කලාව සතුට කර ගත් නිවේදිකාව පමුදි අපෝන්සු

ඔක්තෝබර් 31, 2022

 

පියකුගෙන් දියණියකට ලැබෙන නිවැරැදි මඟපෙන්වීම අනුව කුමන ක්ෂේත්‍රයක වුව ඇයව සාර්ථක ගමනක් ගෙනයනු ඇත.

 

ඇය පමුදි සම්භාෂි අපෝන්සු ය. ඇගේ ජීවිතයේ යෝධ සෙවණැල්ල බඳු පියා, දීපාල් අපෝන්සුය.

 

"මගේ තාත්තා, සියත ටී.වී හි එකේ ඡ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරුවෙක්. සිරස ටී.වී. හි කලින් හිටියා. වේදිකා නාට්‍යය, සිනමා ටෙලි නිර්මාණ රැසක සහාය අධ්‍යක්ෂවරයෙක්."

 

පොත්පත් ඇසුරු කරන, හොඳ නිර්මාණ තෝරා බේරාගෙන නරඹන්නට රස විඳින්නට හුරුවූ වටපිටාවක් නිවෙසේ තිබීම ඇයට තම ගමන පරිපූර්ණ එකක් කරගන්නට ඉවහල් විය.

 

පමුදි ස්වාධීන රූපවාහිනියේ සහන නිවේදිකාවකි එය වැඩසටහනක් ඉදිරිපත් කරන්නියක් ලෙස ඍජුවම තවත් කෙනෙක් ආමන්ත්‍රණය කරන්නට වගකීමක් ලැබුවා වැනි හැඟීමකුයි මට තියෙන්නේ. මට ලැබෙන පුංචි ගුවන් කාලයකදී වේවා එය අසා සිටින, බලා සිටින කෙනාගේ ජීවිතය පියවරකින් හෝ ඔසවා තබන්නට හැකි වූවා නම් එය සතුටක්. වසර හතරක පටන් ස්වාධීන රූපවාහිනියේ සේවය කරන මම මේ දිනවල music@11 වැඩසටහන ඉදිරිපත් කරන්නේ. 2019 දී සූරිය විමන උදා විකාශනයෙන් නිවේදන කටයුතු අරඹන්නේ. ශනිදා සාදය, voice & Colombo රියැලටි වැඩසටහනේ Grand Finale වැඩසටහන කරනවා. එහිදී විශාල ප්‍රේක්ෂකාගාරයක් සජීවී ව කමල් අද්දරආරච්චි මහතා සමඟ ඉදිරිපත් කරනවා. ITN අවුරුදු කුමරා කුමරිය, ITN සූරිය මංගල්‍යය වැඩසටහන පිට පිට වසර දෙකක්ම ඉදිරිපත් කරනවා. ලිය අභිමානි ITN කාන්තා දින වැඩසටහන ඇතුළු අමතක නොවන වැඩසටහන් ඉදිරිපත් කරන්න ලැබීම සතුටක්.

 

පුංචි කාලයේ ළමා චරිත රඟපාපු මම රංගන ශිල්පිනියක් ලෙස සුදත් රෝහණ ගේ මානික්කාවත ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. මෑත කාලයේ බිහිවූ විශිෂ්ටතම ටෙලි නාට්‍යයක් ලෙසයි මම එය සලකන්නේ. පුංචි තිරයේ අවබෝධයකින් රංගනයේ යෙදුණු පළමු අවස්ථාව එයයි. 'වෙස්ගත්තෝ' , 'සුළඟ ඔබ ළඟ' , කොම්රේඩ් යන ටෙලි නාට්‍ය සඳහා ඉන්පසු සම්බන්ධ වෙනවා. ගාමිණී හේවාවිතාරණගේ 'ආදර වැස්සක්' චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. එහි වැඩකටයුතු තවම ආරම්භ කළේ නැහැ.

 

මං හිතනවා ගායන හැකියාවෙනුත් මට දුර ගමනක් යෑමට හැකි වේවි කියා. ඒ අනුව ඉදිරියේ දී රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙනවා.

 

ඉන්දිකා උපමාලි ගුරු මහත්මිය ළඟ හඬ පුහුණුව කරලා තියෙනවා. නමුත් සංගීතය පිළිබඳ න්‍යායාත්මක දැනුමක් නැහැ. හඬ පුහුණුව සහ ප්‍රාසාංගිකව ගායනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳ අත්දැකීමක් ලැබුවා.

 

තාත්තාගේ ආභාසයෙන් කලා හැකියාව ලබද්දී අම්මාගෙන් ලැබුණු දායාද මොනවාද?

කලා නිර්මාණවලට මම දායක වෙන්නේ කිසිසේත් ම එය වෘත්තියක් බවට පත් කරගන්න නෙවෙයි. මම කේක් නිර්මාණකරණය පිළිබඳ උපදේශකවරියක්. මට අම්මාගෙන් ලැබුණු දායාදය තමා ඒ. මගේ අම්මගේ ඇන්ඩීස් කේක් ක්‍රියේෂන්ස් හි අධ්‍යක්ෂවරියක් ලෙසත් ඇන්ඩීස් කේක් ඇකඩමි හි උපදේශකවරියක් ලෙසත් කටයුතු කරනවා. අපේ ආයතනයෙන් NVQ level 4 සඳහා වූ සහතික පත්‍රය ලබා ගැනීමට අධ්‍යයන කටයුතු කෙරෙන්නේ.

 

කලාවෙන් මුදල් උපයන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ආර්ථිකව මගේ කේක් ව්‍යාපාරයෙන් සන්නද්ධ වෙන අතරතුරේ කලාව ඇතුළේ මම හොයන්නේ තෘප්තිය. කලා හැකියාවන් අපට දායාද වෙද්දී ඒවායින් තව කෙනෙක් සතුටු කරන්න ලැබීම එක්තරා වගකීමක් ලෙසයි මම දකින්නේ.

 

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා සහ ටෙලිවිෂන් තාක්ෂණවේදී උපාධිය හදාරන්නේ සිනමාව සම්බන්ධ බොහෝ අත්දැකීම් ලබන්න. පානදුර ශාන්ත ජෝන් විදුහල සහ උසස් පෙළ පානදුර ශ්‍රී සුමංගල බාලිකාවෙ අකුරු කරලා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ ජනසන්නිවේදනය හදාරනවා.

 

පවුලේ විස්තර ටිකකුත් කියමු

අම්මයි, තාත්තයි, නංගියි ඉන්නේ. නංගි විවාහ වෙලා විදෙස්ගතව ඉන්නේ. මාත් විවාහකයි. මගේ සැමියා එෂාන් තාත්තා හැරුණු කොට මගේ ජීවිතයට ලැබුණු ලොකුම ශක්තිය ඔහුයි. පුදුම දරා ගැනීමක්, ඉවසීමක් ඔහු සතුයි.

 

කිතුනුවෙක් වන මම යේසුස් වහන්සේ හැරුණු කොට දැකපු මාව ජීවත් කරන ප්‍රේමය එෂාන් සතුයි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර