'ගෘහිණිය' කියන රාමුවෙන් මිදී 'ගැහැනිය' ලෙසින් ලොව දකින්න

ඔක්තෝබර් 3, 2022

 

නීතිඥ වෘත්තියයි ලිවීමේ කලාවයි ජීවිතයට මුහු කරගත් නාවලපිටියේ වැඩබලන මහේස්ත්‍රාත් - මනෝහරී ජයලත්

 

මුලින්ම අප ඇයව හඳුනා ගන්නේ මුහුණු පොත හරහා ය. පාසල් කාලයේ ඇය මුහුණ දුන් අපූරු සිදුවීම් ඕ රසට අකුරු කළාය. විටෙක දෙනෙතින් කඳුළු පනිනාතුරා සිනහ නඟමින් අපි ඒවා රස වින්දෙමු.

 

බොහෝ දෙනකුගේ ඉල්ලීම හමුවේ ඒ රසවත් ලියැවිල්ල ඕ "මැට්ටී" නමින් එළි දැක්වූවාය. අනතුරුව මාස කිහිපයක් ඇතුළත ඇය තවත් පොතක් එළි දැක්වූ අතර එය ඇයගේ මුල්ම නවකතාවයි. ඒ මෙවර ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ 'සංසස්කාරී' කෘතියයි.

මනෝහරී ජයලත් නම් වූ මේ අපූරු ලේඛිකාව වෘත්තියෙන් නීතිඥවරියකි. වැඩබලන මහේස්ත්‍රාත්වරියකි. නමුත් ඕ ලේඛන කලාවේ හරි අපූරුවට සුහුරුකම් පාන්නීය. එකිනෙකට වෙනස් වෘත්තීන් දෙකක් තුළ මනා දස්කම් පානා ඇය මෙවර තරුණී 'සොඳුරු සිතැත්තී' අතරට අපි කැඳවා ගතිමු.

 

ඔබ වෘත්තියෙන් නීතිඥවරියක්. වැඩබලන මහේස්ත්‍රාත්වරියක්. නමුත් පුංචි කාලේ ඉඳන්ම පොතපතට පෙම් බැඳි ලේඛිකාවක් ඔබ තුළ ජීවත් වුණා... "ඇත්තටම මම පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න හරිම ආසයි. පවුලේ බාලයා වුණු මට අක්කලාම තුන්දෙනෙක්. ඉතින් එයාලාගේ පොත් හරි අරගෙන මම කියවනවා. ඒ විතරක් නෙමෙයි පුංචි පුංචි කවි, ගීත, කෙටි කතා කුරුටු ගෑවා."

 

හැබැයි ඔයාගේ මේ විනෝදාංශයට වැඩිහිටියන්ගෙ සහයෝගයක් ලැබුණේ නෑ.

'අපොයි.... මොන සහයෝගයක් ද? අම්මගෙන්, ගුරුවරුන්ගෙන් අසීමිතව දඬුවම් වින්දා. ප්‍රේම කවි, ආදර කතා වාගේ දේවල්නෙ මම ලිව්වෙ. ඒ කාලේ අපේ පාසලේ සාහිත්‍ය වැඩසටහන්වලට මම සහභාගි වෙලා තෑගි ලබනවා. හැබැයි එහෙම දිනුවා කියලා අගය කිරීමකුත් නෑ. මොකද මගේ පුංචි පුංචි තක්කඩි වැඩ වැඩියිනේ. හැබැයි ඔය අතරේ කොත්මලේ ජලාශය විවෘත කිරීම වෙනුවෙන් මම ලියපු පද්‍ය රචනයට පළමු තැන ලැබුණා. කුසලාන, තෑගි, මුදල් වාගේම පත්තරවලත් ඒක පළ වුණා. හැමෝගෙම අවධානයට යොමු වුණු මේ රචනාව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.

 

නමුත් ඉන්පසුව ඔබේ ජීවිතයේ දිශානතිය වෙනස් වුණා.

"ඔව්. මම සියලු බාහිර වැඩට සමු දීලා උසස් පෙළට මහන්සි වුණා. අන්තිමට කොළඹ විශ්වවිද්‍යාලයේ නීතී පීඨයට ගිය මම නැවතුණේ නාවලපිටිය උසාවියේ නීතිඥවරියක් විදිහට. සරසවි ප්‍රේමය මල්ඵල දරලා විවාහ වෙලා දරුවෝ හැදුවා. සාහිත්‍ය රසකාමිනිය යටපත් වෙලා වැඩබලන මහේස්ත්‍රාත්, නීතිඥ, ප්‍රසිද්ධ නොතාරිස් වාගේ තනතුරුවලට අමතරව, ගෘහිණිය, මව, බිරිය කියන චරිත වඩාත් ඉස්මතු වුණා.

 

පොත් කියවීමේ පුරුද්ද නම් අත්හැරියේ නෑ.

