සිරස රැගෙන එන FIVE MILLION MONEY DROP

අගෝස්තු 29, 2022

මිලියන පහක් එහෙමත් නැතිනම් කෝටියකින් හරි අඩක් කියන්නෙ අද කාලයේ හැටියට විශාල මුදලක්. ඔබ සතු මතකය සහ දැනුම උපයෝගී කරගෙන ඉතාමත් විනෝදයෙන් මිලියන පහක් දිනාගන්නට හැකිනම් කවුරුත් අකැමැති නොවේවි.

 

කවදත් වෙනස්ම මාදිලියේ රස වින්දනයක් ඔබට තිළිණ කරනා සිරස රූපවාහිනියේ නවතම සජීවීකරණ වැඩසටහන “ Five Million Money Drop“ ඔස්සේ දැන් ඔබටත් මේ මිලියන පහ දිනාගත හැකියි.

 

වෙහෙසකර සතියක නිමාවේ දී එළඹෙන විවේකී සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හි රාත්‍රී 7.30 ට මේ වින්දනාත්මක වැඩසටහන ඔබට නැරඹිය හැකියි. ඊට අමතරව 7788 අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීම හරහා මේ අපූර්වතම තරගයේ තරගකරුවකු හෝ තරගකාරියක වීමට ද අවස්ථාව උදා කරගත හැකියි.

 

සාමාන්‍යයෙන් බොහොමයක් වැඩසටහන් සඳහා සහභාගී විය හැක්කේ එක් තරගකරුවකුට හෝ තරගකාරියකට පමණකි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ තරගකරුවන් හෝ කාරිනියන් දෙදෙනකුට එක්ව තරග කිරීමට හැකියාව තිබීමයි. සැමියා - බිරිය, පෙම්වතා - පෙම්වතිය, සහෝදරයා - සහෝදරිය, යහළුවන් - යෙහෙළියන් මේ ආදී වශයෙන් ඔබ කැමැති තවත් එක් අයකු තරගයට සහභාගී කරගත හැකියි. එහිදී වැදගත් වන්නේ කණ්ඩායම් හැඟීමෙන්, දෙදෙනාගේ එකඟතාව මත තීරණ ගැනීම සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීමයි.

 

එමෙන්ම මෙය වෙනත් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී මෙන් නිවේදකයා අසන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර ලබාදී මුදල් උපයා ගත නොහැකිය. මන්ද තරගය ආරම්භයේදීම සම්පූර්ණ මුදල වූ ලක්ෂ පනහ ඔබ වෙත හිමිවනු ඇත. අනතුරුව නිවේදකයා විසින් අසන සරල ප්‍රශ්න හතට නිවැරැදි පිළිතුරු ලබා දීම හරහා මුදල රැකගත යුතුය. ක්ෂණිකව නිවැරැදිව තීරණ ගැනීමේ හැකියාව මත මුදල් භාවිත කළහොත් ප්‍රශ්න හත අවසානයේ මුදල් සියල්ල ඔබ දෙදෙනා සතු වනු ඇත.

 

සාමාන්‍ය වැඩසටහනකදී සිදුවන්නේ පළමුව ප්‍රශ්නය ඉදිරිපත් කර අනතුරුව ඊට අදාළ පිළිතුරු හතරක් දී එයින් එකක් තෝරා ගැනීමයි. නමුත් මෙහිදී ඔබට පළමුව කැමැති අංශයක් තෝරා ගැනීමට මාතෘකා දෙකක් හිමි වේ. ඉන්පසුව ඔබේ තෝරා ගැනීමට අදාළව පළමුව පිළිතුරු හතරක් ලබා දේ. ගැටලුව ඉදිරිපත් වන්නේ අවසානයටයි. එහිදී ඔබ පිළිතුර වඩාත් නිවැරැදිව දන්නේ නම් ඊට අදාළ ඩ්‍රොප් බොක්ස් එක මත සියලු මුදල් තැබිය හැකියි. පිළිතුර පිළිබඳ යම් ගැටලුවක් පවතියි නම් වෙනත් පිළිතුරු සහිත ඩ්‍රොප් බොක්ස් මතද මුදල් තැබිය හැකියි. වඩාත් නිවැරැදි තීරණය අදාළ කාලය තුළ නොගතහොත් ඔබේ දෑස් ඉදිරිපිටම ඔබ සතු මුදල ඩ්‍රොප් බොක්ස් තුළට ඇද වැටී ක්ෂණයකින් නොපෙනී යයි. ඉතින් හිතන්න මෙය පුදුමාකාර වින්දනීය වැඩසටහනක් නොවන්නේ ද?

 

ගේම් ෂෝ සංකල්පයෙන් නිර්මාණය වූ මෙවැනි වැඩසටහන් ලොව පළමුව විකාශය වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ Fox TV ඔස්සේය. මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක පමණ ද එය විකාශනය වීම ඇරැඹි අතර බ්‍රිතාන්‍ය ඇකඩමි ෆිල්ම් සම්මාන උලෙළේ දී හොඳම ඩිජිටල් නිර්මාණ වැඩසටහන ලෙසින් ද සම්මානයට පාත්‍ර වී තිබේ.

 

Five Million Money Drop නම් වූ මේ අපූරු වැඩසටහනට මෙවර නිවේදනයෙන් දායකත්වය ලබා දෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පියකු වූ චරිත් අබේසිංහ විසිනි. ප්‍රධාන විධායක චන්දන සූරියබණ්ඩාර මෙහි අධීක්ෂක ලෙසින් කටයුතු කරන අතර තාරක හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණයෙන් ද ඉෂාර පද්මපෙරුම කැමරාකරණයෙන් ද කාංචිනී පල්ලිපිටිය නිෂ්පාදිකාව ලෙසින් ද සිය දායකත්වය ලබා දේ.

 

ඉතින් සතුට, විනෝදය සේම හිමි වීම් අහිමි වීම්වලින් පිරුණු මේ වැඩසටහනට ගොඩ වැදී ඔබේ සිහින සැබෑ කරගන්නට මිලියන පහක් දිනාගන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

 

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න