තෙලිඟු සිනමාවෙන් පැමිණ බොලිවුඩය ජය ගත් ක්‍රිටි සැනොන්..

සැප්තැම්බර් 26, 2022

 

බොලිවුඩයේ තරු බැබළුණු රාත්‍රියක් ඉකුත් දා පැවැත්විණි. කාලයෙන් කාලයට වෙනස් වූ තරු ඇති බොලිවුඩයට මෙවර ෆිල්ම් ෆෙයා සම්මාන රාත්‍රිය තවත් වෙනසක් එක් කළේය. අනෙක් වසරවලට වඩා නවක තරු බොහොමයක් සම්මානයට පාත්‍ර වීම එයට හේතුවයි.

නූටාන්, බිනා රායි, වයිජයන්තිමාලා, මීනා කුමාරි, වහීඩා රෙහ්මාන්, ෂර්මිලා තාගෝර්, මුම්ටාස්, ආශා පරේක්, හේමා මාලිනී, ඩිම්පල් කපාඩියා, ජයා බච්චන්, ලක්ෂ්මි, රාඛී, ෂබානා අස්මි, රේඛා, ස්මිතා පටෙල්, පද්මිණී, ශ්‍රී දේවී, මධුරි ඩික්සිත්, ජුහී චව්ලා, කාජොල්, කරිෂ්මා කපූර්, ඓයිෂ්වර්යා රායි, ප්‍රීටි සින්ටා, රාණි මුඛර්ජි, කරීනා කපූර්, ප්‍රියංකා චොප්රා, විද්‍යා බාලන්, දීපිකා පදුකෝන්, කංගනා රනවුත්, ආලියා බාත් වැනි එතෙක් මෙතෙක් බිහි වූ සම්මානනීය නිළියන් අතරට අලුතෙන් ම එකතු වූ නිළිය වන්නේ ක්‍රිටි සැනොන් ය.

ක්‍රිටි සැනොන් රූමත් බවින් මෙන්ම දක්ෂතා අතින් ද පිරිපුන් නිළියකි. පරමසුන්දරී ගීතය පසුගිය දිනවලදී ලංකාවේ පවා අතිශය ජනප්‍රිය වූවකි. බොලිවුඩයේ පරමසුන්දරිය වූ ක්‍රිටි මෙවර ෆිල්ම් ෆෙයා සම්මාන උලළේ හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. 2014 වසරේ දී ඇය රංගනයට පිවිසෙන්නේ තෙලිඟු සිනමාවෙනි. තෙලිඟු සිනමාවෙන් හින්දි සිනමාවට පිවිසි ක්‍රිටි හින්දි සිනමාවේ දී සම්මානනීය නිළියක් වූවාය.

1990 ජූලි මස 27 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පන්ජාබි පවුලක උපන් ක්‍රිටි සැනොන්ගේ මවුපියන් වන්නේ රාහුල් සැනොන් හා ගීතා සැනොන් ය. ඇගේ පියා වරලත් ගණකාධිකාරීවරෙයක් වන අතර මව දිල්ලි සරසවියේ රසායන විද්‍යා මහාචාර්යවරියකි. ඇයට වැඩිමල් සොයුරියක් හා සොයුරෙක් ද සිටිති. ඇගේ සොයුරිය වන නූපුර් සැනොන් හින්දි සහ තෙලිඟු චිත්‍රපටවල රඟපාන නිළියකි.

ක්‍රිටි දිල්ලියේ ප්‍රසිද්ධ පාසලක් වන ආර්.ඒ. පූරම් වෙතින් අධ්‍යාපනය ලබා අැති අතර ජායිපී තොරතුරු හා තාක්ෂණ ආයතනයේ තොරතුරු හා තාක්ෂණවේදී උපාධිධාරිණියක් ද වේ.

ක්‍රිටි සැනොන් නිළියක් වීමට පෙර නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටි තැනැත්තියකි. ඇය අඩි 5 අඟල් 10ක් උසින් යුතුය. නිරූපණ වෘත්තියෙන් බොලිවුඩයට පැමිණි නිළියන් අතරට ක්‍රිටි ද අයත් වේ.

හීරොපාන්ති, මිමි, බච්චන් පාන්ඩේ, ලූකා චුප්පි, රාබ්තා, අධිපුරුෂ්, හවුස්ෆුල්, දිල්වාලේ, පනිපත්, ගනපත්, භේදියා, හම් දෝ හමේරා දෝ, ස්ට්‍රී, ජේම්ස්, ෆාසි වැනි බොහෝ නිර්මාණ ගණනාවකට අැය තම රංගනයෙන් දායක විය. කෙමෙන් කෙමෙන් තම නිර්මාණයන් හරහා රසික සිත් සොරා ගත් ක්‍රිටි මේ වන විට බොලිවුඩයේ සිටින තාරකාවන්ට අභියෝගයක් වී ඇත. දීපිකා පදුකෝන්, අනුෂ්කා වර්මා, ආලියා බාත්, වැනි තාරකාවන් අභිභවා ඉදිරියට එන ක්‍රිටි තම දක්ෂතා දිනෙන් දිනම වර්ධනය කරගන්නා බවක් ඇගේ රංගනයන් නරඹන කාට වුවද වැටහෙන්නකි.

මිය ගිය නළු සුෂාන්ත් රාජ්පුත් සමඟ ද චිත්‍රපට කිහිපයකට දායක වී ඇති ක්‍රිටි ඔහු හා පෙම් සබඳතාවක් පැවැති බවට ප්‍රසිද්ධ විය. පසුව ජනප්‍රිය නළු කාර්තික් ආර්යයන් සමඟ සබඳතාවක් පවතින බවත් එයට ඇගේ මවුපියන් අකැමැති බවත් පැවසේ.
කෙසේ වුවත් තමාගේ වෘත්තීය ජීවිතය පියවරෙන් පියවර සාර්ථක කරගන්නා සුරූපී නිළි කිට්‍රි සැනොන් තව තවත් ජනප්‍රිය තලයට පා තබන බව නම් නොරහසකි.

තොරතුරු ලබා ගැනීම අන්තර්ජාලයෙනි