රටම කතාකරන ආශාවරී කිරිල්ලියෝ

නොවැම්බර් 14, 2022

 

රටම දන්නා මැදිරිගිරියේ "ආශාවරී" සංගීත කණ්ඩායමේ ආරම්භය සිදුවූයේ මෙයට වසර එකහමාරකට පමණ පෙරය. ඒ වන විට කෙරෝනා විපත නිසා පාසල් අධ්‍යාපනය නැවැතී ඔන්ලයින් මඟින් පමණක් පන්ති පැවැත් වුණු සමයකි. බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් ද අඩපණව තිබුණු බැවින් සිසු දරුවන් සිටියේ ද නිවෙසටම සීමාවය.

 

ඒ අතර මැදිරිගිරිය ජාතික පාසලට අලුත් පත්වීමක් ලබා සිංහල ගුරුවරයකු පැමිණෙයි. මේ ගුරුවරයා අහළ පහළ සිටි සිසු දැරියන් එක් කරගෙන සංගීත වැඩ සටහනක් ආරම්භ කරයි. ඒ වන විට ඔවුන් සතුව කිසිදු සංගීත භාණ්ඩයක් තිබුණේ නැත. ප්ලාස්ටික් බූලි, ටින් බෙලෙක්ක එක්කර ඩ්‍රම්ස් සෙට්එකක් හා එක්ස්රේ කාඩ්වලින් ඔක්ට පෑඩ් එකක් සකස් කරගන්නා ඔවුන් සංගීත ගමන දික්විජය කිරීමට සැරසෙයි.

මේ පුරෝගාමී ගුරුවරයා, මැදිරිගිරිය ජාතික පාසලට මුල්ම පත්විම් ලැබ පැමිණෙන එස්.පී. නාලක ජයලත් මහතායි. ඔහු ද පාසල අවට පදිංචිකරුවෙකි. මේ වන විට පාසල් වැසී තිබුණු නිසා නාලක අහළප පහළ සිටි දැරියන් සිය නිවෙසට කැඳවා ඔවුන්ට සප්තස්වර කියා දීම අරඹයි. මේ සමහර දරුවන් පාසලේ දි සෞන්දර්ය විෂය ලෙස චිත්‍ර හෝ නැටුම් ඉගෙන ගන්නා දැරියන්ය. නාලකගේ නිවෙසේ ඉදිරි කාමරයට රැස්වන සාමාජිකාවන් පස් දෙනකු මොහු යටතේ පුහුණුවීම්වල යෙදෙයි. පසුව ඔවුන්ට තවත් සිව් දෙනකු එක්වේ. මේ අය අතරින් ආශාවරි සුද්දි ලෙස ප්‍රසිද්ධ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය 6 වසර සිසුවියකි. ඔක්ටපෑඩ් වාදනය කරන මුතුද ඇගේ සම වයස් සිසුවියකි. බේස්, ලීඩ් හා රිදම් ගිටාර් වාදනය ශිල්පිනියන් ඉගෙන ගන්නේ 7 වසර පන්තිවලය. කී බෝඩ් ශිල්පිනිය 9 වසර ඉගෙන ගනී. මොවුන් සියලු දෙනාම මැදිරිගිරියේ පාසල් දෙකක දරුවන්ය. ඒ මැදිරිගිරිය ජාතික පාසලේ හා මැදිරිගිරිය මහින්ද පාසලේ සිසුවියන්ය. මේ සිසුවියන්ගේ සංගීත හැකියාවන්ට විදුහල්පතිවරුන්ගේ පූර්ණ සහාය ද ලැබේ.

ආශාවරි සංගීත කණ්ඩායම ඉතා කෙටි කලක් තුළ ඉමහත් ප්‍රසිද්ධියක් අත්කර ගත්තේය. ඔවුන් තමන්ගේ මුල්ම ගීතය එක්තරා යූටියුබ් නාලිකාවට දෙන්නේ එකතුකරගත් මුදලිනි. ඉන්පසු පැමිණි ගමනේ බොහෝ දෙනකු ඔවුන්ට උදව්කර ඇත.

