සම්මාන ගැනීමේ චේතනාවෙන් පොතක් ලිවීම නියම නිර්මාණකරුවකුගේ විදිය නෙවෙයි

- 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ප්‍රවීණ ලේඛිකා
කැත්ලීන් ජයවර්ධන
සැප්තැම්බර් 22, 2021

 

අද ළමා හා තරුණ පිරිස් පොත්පත්වලින් ඈත් වීමක් දකින්නට ලැබෙනවා

 

 

සිතට නැගෙන සිතුවිලි අටෝරාසියකි. විටෙක ඒවා තෝරා බේරා ගැනීමට ද අපහසු ය. මෙලොව පහළව ඇති සෑම මිනිසකුගේම සිතේ සිතුවිලි ඇති වී නැති වී යයි. එය ස්වභාවයයි. අපිට ඒවා රඳවා තබා ගැනීමට නොහැකිය.

 

එහෙත් මේ සිතුවිලි අතරින් ඉතාමත් සුළු ප්‍රමාණයක් විවිධාකාර නිර්මාණ ලෙසින් ලොවට දායාද වී ඇත. ඇතැම් සිතුවිලි ගීත, කවි, නාට්‍ය, චිත්‍රපට, සිතුවම්, කෙටිකතා, නවකතා ලෙසින් මෙන්ම තවත් සිතුවිලි විවිධාකාර නවීන උපකරණ, විවිධ ව්‍යාපෘති ලෙසින් ද පියවි ලොවට පිවිස තිබේ. එහෙත් සාහිත්‍ය නිර්මාණයක් කිරීමත්, එය පාඨක සමූහයා අතර ප්‍රචලිත වීමත් පහසුවෙන් තැකිය හැකි දෙයක් නොවේ. සිතුවිලි අකුරු බවට පත්කොට එම අකුරුවලින් තවත් පුද්ගලයකුගේ මනසේ හැඟීම් ඇති කිරීම පහසුවෙන් සිදු කළ හැකි කටයුත්තක් යැයි ඔබ සිතන්නේද? එයටත් වඩා අපහසු කටයුත්තක් වන්නේ ඉන් නියම සාහිත්‍ය රසයක් පාඨකයාට ලබා දීමට එම අකුරු ගොන්නෙන් හැකියාව ලැබීමයි.

පොත් කියවීම මෙන්ම ලිවීම ද උන්හිටි ගමන් පුද්ගලයකු තුළ ඇතිවන පුරුද්දක් යැයි නොසිතමි. ඒ සඳහා පුරුද්දක් තිබිය යුතුය. කුඩා කල පටන් පොත් පත් කියවීමෙන් තමාගේ සිතුවිලි පෙළ ගස්වා නිර්මාණයක් ලෙස ගොනු කිරීමේ හැකියාව තිබිය යුතුය. එවැනි පුරුද්දක් ඇති අයකු ඒ පුරුද්ද නිසාම ගත්කතුවරියක, සාහිත්‍යකාරියක වන්නේ නම් එය පුදුම විය යුතු දෙයක් නොවේ.

අද අපේ කතා නායිකාව අපේ රටේ සිටිනා ප්‍රවීණ ගත් කතුවරියන් කිහිපදෙනාගෙන් අයෙකි. නම කිවූ පමණින් ඇය ඔබ හඳුනන බව අපි දනිමු. 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ 'ඉවුරු ගඟ සිඳී ගියදා' නවකතාවේ කතුවරිය ඇයයි. කැත්ලීන් ජයවර්ධන යන නම ඇසූ පමණින් ඔබ ඇයව හඳුනයි. මහසෙන්, කුරුටු ගීතය, කළු සුදු, ජීවිතය වෙනස්කරන සාහිත්‍ය, ඉන්දුමතී, හිමකඳු, ධවල නිම්නය, ධාරා, බලන් කඩතුරා හැර දෑසේ. අකාල යාත්‍රා, අග්නි චක්‍ර, සත්‍ය කාම, ප්‍රභූ වැනි පොත් රාශියක් ලියා ඇති ප්‍රවීණ ලේඛිකාවක් වන ඇය තරුණී සමඟින් කතාබහට එක්වූවාය. මේ අප ඔබ වෙනුවෙන් ඇයත් සමඟ යෙදුණු පිළිසඳරයි.

* 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔබේ නවකතාවට ලැබුණු බව දැනගත් විට දැනුණු හැඟීම මොන වගේද?

ඇත්තට ම මට මුලින් ම පුදුමයක් දැනුණා.. ඒක විස්මය හා සතුට මිශ්‍රව දැනුණු මොහොතක්. මොකද මම අවුරුදු 10 ක පමණ කාලයක් සම්මානවලින් ඈත්වෙලා හිටිය කෙනෙක්. ඇතැම් වෙලාවට මම පත්තරවලින් පවා ඉල්ලීමක් කරලා තිබුණා මගේ පොත් සම්මාන සඳහා ඉදිරිපත් නොකරන ලෙස. මගේ මහසෙන් පොතේම මම ලියලා තිබුණා එම පොත සම්මාන සඳහා ඉදිරිපත් නොකරන බව.

ඒත් මගේ යහළුවන් වගේම පොත් ප්‍රකාශකයන් කියා සිටියේ එය පාඨකයාට කරන අසාධාරණයක් බවයි. මොකද පුස්තකාල සඳහා පොත් ගැනීමේ දී පවා සම්මාන ලැබුණ හා ඒ වෙනුවෙන් නිර්දේශිත පොත් සඳහා මූලිකත්වය ලැබෙන බව ඔවුන් පැවසුවා. එවිට සාමාන්‍ය පාඨකයාට පුස්තකාලයකින් මගේ පොත් ගැනීමේ අපහසුවක් මේ නිසා ඇතිවිය හැකි බව ඔවුන් මට පෙන්වා දුන්නා.

ඒ අනුව මම 2017 වසරේ දී පමණ අකාල යාත්‍රා පොතත් සමඟ සම්මාන සඳහා ඉදිරිපත් නොකරනවා කියන මතයෙන් ඉවත් වුණා.

මේ විදියට සම්මාන ගැන කිසිම බලාපොරොත්තුවක් නොමැති වෙලාවක තමයි මට මේ සම්මානය ලැබුණේ.. මම ඒ බව දැනගත්තේ මගේ පොතේ ප්‍රකාශකතුමා විදර්ශනා ආයතනයේ ජනක ඉනිමංකඩ මහතා මට දුරකථනයෙන් කතාකොට සුබපැතුව අවස්ථාවේදී යි.

* සාහිත්‍ය සම්මාන උත්සව ගැන ඇතැම් අයගේ විවේචන තියෙනවා.. ඒ ගැන අදහසක් ඔබටත් තියෙනවද?

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය තුළ බල අධිකාරියක් පැවතුණා. මොකද මට මතක විදියට 2003 වසරේ සිට ම එකම පිරිසක් තමයි බොහෝ වෙලාවට මෙහි සිටියේ.. දීර්ඝකාලීනව එකම පිරිසක් යම් තැනක ඉන්නකොට බලඅධිකාරයක් ගොඩනැගෙනවා.

ඒ නිසා මගේ පොත සම්මානයට පාත්‍ර වූ ආරංචිය ලැබුණම මම විනිශ්චය මණ්ඩලයේ සිටි අය ගැන සොයා බැලුවා. එතකොට මට තේරුම් ගියා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිසුරු මඬුල්ලේ වෙනස නිසා සම්මාන ලැබෙන පිරිසත් වෙනස් වෙන බව.

ඇත්තට ම මේ නව ප්‍රවණතාව ගැන සමාජයේ පවා යම් කතාබහක් ඇති වී තිබෙනවා.

* මේ නිසා අපේ නිර්මාණකරුවන්ට යම් අසාධාරණයක් වුණා යැයි හිතනවද? 

