ගංගු බායි කතියවාඩි වූ ආලියා බාත්..

මැයි 30, 2022

 

බොලිවුඩයේ නම ගිය කලා පවුල් කිහිපය අතුරින් වඩාත් ප්‍රබල කලා පවුලක් වන්නේ කපූර් පවුලයි. රාජ් කපූර්ගෙන් කලාවට පිවිසි කපූර් පවුල ඉන්දීය සිනමාව පුරා තම බලය විහිදුවයි. එහි මෑත කාලයේ තරු අතර දිලෙන තරුවක් වන්නේ දඟකාර රන්බීර් කපූර් ය. ඔහු රාජ් කපූර්ගේ බාලපුත් රිෂි කපූර්ගේ හා නිළි නීතු සිංගේ පුතණුවන් ය.

 

මේ අපූරු තරුණයාගේ සිත් ගත් දඟකාරිය ආලියා බාත්. බොලිවුඩයේ බාත් පවුලේ දියණියක වූ ඇය සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදක මහේෂ් බාත් ගේ හා සෝනි රාස්දාන්ගේ දියණියයි. තම සුරතල් පෙනුමෙන් ප්‍රේක්ෂක සිත් මෝහනයට පත් කළ පූජා බාත් ඇයගේ වැඩිමල් සොයුරියයි.

සරල, සුන්දර පෙනුමකින් යුතු ආලියා තුළින් දක්ෂ නිළියක් බොලිවුඩයට තිළිණ වී ඇත. බොලිවුඩයේ තරුවක් වුවද ඇය බ්‍රිතාන්‍ය පුරවැසි බව ඇති තැනැත්තියකි. එය ඇයට මවගෙන් උරුම වූවකි.

සාවරියා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රන්බීර් මේ වන විට එහි වැඩිම මුදලක් අය කරන නළුවන් අතර සිටින්නෙකි. තම දක්ෂතාව පිළිබඳ ඔහු ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළේ බර්ෆි චිත්‍රපටයේ ගොළු තරුණයකුගේ චරිතය නිරූපණය කරමිනි. ආලියා ළමා නිළියක ලෙසින් ප්‍රීති සින්ටාගේ කුඩා අවදිය නිරූපණය කරමින් සිනමාවට පිවිසියේ සංඝාර්ෂ් චිත්‍රපටයෙනි. මේ දෙදෙනා චිත්‍රපටයක එකට රඟපෑම සඳහා හමුවූයේ 2017 වසරේ දී ය. ඒ අයාන් මුඛර්ජිගේ බ්‍රහ්මාස්ත්‍ර හිදීය.

එතැනින් ඇරැඹුණු ආදරයේ පස්වසක ඵලය ලෙස පසුගිය අප්‍රේල් මස 14 වැනි දින ඔවුහු විවාහ දිවියට පිවිසියහ. 29 හැවිරිදි ආලියා සහ 39 හැවිරිදි රන්බීර් තිරයේදී මෙන්ම සැබෑ දිවියේ දී ද හොඳින් ගැළපෙන යුවළක් බව බොහෝ දෙනාගේ අදහසයි.

මේ විවාහය පැවැතියේ ආලියාගේ මුම්බායේ පිහිටි වාස්තු නිවෙසේ දී ය. ඒ සඳහා සහභාගී වූයේ පවුලේ ඥාතීන් ඇතුළු ඉතාමත් සීමිත හිතවතුන් පිරිසකි. ඉතාමත් චාම් අයුරින් පැවැති විවාහ උත්සවයේ මනාලියගේ හැඩගැන්වීම් පවා සරල අයුරින් සිදුකර තිබීම විශේෂත්වයකි. එහෙත් එය තම ජීවිතයේ විනෝදයෙන් හා සතුටින් පිරි දිනයක් වූ බව ආලියා පවසා තිබුණි.

පසුගිය 14 වැනි දින මේ තරු යුගල තම ප්‍රථම මාසයේ විවාහ සංවත්සරය ද සමරා තිබුණි. ඒ කරන් ජොහාර්ට අයත් අවන්හලක දී ය. ඔවුන් දෙදෙනා එය සමරා පිටත්ව යන විට පැපරාසින් විසින් ගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

මේ අතර ආලියාගේ විශේෂිත වූ චිත්‍රපටයක් ද තිරගත වන අතර එය මේ වන විට ද ප්‍රේක්ෂක මෙන්ම විචාරක පැසසුමට ලක් වී ඇත.

 

ඒ ඉන්දියාවේ විසූ මාෆියා රැජනක් වූ ගංගුබායි කතියාවාඩිගේ චරිතය ඇසුරින් නිම වූ ගංගුබායි කතියාවාඩි නම් චිත්‍රපටයයි. මෙහි ඉතාමත් දක්ෂ අයුරින් ගංගුබායිගේ චරිතයට පණ පොවන ආලියා තමාගේ හැකියාව ද පරිණත වූ බැව් ලොවට ම පෙන්වා ඇත.

ගංගුබායි කතියාවාඩි යන චරිතය අපට දෑස් ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට ආලියාගේ සමත්කම චිත්‍රපටය නැරඹීමෙන්ම දැකගත යුත්තකි.

මේ කාන්තා චරිතය ද සෑම කාන්තාවක්ම දැනගත යුතු චරිතයකි. ගංගුබායිගේ සැබෑ නම වන්නේ ගංගුබායි හර්ජිවාන්දාස් ය. ඇය 1939 වසරේ ඉපදී ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයේ කතියවාර් හි දී ය.

යොවුන් වියේ දී ඇගේ සිහිනය වී ඇත්තේ බොලිවුඩ් නිළියක වීමයි. ඒ සඳහා ඇය මුම්බායට යාමට සිහින පොදි බැන්දාය. වයස 16ක පාසල් යුවතියකව සිටි සමයේ දී ම ඇය තම පියාගේ ගණකාධිකාරීවරයා වන රාම්නික් ලාල් සමඟ පෙමින් බැඳුණා ය. ඔහු සමඟින් මුම්බායට සැඟව ආ ගංගුබායි එහි නව ජීවිතයක් ඇරැඹුවේ තම සිහින සැබෑ වන සුබ සිහින දකිමිනි.

නමුත් යුග දිවියට එළඹ දින කිහිපයකට පසු ඇයගේ සැමියා විසින් ඇය ගණිකා නිවෙසකට විකුණනු ලැබුවේ රුපියල් 500ක මුදලකටයි. රිදී තිරයේ තරුවක් වන්නට පෙරුම් පිරූ ගංගුබායිට කාමාතිපුරයේ ජනප්‍රිය ගණිකාවක් වන්නට සිදු විය.

මුම්බායි පාතාලයේ මාෆියා සාමාජිකයන් ගංගුබායිගේ සේවාදායකයන් වීම නිසා ඇයට කාමාතිපුරයේ බලවත් තැනක් ලැබිණි. කරීම් ලාලා 1960 දී එලෙසින් තම අණසකට කාමාතිපුරයේ වඩාත් භයානක පෙදෙස නතුකර ගත් මාෆියා නායකයා විය. ලාලාගේ කණ්ඩායමේ සිටි සාමාජිකයකු විසින් ගංගුබායිව දූෂ්‍ය කරන ලද අතර එයට සාධාරණය ඉෂ්ට කිරීමට ලාලා ඉදිරිපත් විය.

ගංගුබායිගේ ජීවිතයේ තවත් පිටුවක් පෙරළමින් ඇය හා කරීම් ලාලා අතර සහෝදර බැඳීමක් ඇති විය.

රාඛියක් අතේ බැඳීමෙන් ඇති වූ මේ බැඳීම නිසා ලා ලා තම සොයුරියට කාමාතිපුරයේ නායකත්වය පැවරීය. එහි ප්‍රතිඵලය වූයේ ගංගුබායි මුම්බායේ මාෆියා රැජන බවට පත් වීමයි.

ඇය නිරතුරුව ම තමා අවට සිටි කාන්තා හා ළමා ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටි අතර කාමාතිපුරයේ කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ මවක ලෙසයි. කාමාතිපුරයේ තිබූ ගණිකා නිවාස ඉවත් කළ ගංගුබායි ඔවුන් වෙනුවෙන් සිදු කළ මෙහෙවර සුළු නොවේ. ඒ මතකයන් නැවත නැවතත් සිහිගැන්වීම උදෙසා කාමාතිපුරයේ ඇයගේ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇත.

රටේ ලිංගික ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ කතා කිරීම සඳහා වරක් ඇය එවකට ඉන්දීය අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරු හමු විය. එහිදී අගමැතිවරයා විසින් ඇය ගෙන ආ ව්‍යාපෘතිය අවදානම් කලාපවල ආරක්ෂාව උදෙසා අනුමත කරන ලදී. රන් පැහැ බෝඩරයක් සහිත සුදු සාරියක් ඇඳ, නළලේ ලොකු රතු පැහැති බින්දියක් තැබූ රූපකාය ඇගේ විලාසිතාව විය.

ගංගුබායි කතියවාඩි සිනමා නිර්මාණය උදෙසා පාදක වන්නේ ගංගුබායි හර්ජිවන්දාස්ගේ සත්‍ය කතාවයි. එස්. හුසේන් සායිඩි විසින් රචිත ඇගේ ජීවිත වාර්තා ඇතුළත් 'මාෆියා ක්වීන්ස් ඔෆ් මුම්බායි' පොත චිත්‍රපටය සඳහා යොදා ගැනිණි.

තම නාමය ඉතිහාසයට එක් කළ ගංගුබායි කාමාතිපුරයේ දී ම තම අවසන් හුස්ම වාතලයට මුසු කළාය. බොලිවුඩයේ ජනප්‍රිය නිළියක ලෙස ප්‍රේක්ෂකයන් පිනවීමට සිහින මැවූ ගංගුබායි ලිංගික ශ්‍රමිකයකු ලෙස මිනිසුන් පිනවා, අනෙක් කාන්තාවන්ට හා දරුවන්ට රැකවරණය, සුබසිද්ධිය සලසා දී මිය ගිය පසු රිදී තිරයට පැමිණියාය. එය ඇගේ දෛවය විය. තමාගේ ජීවිත කතාව රිදී තිරයේ ප්‍රතිනිර්මාණය වී ඇති අයුරු දකින්නට ඈ සිටියා නම්..

මේ චිත්‍රපටය ජනප්‍රිය සම්මානනීය අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි හා ජයන්තිලාල් ගාදාගේ ඉදිරිපත් කිරීමකි.

බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් ආලියාගේ රංගනය ගැන කෙටි ලිපියක් ලියා ඇය වෙත යවා ඇත. එහි ඔහු සඳහන්කර ඇත්තේ 'ආලියා ඔබ ගංගුබායිහි සාර්ථකත්වය අභිභවා ගොස් ඇත...' යනුවෙනි.

 

අන්තර්ජාලය ඇසුරිණි