්නයට අප ගොඩවූයේ ඔහුගේ ආදරණීය දිවියේ මතක මංපෙත් විවර කිරීම සඳහා ය. උගුරැස්ස ගසකින් සෙවණ වූ මිදුලෙන් නිවෙසට පිවිසි වනම ඇස ගැටෙන්නේ පබිලිස් මහතා ආදරණීය බිරිය සමඟ සිටිනා ජීවමාන ප්‍රමාණයේ ඡායාරූපයකිනි.

'එන්න.. එන්න.. වාඩිවෙන්න..'

ඔහු පැවසුවේ දකුණු ලකට ම ආවේණික වූ සුහද බවකිනි. කතාබහට පළමුව අපට බොන්නට නැවුම් අඹරැල්ලා යුෂ වීදුරුවක් ගෙන එමින් ඔහු පැවසුවේ,

'අපේ ගෙදර අයිස් පාවිච්චියක් නෑ.. ඒ නිසා මේවට අයිස් දාලා නෑ.. අපි අයිස් කැට හරි අයිස්වතුර හරි පාවිච්චියක් නෑ... බොන්න, ඇඟ සෝදන්න පවා පාවිච්චි කරන්නේ උණු වතුර. ඒ වගේම අපි කෘත්‍රිම බීම වර්ග ගෙදරට ගේන්නේ නෑ..' යනුවෙනි. මෙය අපට ද සෞඛ්‍ය රැක ගැනීමට හොඳ පාඩමක් වේයැයි සිතේ සටහන් විය.

ජීවිතයට යෝධ සෙවණැල්ලක් වූ ආදරණීය ඇය හමුවුණ හැටි දැනගන්න කැමැතියි...

අපේ ගමේ තරුණ ළමයි ඒ කාලේ එකට එකතුවෙලා කොහු ලණු අඹරන එක තමයි කළේ. දවස තිසේසේම සමහර දිනවල රෑ එළිවෙනකල් පවා ලණු ඇඹරීම කළා. ඉතිං ඒ පිරිසේ හිටිය ඇයත් මමත් අතර සම්බන්ධයක් ඇති වුණා. අපේ ගෙවල්වලින් මේ සම්බන්ධෙට කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒත් මගේ අධිෂ්ඨානයක් තිබුණා ඇයම තමයි විවාහ කරගන්නේ කියලා. අවසානයේ දී ඒ සඳහා අපට ගෙවල්වල ආශීර්වාදය ගන්න පුළුවන් වුණා.

අපිට වැඩි සමාජ ආශ්‍රයක්, අධ්‍යාපනයක් තිබුණේ නෑ. අපි මූලිකවම කළේ ලණු ඇඹරීම. අපිට ඒ නිසා ඒ කාලේ හරි අවබෝධයක් තිබුණේ නෑ.. හිත ගියත් කසාද බැඳලා.. දරුවො හදන එහෙම අදහසක් තිබුණේ නෑ.. අද කාලේ වගේ සැලසුම් කරලා කරපු විවාහයක් නෙවෙයි.

ඔබේ පවුලේ සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ද?

මගේ පවුලේ ළමයි පස් දෙනෙක් හිටියා. මල්ලි කෙනෙක් අසනීප වෙලා මියගියා. අනිත් මල්ලි ගාලු පාරේ සිදුවුණ අනතුරකින් නැතිවුණා. අක්කයි, නංගියි, මමයි තමයි ඉතිරි වුණේ..

මවුපියන් ඔබේ දියුණුව දැකලා සතුටු වෙන්න ඇති...

ඔව්.. මගේ අම්මයි තාත්තයි ඒ කාලේ මම ඉන්න තත්ත්වෙ දැකලා සතුටු වුණා.. මගේ අම්මා නැතිවෙනකල් මගේ මේ ගෙදර තමයි හිටියේ.. නැතිවෙනකොට අම්මගේ වයස අවුරුදු 107ක්.

ඔබේ දරුවො ගැනත් අපි දැනගන්න කැමැතියි...

මගේ ලොකුම මුණුපුරාටත් දැන් වයස 37ක්. මුණුපුරාගේ පුතාට වයස 12ක්. එහෙම බැලුවම මට දැන් මී මුණුපුරොත් ඉන්නවා..

ඔහුගේ මුහුණේ තිබෙන්නේ තම දරු මුණුපුරන් කෙරේ ඇති දයාවයි.. ආඩම්බරයයි. මගේ ලොකු පුතාත් කළේ මගේ වෘත්තියමයි. දැන් ඔහු විශ්‍රාමිකයි. මම කලින් කියූ ලොකු මුණුපුරා තමයි ඔහුගේ පුතා. ඒ පුතාත් සූපවේදියෙක්. ඔහු ස්ථිර පදිංචිය එංගලන්තයේ. මගේ දරුවො පස් දෙනාම චෙෆ්ලා හැටියට වැඩ නොකළත් මේ වෘත්තියෙන් තමයි යැපෙන්නේ බොහෝ වෙලාවට. මගේ දෙවෙනි පුතා හැට්න් නැෂනල් බැංකුවේ සේවය කරලා කලින් විශ්‍රාම අරන් දැන් මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක නිරතවෙලා ඉන්නවා. දියණියන් තුන් දෙනාත් විවාහ වෙලා දරු මුණුපුරන් එක්ක ජීවත් වෙනවා.



ඡායා   - ශාන් රූපස්සර

 

2020/08/26 තරුණි පුවත්පත බලන්න