රූපයෙන් ලොවම දිනූ කළමණාකරණ උපාධිධාරිනිය

2021 ලෝක රූ රැජන පෝලන්තයේ කැරොලිනා
රූපය පමණක් ආභරණයක් ලෙස සිතන්නන්ට ඇය කදිම ආදර්ශයක්
මාර්තු 28, 2022

රුව කාන්තාවකට ආභරණයකි. රුව නිසාම තම ජීවිත විනාස කරගන්නා තරුණියන් සේ ම, රුව තම අභිමානයට හේතුවක් කරගත් කාන්තාවන් ද ඇත. එසේ වන්නේ ඇයට රුවසේම ගුණය ද එක් වූ විටයි.

ලොව රූමත්ම තරුණිය ලෙස අබිසෙස් ලැබීමට හැකි වීම තරුණියක් තම ජීවිතයේ ලබන සුවිශේෂී අවස්ථාවකි. මෙවර ලෝක රූ රැජින තරගාවලියේ දී 2021 වසර සඳහා ලොව රූමත් ම තරුණිය ලෙස අභිෂේක ලැබුවේ පෝලන්ත ජාතික කැරොලිනා බිලෙවිස්කා ය. 23 හැවිරිදි ඇය 70 වැනි ලෝක රූ රැජනයි.

ඇය 23 හැවිරිදි තරුණියකි. 1999 වසරේ අප්‍රියෙල් 11 වැනි දින පෝලන්තයේ දී උපත ලද ඇගේ ලග්නය මේෂය. අඩි 5 යි අඟල් 8ක උසකින් යුතු මේ රූමතිය කළමනාකරණ උපාධිධාරිණියකි. ඇය අධ්‍යාපනික පසුබිමක් සහිත පවුලක සාමාජිකාවකි. කැරොලිනාගේ මව පෝලන්තයේ ලෝඩ්ස් සරසවියේ මහාචාර්යවරියකි. එහි කළමනාකරණ හා නිෂ්පාදන ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිනිය වන්නේ ද ඇයයි.

"මගේ රට ආගන්තුක සත්කාරයට ප්‍රසිද්ධ වූ රටක්. ඒ නිසා අපේ රටට සංචාරය සඳහා පැමිණෙන ලෙස මම ඔබට ආරාධනා කරනවා. මගේ හොඳම මිතුරිය වෙන්නේ මගේ අම්මා. අපි රටවල් 30ක පමණ සංචාරය කරලා තියෙනවා." ඇය ඇගේ රට හා මව ගැන පවසන්නේ එලෙසිනි.

2021 වසරේ පැවැති කොරෝනා වසංගත තත්ත්වය නිසා රූ රැජින තරගය පැවැත්වූයේ අදියර දෙකක් යටතේ. ඉන් පළමු අදියර 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැති අතර දෙවෙනි අදියර පැවතියේ පසුගිය මාර්තු 17 වැනි දිනයි.

2020 වසරේ ජැමෙයිකාව නියෝජනය කරමින් රූ රැජින වූ ටෝනී ඈන් සිිං විසින් කැරොලිනා බිලෙවිස්කාට කිරුළ පැලඳවූවාය.

"මගේ නම රූ රැජින ලෙස පැවසෙද්දී මට එය අදහගන්න බැරි වුණා. මම වික්ෂිප්ත වුණා..." ඒ සොඳුරු මොහොත පිළිබද ඇයට දැනුණු හැඟීම ඇය එලෙසින් විස්තර කළාය.

කැරොලිනා බොහෝ සමාජසේවා කටයුතු සඳහා ද යොමු වූ තරුණියකි. එමෙන්ම ඇය අධ්‍යාපනය සමාජසේවා කටයුතු, විනෝද වීම් ආදී සියල්ලම ඉතා සමබරව පවත්වාගත් ආදර්ශවත් චරිතයකි.

කැරොලිනාට පෙර පෝලන්තය විසින් තවත් එක් රූ රැජිනක් බිහිකර ඇත. ඇය 1989 වසෙර් දී ලෝක රූ රැජින ලෙස කිරුළ පැලැඳි ඇනෙටා ක්‍රෙග්ලිකා ය. ඒ අනුව ලෝක රූ රැජන කිරුළ දෙවැනි වරටත් තම මව් රටට ලබා දීමට කැරොලිනා සමත් වූවාය.

කළු පැහැයට වැඩි වශයෙන් ඇලුම් කරන කැරොලිනා කෝපි පානයට බෙහෙවින් ප්‍රිය කරයි.

එමෙන්ම සංචාරයට ආදරය කරන ඇය, පිහිනීම, ටෙනිස් ක්‍රීඩාව, බැඩ්මින්ටන්, ස්කූබා ඩයිවිං (ස්කූබා යොදාගෙන දිය යට පිහිනීම) ආදියෙන් සතුටක් ලබයි. ක්‍රියාශීලී විනෝදාංශ ප්‍රිය කරන මේ සුරූපිනිය සෑම අතින්ම සමබර ලෙස තම දක්ෂතා ඔප් නංවා ගත්තියකි.

රූපය පමණක් ම ආභරණයක් ලෙස සිතන්නන්ට ඇය හොඳ ආදර්ශයක් සපයන්නීය. රූපයට තවත් වටිනාකමක් ලබා දීමට නම් අප සතු අධ්‍යාපනික තත්ත්වය, දැනුම, මෙන්ම ක්‍රියාශීලී බව ද‍ පරෝපකාරය ද උදවු වන බව ලොවටම ඇය ආදර්ශයෙන් පෙන්වා දී ඇත.