කලාකරුවන් අවුරුද්ද ගත කළ අයුරු

අප්‍රේල් 21, 2021

 

කොහෝ ගී නාදයත් රබන් සුරල් හඬත් මැදින් සිංහල හා හිංදු අලුත් අවුරුද්ද උදාවුණා.ලොවපුරා පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වය නිසා ගිය වසරේදී නම් එය රිසි සේ සමරන්නට නොහැකි වුණා. නමුත් මේ අවුරුද්දේ සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් සහ සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරමින් අලුත් අවුරුද්ද සමරන්නට අපට අවස්ථාව ලැබීමත් අපේ භාග්‍යයක්. ගිය වසරේදී තම පවුලේ අය සමඟ පමණක් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරන්නට සිදුවූ අපේ ආදරණීය කලා කරුවන් හට සුපුරුදු පරිදි මේ අවුරුද්ද සමරන්නට හැකිවූවාද යන්න දැන ගැනීමට ඔබත් කැමැති ඇති.

මේ ඔවුන් කිහිප දෙනෙක් අලුත් අවුරුද්ද ගත කළ ආකාරයයි.

 

ප්‍රවීණ රංගන ශිල්පිනී ශිල්පිනී

ශ්‍රියාණි අමරසේන

 

අලුත් අවුරුද්දක් උදා වෙනවා කියන්නේ අපේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් අනුගමනය කරමින් ඓ් අනුව කටයුතු කිරීමයි. මේ අවුරුද්දේ මම අවුරුද්ද ගතකළේ ස්වර්ණවාහිනී නාළිකාවක් සමඟ අනුරාධපුරයේ සිටයි.

නිවසේදී සිදු කරනවා වගේම සියලු චාරිත්‍ර වාරිත්‍ර එහිදී සිදු වුණා. මා නිවසේ නැති වුණත් අපේ පවුලේ සියලු දෙනාම එකතුවෙලා එම අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම ඉටු කළා. මගේ ලේලිය දම්මි එයාගේ අතින්ම අවුරුදු රසකැවිලි සියල්ලම හදල තිබුණා.

මම ගෙදර නැති වුණත් මගේ අඩුවක් නොදැනෙන්න ඇය හැම චාරිත්‍රයක්ම කරලා තිබුණා. ඇත්තටම ඇය මට විශාල ශක්තියක් කියලා කියන්න පුළුවන්.

ගිය අවුරුද්දේ මේ තත්ත්වය මීට වඩා වෙනස්වුණ නිසා පවුලේ අය පමණක් එකතු වෙලා අලුත් අවුරුද්ද සමරනු ලැබුවා.

 

ප්‍රවීණ රංගන ශිල්පිනී

කුසුම් රේණු

 

මුලින්ම හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

මේ අවුරුද්දෙත් හිරු රූපවාහිනී නාලිකාව ආරාධනාවක් කළා එයාලත් එක්ක අවුරුදු සමරන්න එන්න කියලා. අපේ ආදරණීය ප්‍රේක්ෂකයො අපි දිහා බලාගෙන ඉන්න නිසා ඒ ආරාධනාව ආසාවෙන් පිළිගත්තා. මමයි ශ්‍රියන්තයි ජනප්‍රිය ගීතයකට ලස්සන රංගනයකුත් ඉදිරිපත් කළා ඔයාලා දකින්න ඇති. ඒ වගේම තවත් විශේෂ කටයුත්තක් සිද්ධ වුණා. ඒ තමයි ආහාර අනුභවය වන නැකත ඉවර වුණ ගමන්ම ඉස්සෙල්ලාම මට බුලත් දෙන්න ඕන කියලා මගේ ආදරණීය රංගන ශිල්පී දරුවෝ කිහිප දෙනෙක්ම ආවා. විශේෂයෙන්ම වොල්ගාව මේ වෙලාවේ මතක් කරන්නම ඕනෙ. එයා දවස් ගානකට කලින් ඉඳලම මට කිය කිය හිටියේ එයා ඉස්සරලාම බුලත් දෙන්නේ එනවා කියලා. ඉතිං අපි එකම ක්ෂේත්‍රයක ඉඳලත් එයාලා මට දක්වන ගෞරවය පිළිබඳ නිහතමානී සතුටක් තියෙනවා. ඒ උත්සවේ ඉවර වුණ ගමන්ම අපි කතරගම කිරිවෙහෙර වඳින්න ගියා.

ඒ චාරිත්‍රයක් අපි හැමදාම කරනවා.නැකැත් වෙලාවට අපි කොහේ හිටියත් ඊළඟට කොහේ හරි බෞද්ධ සිද්ධස්ථානයකට ගිහින් ආගමික වතාවත් සිද්ධ කරනවා. ඔය විදිහට තමයි අපි අවුරුද්ද ගත කළේ. ගිය අවුරුද්දේ නම් අපිට නිවෙසේ ඉඳලම අවුරුද්ද සමරන්න අවස්ථාව උදා උණා.

නමුත් එදාත් නැකතට කිරි උතුරන චාරිත්‍රය අපේ නිවසේ සිට හිරු රූපවාහිනී නාලිකාව තුළින් ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව ලබා දුන්නා.