අසාධාරණයක් වුණා වගේම සමාජයක් විදියට අපි ඉන්නේ එකම තැනක. අපේ රටේ නිර්මාණ දෙස බැලුවම පෙනෙන දෙයක් තමයි පවුල් ගැටලු, ආදර කතා, සාම්ප්‍රදායික විවාහ ජීවිතය, අඹුසැමි ප්‍රශ්න වැනි එකම තේමාවන්ගෙන් බැහැරට යන්න වැඩි උත්සාහයක් දරා නැහැ. නමුත් වෙනස් තේමාවන් අපේ නිර්මාණ සඳහා තෝරා ගත යුතුයි. අපි උදාහරණයක් විදියට 'කල්කි' කියන ඉන්දියානු නවකතාව ගත්තොත් එහි කියවෙන්නේ අනාගතයේ දී පැමිණෙන විෂ්ණුගේ දසවැනි අවතාරය ගැන. ලෝකය අයිතිකරගත යුතු මිනිසුන්ගේ කතාව, අනාගත ලෝකයේ ව්‍යසනය, ක්‍රි.ව. 3000 ත් පසුකර ගිය කාලයක් ගැන විදෙස් ලේකඛයෝ හිතනවා, ලියනවා. අනාගතය ගැන උපකල්පන අපට නැහැ. ඒත් අපේ රටවල දකින දේ ගැනම පමණයි බොහෝ විට නිර්මාණ බිහි වෙන්නේ. මම කියන්නේ මෙය හොඳ නැති බව නෙවෙයි. නමුත් අපි එතැන නැවතිය යතු නැහැ.

මගේ අලුත්ම නවකතාව (මංජු) මරණයෙන් පසුව ඇතිවන තත්ත්වය, පුනර්භවය ගැන කළ පර්යේෂණත් සමඟින් ලියැවුණ පොතක්. මේ පොත ලිවීමේ දී මම තිබ්බත මළ පොත, පුනර්භව පර්යේෂණ ග්‍රන්ථ වගේම පුනර්භවය ගැන ලියැවුණ ලිපි ආදිය පරිශීලනය කරමින් තමයි මේ පොත ලිව්වේ. අපි කවුරුවත් මරණින් පස්සේ මොනවද වෙන්නේ කියලා හරියටම දන්නේ නෑ. ඒ පිළිබඳ තියෙන්නේ කුතුහලයක්. මේ කුතුහලය නිසා තමයි මගේ මේ ප්‍රබන්ධ නව කතාව ලියැවුණේ.

ඇත්තට ම අපේ පාඨකයෝ ඉන්නේ පොත් ලියන අයටත් වඩා ඉදිරියෙන්. ඔවුන්ට හොඳ රසවින්දනයක් තියෙනවා. පොත් ප්‍රකාශකයන් කියනවා පරිවර්තන කෘතිවලට වැඩි ඉල්ලුමක් තියෙන බව. ඒකෙන් පෙනෙන්නේ අපේ පාඨකයන් එකම රටාවක තියෙන නවකතා කියවනවාට වඩා වෙනස් රසයක්, දැනුමක් සොයාගෙන යන බව.

* අපේ රටේ ලෝක සාහිත්‍යයට යන මට්ටමේ පොත් බිහි වුණේ නැද්ද?

ඇයි නැත්තෙ, බිහි වුණා. සයිමන් නවගත්තේගම, ජී.බී. සේනානායක වගේ කතුවරුන්ගේ පොත් ඉංග්‍රීසි භාෂාවට, වෙනත් විදෙස් භාෂාවලට පරිවර්තනය වුණා නම් ඔවුන්ගේ නිර්මාණ, ලෝක සාහිත්‍ය තුළ බොහෝ කතාබහට ලක්වන නිර්මාණ බවට පත්වේවි. පොතක් ඉංග්‍රීසියට හෝ වෙනත් භාෂාවකට පරිවර්තනයකර මුද්‍රණය කිරීම අධික වියදම් යන කටයුත්තක් නිසා එය කතුවරයාට හෝ කතුවරියට කිරීම අපහසුයි. නමුත් රාජ්‍ය අනුග්‍රහයක් හෝ මේ සාහිත්‍ය නිර්මාණ ලෝකයට ගෙනයාමට යම් වැඩපිළිවෙළක් රාජ්‍ය අංශයෙන් පැවතුණා නම් ඒක අපේ සාහිත්‍යය ලෝකයට ගෙන යාමට වගේම අපේ ලේඛකයන්ගේ නිර්මාණවලට වැඩි ඇගයීමක් ලබා ගැනීමට හැකි දෙයක්.

* අද ළමා හා තරුණ පිරිස් පොත්පත්වලින් ඈත් වීමක් දකින්නට ලැබෙනවා. මේනිසා සාහිත්‍යයට යම් බලපෑමක් වෙනවා නේද?

පොත් කියවීමට දරුවෙක් කුඩා කාලයේ දී ම යොමු කිරීම වැදගත්. නමුත් නව යොවුන් වියේ දරුවෙක් කියවීමට යොමු කරවන්න, ඒ සඳහා උත්තේජනයක් ලබා දෙන්න ගොළු හදවත වගේ පොත්වලින් හැකියාව තියෙනවා. කරුණාසේන ජයලත්, ටී.බී. ඉලංගරත්න වගේ ලේඛකයන්ගේ පොත් කියවන්නට දීමෙන් යොවුන් දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරන්න පුළුවන්.

සම්මාන ලබා දීමේ දී නිසි වටිනාකමක් නැති පොත්වලට සම්මාන දීමත් අපේ දරුවන් පොත්වලින් ඈත් කිරීමට හේතුවක්. මොකද බොහෝ දෙනෙක් අද පොත් මිලදී ගන්නේ සම්මාන ලැබුණු කෘති හා බොහෝ විට සම්මාන සඳහා නිර්දේශිත පොත්. ඉතිං සම්මාන ලැබුණු පොත රසයෙන්, හරයෙන් යම් අඩුවක් දැක්වුවොත් මේ දරුවන් හිතන්නේ සම්මාන ලැබුණු පොත මේ වගේ නම් අනෙක් පොත් කොහොමවත් බලලා වැඩක් නෑ කියලා.

ඒ නිසාම නිසි විචාර කලාවක් නොමැති වීමෙන් පොත් ගැන පාඨකයන්ට දැනුවත් බවක් ලබා ගැනීමට නොහැකි වීම නිසාත් පොත් කියවීමට නැඹුරු වීම අඩුයි. ඉස්සර පත්තරවල පොත්වලට හොඳ මධ්‍යස්ථ විචාර ලියැවුණා. ඒවා දැකපු පාඨකයෝ පොත් කියවීමට උනන්දු වුණා. ඒත් අද විචාර ලියැවෙන්නේ නැති තරම්.. ලිව්වත් බොහෝ වෙලාවට ඒවා තම යාළුමිත්‍රයන්ගේ වුවමනා එපාකම්වලට ලියැවෙන ලියවිලි බවට පත්වෙලා. පොත් ගැන සාහිත්‍ය ගැන හොඳ කතිකාවක් තිබුණොත් තරුණ පිරිස නැවතත් කියවීමට නැඹුරුකර ගන්න පුළුවන්.

* අද ඇතැම් ලේඛකයන් හුදු ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් ම පොත් ලිවීම නිසා නිර්මාණවල ගුණාත්මක බවේ අඩුවක් තියෙන්න පුළුවන් නේද?

ඔව්, අද ඇතැම් ලේඛකයන් පොත් සල්පිල අරමුණු කරගෙන ම පොත් ලිවීම කිරීමත්, පොත් විශාල ප්‍රමාණයක් ලිවීමට උත්සාහ කිරීමත් නිසා යම් තරමකට එහි නිර්මාණාත්මක බවට හා ගුණාත්මක බවට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මම නම් කියන්නේ අරමුණු තියාගෙන පොත් ලියන්න බැහැ. වෙළෙඳ අරමුණක් හෝ සම්මාන ගැනීමේ චේතනාවෙන් හෝ පොතක් ලිවීම නියම නිර්මාණකරුවෙකුගේ විදිය නෙවෙයි. මොකද නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය තමන්ගේ දරුවා ලෙස සිතාගෙන පටු අරමුණුවලින් තොරව නැණ ගුණ ඇතිව දරුවා පෝෂණය කළ යුතුයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.