ළමා ගීවලින් ජනප්‍රිය වූ දිල්හානි සුරංජිකා

ජුනි 20, 2022

 

 

මෙවර තරුණි කවරය සරසන්නේ ප්‍රසංග වේදිකාව ආලෝකවත් කල වේග රිද්ම ගායන තරුවකි. දිල්හානි සුරංජිකා එදිරිසිංහ නම් වූ ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරස්වතී මණ්ඩපයේ ළමා ගී මිහිර නවක මඬලෙන් ගායන කරළියට පිවිසීය. මේ වන විට දිල්හානි ඇගේම ගීත කිහිපයක හිමිකාරියකි. මේ සොඳුරු කතා බහ ඈ සමඟයි.

 

මේ දිනවල ඔබේ කලා කටයුතු කොහොමද?

 

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයත් එක්ක මේ දිනවල ගී ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා තරමක් අඩුයි. එහෙත් ඉඩ ලැබෙන හැම මොහොතකම කලාව තුළ නියැළෙන කෙනෙක් මම.

කොහොමද සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ?

මම පාසල් ගියේ කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට. එවකට පාසලේ සංගීත ගුරුතුමා වූ අශෝක පුෂ්පකුමාරයන් මගේ හැකියාව හොඳින් හඳුනා ගත්තා. එතුමා මෑතක් දක්වාම කොළඹ රාජකීය විදුහලේ සංගීතාචාර්ය සහ සාගා නම් වූ සංගීත වැඩසටහනෙහි නිර්මාතෘ ලෙසත් කටයුතු කළ අයෙක්. එතුමා මා වෙනුවෙන්ම ළමා ගී 4ක් නිර්මාණය කර ඒවා ගුවන් විදුලියේ ගායනා කිරීමට ඉඩ ලබා දුන්නා.

ඒ ගීතවලට ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්...

එවකට ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවේ ළාබාලතම ශිල්පිනිය ලෙස මා ඉතාම ජනප්‍රියයි. ඉතිං කුඩා දරුවන් හරිම ආසාවෙන් බලන් හිටියේ මගේ ගීතයක් ඇහෙනකම්. නිවාඩු කාලේ දවසක, කළු කපුටා, සිත යට සැඟවුණු, යුද්දෙට ගිය තාත්තා, මගේ කුරුලු පොඩි යාළුවනේ, සුළං රැල්ලේ වැනි ගීත රැසක්ම මම ගායනා කළා. ඒවා ගුවන් විදුලිය නිතර ඇහෙන ගීත බවට පත් වෙලයි තිබුණේ.

 

සංගීතය ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නත් හේතුවක් වුණා..

 

උසස් පෙළට මා තෝර ගත්තේ සංගීත විෂයය. ඒ සඳහා මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළත් වුණා. ඉන් පසුව කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුණා. ඒ කාලවකවානුවෙත් මම නොයෙක් සංගීත කණ්ඩායම් සමඟත්, සජීවි එළිමහන් වේදිකාවේත්, මංගල උත්සවවලත්, තරු පන්තියේ හෝටල්වල බටහිර ගීත ගයන ගායිකාවක ලෙසත් සහභාගි වුණා.

 

සංගීතය තෝරාගත්තට මව්පියන් කැමැති වුණාද?

මගේ අම්මයි තාත්තායි රජයේ සේවකයෝ. මගේ අක්කලා දෙන්නත් එහෙමයි. මම විතරක් වෙනස්ම පාරක ගියා. මට ගීත ගායනයකට හැකියාව තිබුණ නිසා ඒ ගැන විරුද්ධත්වයක් ඔවුන්ට තිබුණෙ නැහැ. ඔවුන් මගේ හීනවලට යන්න උදව් කළා. අම්මගේ කැමැත්ත තිබුණේ මම සංගීත ගුරුවරියක් වෙනවා දකින්න. නමුත් මට ඒක ඉටු කරන්න බැරි වුණා.

 

විදෙස් ගත වීමත් එක්ක ඔබ කාලයක් කලාවෙන් ඈත්ව සිටියා නේද?

මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වුණා. මගේ පොඩි කාලේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් තමයි කවදාහරි මගේම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියන එක. ඒ අරමුණ ඇතුව මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරන්න යුරෝපයට ගියා. නැවත මම ශ්‍රී ලංකාවට ආවේ අවුරුදු හතරකට පස්සේ.

ඊට පසුව මම මගේම ව්‍යාපාරයක් කරගෙන ගියා. නමුත් මගේ මිතුරු මිතුරියන්ගේ වගේම අසල්වැසියන්ගේ කැමැත්ත වුණේ මම නැවත ගීත කියනවා බලන්න. එයාලා මාව නැවත ක්ෂේත්‍රයට ඇදලා ගත්තා.

 

දැන් ඔබ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක්...

විදෙස් ගත වී නැවත පැමිණීමෙන් පසු මුලින්ම ප්‍රසංග වේදිකාවට පිවිසියේ සනිධප සංගීත කණ්ඩායම සමඟයි. ඉන්පසු දිවයිනේ ජනප්‍රිය හා ජනප්‍රිය වෙමින් පවතින සංගීත කණ්ඩායම් රැසක් සමඟ වේග රිද්ම ගායිකාවක ලෙස ප්‍රසංග වේදිකාවේ ගීත ගයනවා.

මා 2016 වසරේදී කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදී මගේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය වන දිල්හානි ලයිව් ඉන් කොන්සර්ට් පැවැත්වූවා. 2018 වසරේදී “ දිල්හානි ලයිව් ඉන් කොන්සර්ට් 2” පැවැත්වූවා. ඉන්පසු තව එක වරක්, ලොව නිදි ගත් රැයක්, රන් මාල හතක්, නෙත් කොනෙක් හිනැහිලා, ආදරේ ඕනෑ යනුවෙන් ගීත පහක් කළා. පෙබරවාරි 14 තවත් ගීතයක් කළා. ඒක මේ දිනවල ඉතාම ජනප්‍රිය ගීතයක්.

 

ඔබ වෘත්තිය සංගීත ශිල්පිනියක් ද?

මේ කාලයේ හැටියට කලාව ජීවනෝපාය කරගෙන කටයුතු කරන්න අපහසුයි. කලාව කියනදේ විනෝදාංශයක් විදිහට රසවින්දනය කරන්න හොඳයි. ඉතිං මම වැඩි අවධානයක් දෙන්නේ මගේ ව්‍යාපාරයට. ඒත් ඉඩ ලැබෙන හැමවිටම කලා කටයුතුවල නියැළෙනවා.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න