එස්.පී. නාලක ජයලත් මේ දක්වා පැමිණි ගමන මෙසේ විස්තර කරයි.

"මේ දරුවන් ඉගෙනීමටත් දක්ෂයි. සංගීත කණ්ඩායමේ කිහිප දෙනෙක් පන්තියේ පළමු, දෙවැනි ස්ථාන ගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් ශිෂ්‍ය‍යත්ව සමතුන්ව සිටිනවා. ඔවුන් හැමදාම පාසල් යනවා. ඔවුන්ගේ පාසල් පැමිණීම අනෙක් දරුවන්ට වඩා වැඩියි. ඒ වගේම ඔවුන්

අපට මේ තාක් ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

වැලිවේරිය ප්‍රසංගයෙදි තමයි අපට ප්‍රශ්නය ඇති වුණේ. මේ සිද්ධියෙන් පස්සෙ ගම්පහ දිස්ත්‍රික්කයේ දර්ශන කිහිපයක්ම අවලංගු වුණා. එහෙත් ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය හා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අප වෙනුවෙන් පෙනි සිටීමෙන් පසු තත්ත්වය වෙනස් වුණා. විෂය භාර ඇමැතිනිය විදියට ගීතා කුමාරසිංහ මහත්මිය ගත් ඍජු තීරණය අපට ලොකු ශක්තියක් වුණා.

කොරෝනා විපත අපේ කණ්ඩායම බිහි‍වෙන්න බලපෑවා වගේ. ආශාවරී කණ්ඩායමට වෙස් වගා ගෙන පැමිණි අනෙක් ආශිර්වාදය මේ තහනමයි. ඒ සිදුවීමෙන් පස්සෙ කණ්ඩායමේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගියා."

 

මැදිරිගිරියේ "ආශාවරී" සංගීත කණ්ඩායම කෙටි කාලයක් තුළ ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් කණ්ඩායමකි. ඔවුන් සිය සංගීත කණ්ඩායමට ආශාවරී යන නම එක්කර ගෙන ඇත්තේ හින්දුස්ථානි රාගයක් ඇසුරිනි. ආශාවරී කණ්ඩායම ජනප්‍රිය වෙත්ම ඔවුන්ට රූපවාහිනී සංගීත වැඩසටහන් කිහිපයකට ද සම්බන්ධ වීමට අවස්ථාව ලැබී ඇත. ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු ටී.වී. විකාශය කළ "ෂා සින්දු කාමරය" හා සිරස රූපවාහිනියේ ''පුංචි පැංචි'', ජාතික රූපවාහිනියේ ''පාට පාට'' සංගීත වැඩසටහන ඒ අතර විශේෂයි.

මේ දරුවන්ට පියකු වන් නාලක ජයලත් මහතා ඔවුන්ගේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් දක්වයි.

"සංගීත ප්‍රසංගත භාර ගැනීමේදි අපි දරුවන්ගේ ආරක්ෂාව ගැන වගේම ඔවුන්ගේ අධ්‍යාපනය ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ නිසා ප්‍රසංග භාර ගන්නේ සෙනසුරාදා, ඉරිදා දිනවල පමණයි. ඊට අමතරව පැය දෙකක් ඇතුළත ගමන් කළ හැකි ආසන්න තැන්වල දර්ශන භාර ගන්නවා. දුර පළාත්වල දර්ශන සතියේ දිනවල භාර ගන්නෙ නැහැ. දරුවන්ගේ අධ්‍යපානයට එයින් බාධා වෙන්න පුළුවන් නිසා ඒ දිනවල පැවැත්වෙන සංගීත ප්‍රසංගවලට ආශාවරි සම්බන්ධ වෙන්නