වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගුවනින් විත් ශ්‍රාවක මනසේ සිතුවම් ඇඳි චිත්‍රා
ඇයට ඇත්තේ උපතින් ලැබුණු මිහිරි හඬකි. විශ්වසනීය වූ හඬකි. අසන්නන්ට පැහැදිලිව පණිවුඩයක් ලබා දිය හැකි පැහැදිලි සුපසන් හඬකි. ඒ හඬ කුඩා කල සිටම පුරුදු පුහුණු කළ එකකි. එනයින්ම අපේ සවන්පත් තුළ ඒ හඬ හැමදාම නින්නාද දෙයි. ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකාවක් වීම අදටත් වඩා අපහසු වූ යුගයක එහි අනන්‍යතාවට අනුගත වෙමින් තම දක්ෂතාවෙන් රටම පිනවූ, දැනුම්වත් කළ ඇය චිත්‍රා කුමාරි කළුබෝවිල යි. අද මෙන් නිවේදිකාවන් සුලබ නොවූ යුගයක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකාවක් වෙමින් පසුව වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂවරිය ලෙසින් ද කටයුතු කළ ඇයගේ එම මාධ්‍ය දිවිය ගැන කතා කිරීමට ඇය හා පිළිසඳරක යෙදුණා ය.
ඔබේ පාසල් කාලය ගැන මතකය අවදි කරමු ද?
පාසල් කාලය කියන්නේ ළමා කාලයනේ.. මගේ ළමා කාලය තරමක් දුෂ්කර වුණත් දැන් මතක් කරද්දි සුන්දරයි. අපි හිටියේ මරදානේ ටවර් හෝල් රඟහල ඉදිරිපිට. දුෂ්කර ජීවිතයක් තමයි අපි ගත කළේ. මම පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකා විදුහලට. මරදාන අභයසිංහාරාමයෙ ශ්‍රී සංඝරාජ දහම් පාසලෙන් දහම් දැනුම ලබාගත්තා. මම පාලි භාෂාව ඉගෙන ගත්තේ පූජ්‍ය පණ්ඩිත වෙලේගම්මැද්දේ විමලජෝති ස්වාමින් වහන්සේගෙන්. සීලක්කන්ද ස්වාමීන් වහන්සේ අපට බුද්ධගජ්ජය, සකස්කඩය වැනි පොත් කියෙව්වා. මේ කාලයේ ඉගෙනගත් දේවල් මගේ වෘත්තීය ජීවිතයටත් උපකාර වුණා..
උසස් අධ්‍යාපනයට යොමු වෙනවට වඩා ලබාගත් අධ්‍යාපනයෙන් රැකියාවක් කිරීමයි මගේ කැමැත්ත වුණේ.. මොකද අපේ අම්මයි අප්පච්චියි අපි වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. ඒ නිසා අම්මා අප්පච්චි දෙන්නා විඳින දුකින් මුදා ගන්නයි මට ඕනෙ වුණේ.. වැඩිමල් දරුවා නිසා මට ඒ වගකීම පැහැර හරින්න බැහැ. අනිත් කාරණය තමයි හොඳ බෞද්ධයෙක් විදියට බුදු හිමිගේ චරිතය ආදර්ශයට ගන්න මට, මගේ සුබසිද්ධිය ගැන විතරක් හිතන්න හිත ඉඩ දුන්නේ නැහැ.
ඔබේ නැගණියත් නිවේදිකාවක්. පවුලේ දෙදෙනෙක්ම නිවේදිකාවන් වෙන්න බලපෑ පවුල් පසුබිම මොනවගේද?