"කවදාකවත් ඒ පුරුද්ද අත් හැරුණේ නෑ. කොතැන ගියත් පොතක් මිලදී ගත්තා. මගේ මහත්තයා කවදාකවත් පොත් කියවන කෙනෙක් නෙමෙයි. හැබැයි එයා මට ඕ ෙන තරම් පොත් ගෙනත් දෙනවා."

 

ආයෙමත් ලියන්න පෙලඹුණේ කොහොමද?

"කොරෝනා වසංගතය කියන්නෙ අපිට අමුතුම නිවාඩුවක් වුණා නේ. ගෙදරටම කොටු වෙලා ඉන්න අතරතුරේ වැඩිදෙනෙක් සමාජ මාධ්‍ය භාවිතයට යොමු වුණා. නිකම් ඉන්න එකේ මටත් හිතුණා පරණ පුරුද්දට මොනවා හෝ ලියන්න. පුංචි කතාවක් ලියලා දැම්මා. ඒකට පුදුමාකාර ප්‍රතිචාර හිමි වුණා. ඊට පස්සෙ දිගින් දිගටම ලිව්වා. මගේ දෙවැනි අක්කා සමුද්‍රා මාව හරියට උනන්දු කළා. මේවා පොතක් විදිහට කරමු කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට තමා "මැට්ටි" පොත බිහි වුණේ.

 

'සංසක්කාරී' ලියන්නෙත් ඒ කාලෙමයි නේද?

"ඔව්. මම 'මැට්ටි' ලියන ගමන්ම තමයි 'සංසක්කාරී' ලිව්වෙ. දෙකම එකවරම ලියාගෙන යන්න පුළුවන් වුණා. ඊට පස්සෙ මම මේ අවුරුද්දෙ 'පැණි ලුණු දෙහි' සහ 'ගිරිජා' ලිව්වෙත් එකටමයි. කිසිම පැටලිල්ලක් නැතිව නවකතාවක් සහ කෙටිකතා එකතුවක් ලියාගෙන යන්න හැකියාව ලැබුණා."

 

එහෙම නම් මනෝහරී නීතිඥ වෘත්තිය පැත්තකට කරලා ලේඛන කලාවට පිවිසෙයි ද?

"තාම නම් එහෙම අදහසක් නෑ. පසුගිය කාලයේ රැකියාවේ වැඩ එතරම් නොතිබුණු නිසා මට කාල වේලාව තිබුණා. ඒත් දැන් එහෙම බැහැ. මගේ වෘත්තිය නිසා කාර්යබහුලයි. ඉඩ ලැබෙන පරිදි තමා ලේඛන කටයුත්තෙ යෙදෙන්නෙ. මේ දෙකටම මම ආසයි සහ ආදරෙයි. ඒ නිසා හැකිතාක් කාලයක් දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ දරනවා."

නීතිඥ වෘත්තිය ඔබේ මවගෙන් සහ පියාගෙන් ලැබුණු ආභාෂයක් වෙන්න ඇති.

"ඇතැම්විට එහෙම වෙන්න ඇති. මගේ පියා චිත්‍රසෝම ජයලත්. නොතාරිස් කෙනෙක් වුණු ඔහු ජීවිතයෙන් සමුගන්නෙ මට වයස අවුරුදු තුනේදි. ලීලා ධර්මරත්න මගේ අම්මත් නොතාරිස්වරියක්. වයස අවුරුදු 95දී ධර්මචාර්ය විභාගය ලියපු කාන්තාව විදිහට ඇය ගැන නම් මේ ලංකාවම දන්නවා."

ඔබේ ආදරණීය පවුල ගැනත් කියමු නේද?

"මගේ මහත්තයා ලක්ෂ්මන්. ඔහු ව්‍යාපාරිකයෙක්. පුතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේත් දියණිය කොතලාවල නීති පීඨයේත් ඉගෙනුම ලබනවා. හැමදාමත් ඔවුන් මාව දිරිගන්වනවා. සහයෝගය ලබා දෙනවා."

අපේ කාන්තාවන්ට, තරුණ දියණියන්ට අද කාලයේ දිය යුතු හොඳම පණිවුඩය කුමක්ද?

"ලෝකය නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලින් බව ඔබ අසා ඇති. මේක මාතෘ මූලික සමාජයක්. ඒ නිසා ඔබේ ජීවිතය මුළුතැන්ගෙයට, නිවෙසට දිය කර හරින්න එපා. ඔබ ලෝකයට විවර වෙන්න. ඔබේ හැකියාවන්, ශක්තීන් ලෝකයාට දායාද කරන්න. ගැහැනියක් විදිහට අප සතු දරා ගැනීමේ ශක්තිය, නිර්මාණාත්මක හැකියාව සමාජයට දෙන්න. ගෘහිණියක් කියන රාමුවෙන් මිදී ගැහැනියක ලෙසින් දයාබරව, කාරුණිකව මේ සමාජය ගොඩ නගන්න ඔබේ දායකත්වයත් ලබා දෙන්න.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර