වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දෙනෝ දාහක් සෙනඟ මැද්දේ සිටියත් මට ඇය නැති තනිකම දැනෙනවා
ආදරණීය බිරිය වෙනුවෙන් ගීත තුනක් නිර්මාණය කළ ව්‍යාපාරිකයා
ජයන්ත ධර්මදාස
වසර හරියටම මතක නැත. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් වසන්තය පැවැත්වෙන සැප්තැම්බර් මාසයේ දිනෙකි. පොත් ප්‍රදර්ශනයට ගිය විට අපට විවිධ පොත පත පමණක් නොව විවිධ ලේඛකයෝ, කවියෝ, පොත්වලට ආසා කරන්නෝ, කලාවට සම්බන්ධ අය මෙන්ම විවිධ වෘත්තින් නියෝජනය කරන ඉහළ පෙළේ ප්‍රභූවරුද හමුවේ.
මේ කියන අවුරුද්දේ සැප්තැම්බරයේ දහවලක මට එක් කුටියකදී හමුවූයේ ප්‍රවීණ ගී පද රචක කුලරත්න ආරියවංශයන්ය.
මා ඔහු හමුවූයේ බොහෝ පෙරැත්ත කිරීම්වලින් පසු ඔහු ගැන ලිපියක් ලිවීමට ලබාදුන් කැමැත්තෙන් පසුවය. එහෙට මෙහෙට යන අතරේ ඔහු කතා කළේය. ඒ අසලම තවත් අයකු සිටියේය. ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි. කුලේ අයියා මට ඔහු හඳුන්වා දුන්නේය. ඒ නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත ධර්මදාසයන්ය. සුදු ඇඳුමෙන් සැරසී සිටි ඔහු අප දෙදෙනාට කතා කරන්නට ඉඩ දී පසෙකට වී සිටියේය.
“ඔහුට මෙවැනි තැන්වල ගැවසෙන්නට කාලය තිබෙනවාද?”
කුලේ අයියා සමඟ කතා කරන අතරතුර මම සිතුවෙමි.
ඒ කතාව එතැනින් අවසානය. ඉන් පසුව ද බොහෝ කලාකරුවන්ගේ උත්සව අවස්ථාවල ජයන්ත ධර්මදාසයන් දැක ගැනීමට ලැබිණි. ඒ හැම විටෙක මා මගෙන් ඇසූ එකම පැනයක් තිබිණි.
ඒ “ඔහුට මෙවැනි තැන්වල ගැවසෙන්න කාලය තිබෙනවාද?” යන්නයි.
කාලය ගෙවිණි. මා මගෙන් ඇසූ ඒ පැනය ඔහුගෙන්ම අසන්නට ලැබේ යැයි කිසි දිනෙක නොසිතුවෙමි.
පසුගිය දවසක අප මිතුරු මිහිර පුවත්පතේ කතු ජගත් හේවාපන්න ‘ඔත්තුවක්’ දුන්නේය.
“අමරසිරි පීරිස් අලුත් සිංදුවක් කියනවා. ඒක හරි ලස්සනයි. ඒ ගීතය ලියලා තියෙන්නේ බණ්ඩාර ඇහැලියගොඩ. ජයන්ත ධර්මදාස මහත්තයාගේ ජීවිතයට සම්බන්ධ ගීතයක් ඒක.”
ඒ කියූ තොරතුරු හොඳටම ප්‍රමාණවත්ය. මුලින්ම ප්‍රවීණ ගීපද රචක බණ්ඩාර ඇහැලියගොඩවත් ඒ ඔස්සේ අවසානයේ ජයන්ත ධර්මදාසයන්ටත් කතා කළෙමු.
ඔහු ගීතයේ අත්දැකීම කියාගෙන ගියේය. ඒ අතර වාරයේ මා පුදුමයට පත් කළ වචනයන් ගණනාවක් එහි තිබිණි.
“මං කිසිම දවසක හැන්දෑවේ හයෙන් පස්සේ ව්‍යාපාර කළේ නැහැ. ඉරිදට මම නෝනත් එක්ක ගෙදරට අවශ්‍ය බඩු ගන්න සුපර් මාර්කට් ගියා.”
ඉහළපෙළේ ව්‍යාපාරිකයකු වන ඔහු ‘හැන්දෑවේ හයෙන් පසුව ව්‍යාපාර කළේ නැහැ’ කීම අදහාගත නොහැකි වුවත් එය එසේම නම් එය අප අගය කළ යුතුම කතාවකි.
මාධ්‍ය හමුවේ පෙනී සිටීමට හෝ පුවත්පත් සාකච්ඡාවලට පෙනීසිටීමට එතරම් උනන්දුවක් නොදක්වන ඔහු පුදුමයකට මෙන් ‘තරුණී’ යට කතා කරන්නට කැමැත්ත පළ කළේය.
පසුගිය දිනෙක අප ඔහුගේ කාර්යාලයට ගියෙමු. ඔහු යටතේ ඇති ව්‍යාපාර ගණන විසිහතරකි. ඒ බව දැන ගත්තේ කාර්යාලයට පිවිසෙන ස්ථානයේ එක් බිත්තියක ඇති පුවරුවක් කියවීමෙනි. කොළඹ කොටුව, වරාය නගරය ආදී වූ එක යායක්ම පෙනෙන පුළුල් වීදුරු ජනෙල් සහිත කාමරයක ඔහු බොහෝම සැහැල්ලුවෙන් සිටියේය.
එහි පුළුල් මේසය බොහෝම හිස්ය. අවට විසිතුරු දේ මෙන්ම කාර්යාල ලිපිගොනු ආදිය බොහෝම පිළිවෙළට තැන්පත් කර තිබිණි.
ඔහු හිඳ සිටින ස්ථානයට ඉදිරියෙන් ඇත්තේ ඔහුගේ බිරියගේ ඡායාරූපය. ඒ අතර මංගල ඡායාරූපයද, දෙවැනි දිනයේ ඡායාරූපය ද තිබිණි. ඔහු අත තිබූ ජංගම දුරකථනය හැරෙන්න වෙනත් දුරකථන කිසිවක් එහි නැත.
“මේ මහා ව්‍යාපාරිකයා සැහැල්ලුවෙන් සිටිනවා නොවේද?”
ඒ මගේ හිත මට කියූ කතාවයි.
“අපි කොතැනින්ද පටන් ගන්නේ.” අප දෙදෙනාම කතා කළෙමු.
“ඔබගේ ප්‍රේම කතාවෙන් පටන් ගනිමු.” මගේ යෝජනාවට ඔහු කැමැති විය.
2020/09/02 තරුණි බලන්න