මට ඉන්නේ නංගීයි, මල්ලිලා දෙන්නයි. නංගි නෙළුම් කළුබෝවිල. ලලිත්, සංගීත් මල්ලිලා දෙන්නා. මගේ අම්මා ශීලා සරත්කුමාරිහාමි හෙට්ටිආරච්චි. අම්මගේ ගම නුවර. අම්මට කළ නොහැකි දෙයක් නැති තරම්.. ඇයට වහල හැදීම, මේසන් වැඩ, රසට කෑම හදන්න, මැහුම් ගෙතුම්, ගීත ගායනා කරන්න වගේම සර්පිනාව වයන්නත් පුළුවන්. අපේ අම්මා කාරුණික උගත්, බුද්ධිමත් කාන්තාවක්. අපේ අප්පච්චි සිමියොන් කළුබෝවිල. අප්පච්චිටත් හොඳට සිංදු කියන්න පුළුවන්. අපි පුංචි කාලේ සමහර දවස්වල හවසට පවුලේ පැදුරු පාටි දානවා. කොයිතරම් නැති බැරිකම් තිබුණත් ඔවුන් දෙන්නා අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න වෙහෙසුණා.. අපිට උපතින් ලැබුණු හැකියාවන් තිබුණත් මේ වෙනුවෙන් මවුපියන් අපිව ඒ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට හැකි ස්ථානවලට කුඩා කාලයේ සිට ම යොමු කළා. අපිව ගුවන්විදුලියේ ළමා මණ්ඩපයට අරන් ගිහින් වැඩසටහන් ඉවරවෙලා අපි එළියට එන තෙක් අම්මා තැටිං (රේන්ද විශේෂයක්) ගොතමින් ඉන්නවා. මමත් නෙළුම් නංගිත් දයාරත්න රණතුංගයන් යටතේ යම් මට්ටමකට සංගීතයත් හැදෑරුවා.
1960 දශකයේ අග භාගයෙන් පසුව අපි ළමා මණ්ඩපයේ ගීත ගායනා කළා. බෝසත් ළමා ළපැටියෝ, හඳ මාමා වගේ ළමා වැඩසටහන්වලට සම්බන්ධ වුණා. කටහඬ පරීක්ෂණවලින් සමත් වීම නිසා ළමා සංගීත සන්ධ්‍යාවේ ළමා ගීත ගායනා කිරීමටත් අවස්ථාව ලැබුණා.
පුංචි කාලේ හිතුවේ ලොකු වුණාම නිවේදිකාවක් වෙන්න ද ගායිකාවක් වෙන්න ද?
මම පුංචි කාලේ ඉඳන් එක එක රැකියා ගැන හීන මැව්වා. එත් ආර්ථික දුෂ්කරතා නිසා හීන දිගේ ඇවිද යනවට වඩා, ඉක්මනින් පවුලේ වගකීම් ගැන හිතන්න ඕනෙ වුණා. කොහොම වුණත් මගේ ගුරුවරියගේ හීනය හැබෑ වුණා. ඒ අර්ධකාලීන නැටුම් ගුරුවරියක් විදියට මොරටුව ශාන්ත සෙබස්තියන් සහ වාද්දුව රෝමානු කතෝලික මිශ්‍ර පාසලේ සේවයට එකතු වීමෙන්. එහි දී සංගීතයත් උගන්වන්න මට සිදුවුණා. ගුවන්විදුලියේ සිටි කුසුම් පීරිස්, සුජාතා ගුණවර්ධන අක්කලා මට සාරියක් තෑගි කළා, ගුරුවරියක් විදියට මුලින්ම පත්වීම ලැබුණු වෙලාවේ. ඒවා හරිම සුන්දර මතක.
මට ඒ කාලේ නිවේදිකාවක් වෙන්න ආසාවක් තිබුණේ නෑ. ඒත් අපේ අම්මා අපිව නොදැනුවත්වම යොමු කරලා තිබුණේ කලා ක්ෂේත්රයට. අපි කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යනවට අම්මා තුළ කැමැත්තක් තිබුණා. නාට්‍ය රඟපාන්නත් ගියා. මම මුලින්ම ප්‍රධාන චරිතයක් කළේ, බී. සිරිතුංග පෙරේරා මහතාගේ ගිනිකඳු නාට්‍යයේ. නාට්‍ය 12ක පමණ රඟපෑවා.
ජර්මන් ජාතික මහාචාර්ය නෝබට් ජේ. මයර් අධ්‍යක්ෂණය කළ 'අනේ අබ්ලික්' නාට්‍යයේ මමයි නංගියි, කමල් අද්දරාරච්චි, ජයන්ත චන්ද්‍රසිරි වැනි අය සමඟ රඟපෑවා. එහිදී ලැබුණු ශාරීරික අභ්‍යාස, හුස්ම ගැනීමේ අභ්‍යාස, හඬ පුහුණුව වැනි දේ අපට පසුකාලීනව නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමේ දී වැදගත් වුණා.
මම ගුවන් විදුලි නාට්‍යවලට මෙන්ම සහන නිවේදිකාවක් ලෙසත් සම්බන්ධවී කටයුතු කළා. පාසල් කටයුතු එක්කමයි මේ දේවල් කළේ.
ගුරුතුමී, නිවේදිකාවක් විදියට ඉස්සරහට ආවෙ කොහොමද කියලා දැනගන්න කැමැතියි..
ගුරු වෘත්තිය හෝ නිවේදිකා වෘත්තිය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වුණ වෙලාවේ කුසුම් පීරිස් අක්කා තමයි මම නිවේදිකාවක් වෙන්න ඕනේ බව මට වටහලා දුන්නේ. මම ප්රවෘත්ති නිවේදිකාවක් වුණත් ප්‍රසංග වේදිකාවෙත් නිවේදන කටයුතු සිදුකළා. ඒ හැකියාව මට තිබුණ බව දැනගත්තෙත් අහම්බෙන්. ප්‍රසංග වේදිකාවෙත් ඒ වෙනකොට කාන්තා හඬවල් අඩු නිසා මට වැඩි ආකර්ෂණයක් ලැබුණා. මේ වෘත්තිය නිසා බොහෝ වටිනා අත්දැකීම් ජීවිතයට එකතුකර ගන්නත් හැකියාව ලැබුණා. පස්සේ මම ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂවරිය වුණා.
නිවේදන වෘත්තිය නිසා මම සම්මානලාභිනියක් විතරක් නෙවෙයි වාර්තාවක හිමිකාරිනියකුත් වුණා. 2017 ආරම්භ කළ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ 2017, 2019, 2020 වසර තුනේම අඛණ්ඩව විශිෂ්ටම ප්රවෘත්ති නිවේදිකාව වීමේ වාසනාව ලැබුණා. 2018 වසරේ සම්මාන උළෙල නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැවැත්වුණේ නැහැ.
ප්‍රවීණ නිවේදිකාවක්, උපදේශකවරියක් ලෙස කටයුතු කරන ඔබ නව පරපුරේ හා ආධුනික නිවේදක නිවේදිකාවන්ට දෙන උපදේශය මොකක්ද?
ගුවන් විදුලි නිවේදකයෙක් ගනුදෙනු කරන්නේ ශ්රාවකයා සමඟයි. ගුවන්විදුලියේ ප්රවෘත්ති ප්‍රකාශය විශේෂයි. මොකද එය ශ්‍රව්‍ය මාධ්‍යයක් විතරක් නිසා, මුවින් ගිලිහුණු වචනයක් ආයෙත් ඇදලා ගන්න බෑ.. ඒ නිසා සෑම වචනයක් ම ශ්රාවකයාට අවබෝධ වන ආකාරයට නිවැරැදි උච්චාරණය, මහප්‍රාණ යෙදීම, වාක්‍යයක අර්ථය නිවැරැදිව පැවසෙන පරිදි පද බෙදීම ඇතිව තමා පවසන දේ ප්‍රකාශ කළ යුතුයි. රූප මාධ්‍යයේ දී නිවේදකයා පවසන දේ අපැහැදිලි වුවත්, ප්‍රේක්ෂකයාගේ අවධානය රූප වෙතත් යොමුවීම නිසා කියන දේ පැහැදිලි කරගත හැකියි. ඒ වගේම අවධානය වැඩියෙන් යොමු වෙන්නේ රූපයටයි. මේ මාධ්‍ය දෙකේ කටයුතු කිරීමේදී සමානතා වගේම මේ වගේ වෙනස්කම් ද තිබෙනවා. මේ දේවල් ගැන අවධානයෙන් නිවේදන කටයුතු කිරීමෙන් සාර්ථක නිවේදන කාර්යයක් සිදු කරන්න පුළුවන්.. ඒ වගේම ප්‍රවීණයන්ට ගරු කිරීම ඔවුන්ගේ ගුරුහරුකම් ලබා ගැනීමත් වැදගත්.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න