අම්මා ළඟින් ම ඉන්නවා කියන්නේ මට කවදාවත් වරදින්නේ නැහැ

නිලුෂි පවන්යා
මැයි 9, 2022

 

අද තරුණී කවරය සැරසෙන්නේ හිරු නාලිකාවේ විකාශය වන 'දිවිතුරා' ටෙලි නිර්මාණයේ 'වින්ඩි' ගේ චරිතයට ජීවය එක් කරන නිලුෂි පවන්‍යාගේ රුවින්. 2010 වසරේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ අවුරුදු කුමරිය තරගයේ තුන්වැනි ස්ථානය දිනාගත් ඇය මේ වන විට ටෙලි නිර්මාණ රාශියකටම දායක වී තිබේ. අද කතා බහ ඇය සමඟයි.

 

ඉතිං කොහොමද නිලුෂි...

"හොඳින් ඉන්නවා."

 

මොනවද මේ දිනවල වැඩ කටයුතු?

"දිවිතුරා ටෙලියේ 'වින්ඩි' ගේ චරිතයට දායක වෙනවා. හිරු නාලිකාවේ විකාශ ය වන දිවිතුරා ටෙලියට ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම 'ශීතාංගි' කියලා අලුත් ටෙලි නාට්‍යයක වැඩ බාර ගත්තා. එහි රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා."

 

නිලුෂි කලාව වැනි ක්ෂේත්‍රයක් තෝරා ගන්න හිතුවේ ඇයි?

"මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් විදිහට. මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධිධාරිණියක්. නර්ථනයට වගේම රංගනයටත් හැකියාව තියෙනවා කියලා විශ්වවිද්‍යාල ජීවිතයේදී මට තේරුම් ගියා. මගේ ගුරුවරුන් පවා ඒ ගැන පවසා මාව උනන්දු කළා."

කොහොමද රංගන කටයුතුවලට මුලින්ම අවස්ථාව ලැබුණේ?

"2010 වසරේදී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ අවුරුදු කුමරි තෙවැනි තැන දිනා ගත්තා. ඉන්පසු රංගන ඇරැයුම් බොහෝ ප්‍රමාණයක් ලැබුණත් බාර නොගත්තේ මම උසස් පෙළ කරමින් සිටි නිසා.

2015 වසරෙදි මිස් ශ්‍රී ලංකා තරගයටත් සහභාගි වුණා. ඒ කාලයේ දී මා නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරමින් සිටියේ. දවසක් නිරූපණ තරගයක විනිශ්චය මණ්ඩලයට මට ආරාධනාවක් ලැබිලා ගිය වෙලාවක එතැනදි මට මුණ ගැහුණා සනෝජා බිබිලේ මහත්මියව. එතකොට මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටියේ. එහිදි 'නිලූ මං ආදරෙයි' චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට මාව ඇය හඳුන්වා දුන්නා. එය මගේ පළමු සිනමාපටය."

 

එතකොට නිවේදන ක්ෂේත්‍රයට පිවිසියේ...

"මම පාසල් අධ්‍යාපනය ලැබුවේ පුත්තලම ලිහිණිගිර කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ මාදම්පෙ සේනානායක විද්‍යාලයෙන්. පාසල් සමයේදීත් මා නිවේදනයට දක්ෂයි. ඒ දක්ෂතාව තමයි මාව නිවේදිකාවක් කළේ. මේ දිනවල සියත ටී. වී. එකේ නිවේදන කටයුතු කරනවා. ඒ අවස්ථාව මට ලැබුණේ ටී. වී. වැඩසටහනකට ගිය වෙලාවක මගේ කතා විලාසය දැකලා."

 

නිරූපිකාවෝ රංගනයට ඒම දැන් ෆැෂන් එකක් වෙලා නේද?

"රංගන දක්ෂතා තියෙන අය නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින් ඒ අයගේ දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක මම වරදක් විදිහට දකින්නේ නැහැ. මොඩ්ලින් කරන එක පහසුයි. ඇක්ටින් කියන එක ලොකු පරාසයක් එක්ක යන දෙයක්."

 

ඔබ මෙතෙක් දායක වූ කලා නිර්මාණ ගැන කතා කළොත්...

"නිලූ මං ආදරෙයි, ඉලංදාරියෝ, හුස්මක් තරමට ටෙලියේ ශ්‍යාම් ටීචර්ගේ චරිතය හේලි, රැස්, අකුරු මැකී නෑ, දිවිතුරා, වත්සුනු, ඇවිත් මා හමුවන්න සහ ශීතාංගි වැනි නිර්මාණ රැසකට දායක වෙලා තියෙනවා."

නිලුෂිගේ ඉදිරි බලාපොරොත්තු

"රටේ පවතින තත්ත්වෙත් එක්ක වගේම ලංකාවේ කලාකරුවන්ට තියෙන තැන ගැන බලද්දි කලාවෙන් ඉස්සරහට යන්න අපහසුයි. මගේ බලාපොරොත්තුව මගේම ව්‍යාපාරයක නියැළෙන ගමන් ඉඩ ලැබෙන විදිහට රංගනයට දායක වෙන්නයි."

 

විශේෂයෙන් මේ වෙලාවේ මතක් කළ යුතු කෙනෙක් ඉන්නවාද?

"මගේ ජීවිතේ හැම දේකදීම මගේ ළඟින් හිටපු එකම කෙනා මගේ අම්මා. මගේ ගම හලාවත. ගමක හැදුණ මම කොළඹ ඇවිල්ලා මේ තත්ත්වයට එන්න මගේ පස්සෙන්ම හිටියේ මගේ අම්මා. ඇය පුෂ්පලතා ශ්‍රියානි. මගේ හැම දේම කියන්නේ එයත් එක්ක. මට හිතෙනවා කවුරු නැතත් එයා හැමදාටම මගේ ශක්තිය වේවි කියලා. අම්මා ළඟින්ම ඉන්නවා කියන්නේ මට කවදාවත් වරදින්න විදිහක් නැහැ."