වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
විජය කුමාරතුංගයන් මියගිය දා සිට මම උපන්දිනය සමරන්නේ නැහැ
අද ආදරවන්තයින්ගේ දිනය. ආදරය ගැන බොහෝ දේ කතාබහ කරන, විවිධ අර්ථකථන ඉදිරිපත් කරන මේ දවසේ දී අපූරු ආදර සිතැත්තෙක් ගැන කතා කරන්නට අපට සිතුණා. ඔහුගේ ආදරය හිමි වෙලා තියෙන්නෙ එක් චරිතයකට පමණක් නෙවෙයි. ඔහු මේ රටේ බොහෝ දෙනකුට ආදරය කරන්නෙක්.
විශේෂයෙන්ම අපේ රටේ කලාකරුවන්ගේ උපන්දිනය මතකයේ තබාගෙන ඉන්න ආදරවන්තයෙක්. ඒ විතරක් නෙවෙයි ඒ සෑම උපන්දිනයකදීම උදෑසනින් ආදරණීය සුබ පැතුමක් එකතු කරනා අපූරු සෙනෙහෙවන්තයෙක්.
සිරි කහවල නම් වූ ඔහු තවත් දෙදිනකින් (පෙබරවාරි 16) සිය උපන්දිනය සමරනවා. ඉතින් ඊට සුබපැතුම් එකතු කරමින් මෙවර තරුණී පිළිසඳරට ඔහුව කැඳවන්නට අප අදහස් කළා.
සුන්දර ගම් පියසක ඉපිද හැදී වැඩුණු ඔබට අපූරු ළමා කාලයක් උරුම වුණා. අපි ඒ සොඳුරු අතීතය ගැන මතක් කරමුද?
“ඇත්තටම ඔව්. කළුතර දිස්ත්‍රික්කයේ, මිල්ලනිය ප්‍රාදේශීය සභාවට අයත් අරකාගොඩ තමයි මගේ ගම. සුන්දර ගමක් ඒ කාලේ. අපේ පවුලේ අක්කයි, අයියයි, මමයි, නංගියි තමයි හිටියේ. ඉඩම්හිමි වැවිලිකරුවෙක් වුණු මගේ තාත්තා ජීවිතයෙන් සමුගන්නකොට මට අවුරුදු තුනක් විතර ඇති. නංගි හිටියේ මවගේ කුසයේ. ඊට පස්සෙ අපේ තාත්තාගේ අයියා වුණු ලොකු තාත්තා තමයි එයාගේ මුළු ජීවිතයම කැපකරලා පියෙක් වාගේ අපිව රැකබලා ගත්තෙ.“
ඔබ පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හැදෑරූ දරුවෙක්.
“මම මුලින්ම ගියේ මිල්ලනිය බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට. ඊට පස්සෙ හතරේ පන්තියේ දී අක්කත් එක්ක හොරණ තක්ෂිලාවට ගියා. පහවසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා පානදුර ශාන්ත ජෝන්ස් විද්‍යාලයටත්, 9 වසරේ ඉඳන් කොළඹ ආනන්ද විද්‍යාලයටත් ඇතුළත් වුණා.“
පත්තර කලාවට වාගේම චිත්‍රපට කලාවටත් පිස්සුවෙන් වාගේ ආදරය කරන්න පටන් ගත්තෙ මේ ළමා කාලයේ ඉඳලම නේද?
“අපේ ලොකු තාත්තා හැමදාම දිනමිණ සහ සිළුමිණ පුවත්පත් අරගෙන අපිට ඇහෙන්න හයියෙන් කියවනවා. ඒවාගේම මගේ අක්කා දයා කහවලත් සාහිත්‍යයට හරිම ළැදියි. ඒ ආභාෂය නිසාම මම පත්තර බලන්න වාගේම කවි ලියන්න, පත්තරවලට ලියන්නත් පෙළඹුණා.
මට මතකයි අඹ වනය කියන කවි පොතට කවි ලියලා යවන නිසා ඒ පොත විකුණන්නත් මට එවනවා. ඒ විතරක් නෙමෙයි චිත්‍රපටි බැලීමේ සහ බයිසිකල් පැදීමේ පිස්සුවකුත් මට තිබුණා.
මගේ පිස්සුවේ තරම කොයිතරම්ද කියනවානම් බයිසිකලේ පැදගෙන හොරණට ගිහින් චිත්‍රපටි බලනවා. පානදුරේ පාසල් යද්දි මම ගෙදරක නැවතිලා හිටියේ. ඉතින් නිවාඩු දවසට මම ගෙදර යන්නෙ උදේ, දවල් චිත්‍රපටි දෙකක්ම බලලා.“
ඔය අතරේ හින්දි භාෂාව ඉගෙනගන්නත් උත්සාහ ගත්තා.
“ ‘ශෝබා‘ චිත්‍රපටිය බැලුවට පස්සේ වෛජයන්තිමාලාට මගේ හිත ගියා. ඉතින් ඇය ගැන තොරතුරු හොයන්න තමයි මම හින්දි ඉගෙන ගත්තෙ. අමාරුවෙන් හින්දි භාෂා පොත් හොයාගෙන හින්දි ඉගෙනගත්තා විතරක් නෙවෙයි ඒ ගැන පත්තරවලටත් ලිව්වා. ‘ආනන්ද මහා විද්‍යාලයේ සිරි කහවල‘ කියන නමින් චිත්රවාහිනිය සඟරාවට මම හින්දි චිත්‍රපටිවල නම්වල තේරුම ලියලා යැව්වා අද වාගේ මතකයි. හින්දි භාෂාවට තිබුණ ඇල්ම නිසාම මම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ දී ශුද්ධ ගණිතය විෂයයත් එක්ක හින්දි භාෂාවත් හැදෑරුවා.“
මේ හින්දි උන්මාදය නිසාම ඔබ කොහොමහරි ඉන්දියාවටත් ගියා.
“විද්‍යාලංකාරයේ අපට ඉගැන්නුව භදන්ත ආනන්ද කෞශල්‍යායන මහාචාර්ය හාමුදුරුවෝ නිවාඩුවට ඉන්දියා යද්දි මමත් ගියා. හාමුදුරුවෝ කල්කටාවලට යද්දි මම ගියේ බොම්බායට. ඒ ගිහින් වෛජන්තිමාලා හමුවෙන්න බැරි වුණත් මදන් මෝහන්, පී. රාමචන්ද්‍ර, වසන්තා දේශායි, ගීතාදත් වාගේ බොහෝ දෙනකුගේ සම්මුඛ සාකච්ඡා කරලා සරසවිය පුවත්පතට ලිපි මාලාවක් සපයන්න හැකියාව ලැබුණා.“
ලංකාවේ කලාවට සම්බන්ධ පුද්ගලයන්ගේ උපන්දින ගැන මුලින්ම ලියන්න පටන් ගත්තෙ ඔබතුමා.
“මම කවදටත් ෆිල්ම් ෆෙයාර් සඟරාව බලන කෙනෙක්. එයාලගේ ‘මාධූරි‘ කියලා සඟරාවක මේ විදිහට කලාකරුවන්ගේ උපන්දින පළ කෙරුණා. ඊට පස්සෙ තමයි මම ආතර් යූ. අමරසේන මහතාගේ සිත්සර පුවත්පතට මේ විශේෂාංගය කරන්න පටන් ගත්තෙ. පසුකාලීනව එය හරිම ජනප්‍රිය වුණා විතරක් නෙමෙයි තවත් පත්තරවල වාගේම ගුවන්විදුලි, රූපවාහිනී චැනල්වලත් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.“
උපන්දිනය ගැන ලිව්වා විතරක් නෙමෙයි ඔබ එදාට අනිවාර්යයෙන්ම සුබපතන පුද්ගලයෙක්.
“මුල් කාලයේ දී නම් එය නිතිපතා කෙරුණේ නෑ. ඒත් සිරිමල් උයනේ නිවෙසට පදිංචියට ආවට පස්සෙ මම හැමකෙනකුටම උදේ 6.00 වෙනකොට සුබපතන එක පුරුද්දක් වුණා. මේ වෙනකොට දවසකට සුබපැතුම් 5 - 15ත් අතර ප්‍රමාණයක් මා අතින් සිදුවෙනවා. කොහොමටත් අවුරුද්දකට 3000කට වැඩි පිරිසකට මම සුබ පතනවා.
උපන්දිනයට අමතරව විවාහ සංවත්සරය වාගේම අපේ කලාකරුවන් ජීවිතයෙන් සමුගත් දිනයන් ද මගේ සැමරුම් අතර තියෙනවා.2006 වසරේ මට ටවර්හෝල් රංග පදනමේ උපදේශක තනතුරක් ලැබුණා. මේ වැඩපිළිවෙළ යාවත්කාලීන කරගන්න එය හරිම පහසුවක් වුණා.
ඒ කාලයේදී මම හැම කෙනකුටම සුබ පැතුම් පතක් යවන්නත් පුරුදු වුණා. මම ඒ තනතුරෙන් ඉවත් වුණත් මේ සුබපැතුම්පත් යවන එක නතර කළේ නැහැ. මගේ වියදමින් වසරකට සුබපැතුම්පත් 3000ක් විතර මුද්‍රණය කරලා යවනවා. ඒත් කොරෝනා වසංගතයත් එක්ක ඒකටත් තිත තියන්න සිදු වුණා. දැන් ඉතින් කතා කරලා සුබ පතන්න විතරයි පුළුවන්.“
මේ හැමදෙනාගේම උපන්දිනයට සුබපතන ඔබතුමාගේ උපන්දිනය දවස ගතවෙන ආකාරයත් සඳහන් කරමු.
“මගේ උපන්දිනය දවසට දුරකථනය ළඟින් නැඟිටින්න වෙන්නෙම නැහැ. පැය 24 පුරාම ඒකට කට්ටිය සුබපතනවා.
මම එදාට කියලා තියෙන්නෙ කිසි කෙනකුට එන්නත් එපා කියලා. මොකද මට නිදහසේ කතා කරන්න බැරි නිසා. ඒ වාගේම මම මගේ උපන්දිනය සමරන්නෙත් නැහැ. ඊට හේතුව මම ඉතා ආදරය කළ, එකට දේශපාලනය කළ මගේ මිත්‍රයා විජය කුමාරතුංග අවසන් සුසුම් හෙළූවෙත් මගේ උපන් දිනය වූ පෙබරවාරි 16. ඉතින් ඔහු මිය ගිය දිනේ ඉඳන් අද වෙනකම් හැම මාසෙකම 16 වැනිදාට මම පන්සලට දානය පිරිනමලා ඔහුට පින් අනුමෝදන් කරනවා. ඒක මේ වසර ගණනාව පුරාවටම මා විසින් ඉටු කරන චාරිත්‍රයක්.“
කලාකරුවන්ගේ උපන්දින හරියටම මතක තියාගෙන සුබපතන ඔබතුමාගේ ජීවන සහකාරිය ගැන සඳහන් නොකළොත් ඒක අඩුපාඩුවක් නේද?
“මගේ බිරිය මල්ලිකා කහවිට. ආදර සම්බන්ධතාවයකින් පස්සෙ තමයි අපි විවාහ වුණේ. මුලින්ම ඇය මගේ රසිකාවියක්. මගෙන් හින්දි භාෂාව ඉගෙනගත්තා.
ඒවාගේම ඇයට ලස්සනට කවි ලියන්න පුළුවනි. හොඳ රසිකත්වයක් තියෙනවා. ඉතින් ඒ ගැළපීම නිසා ජීවිත කාලය පුරාවටම එකට ගමනක් යන්න අපට හැකියාව ලැබුණා. මගේ කලාකාමී ජීවිතයට ඇයගෙන් ලැබෙන සහයෝගය අප්‍රමාණයි.“
මේ වන විට විශ්‍රාම ජීවිතයක් ගතකරන ඔබතුමා තෝරාගෙන තිබුණේ කලාව හෝ පත්තර කලාවෙන් පරිබාහිර රැකියාවක්.
“මම ළමා අවධියේ ඉඳන්ම පත්තර වලට ලිව්වා. ඒ මගේ ආත්ම තෘප්තියට. චිත්‍රපට තිර පිටපත් වාගේම විවිධ රූපවාහිනී ආයතනවල චිත්‍රපට සඳහා උපසිරස සකස් කළා. හැබැයි මගේ ස්ථිර රැකියාව වුණේ පොහොර සංස්ථාවේ ගබඩා භාරකරු. අනුරාධපුරය, බදුල්ල, නුවරඑළිය, අම්පාර, හම්බන්තොට ආදී වශයෙන් ලංකාවේ සෑම පළාතකම සේවය කරලා දැන් ඉතින් විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවා."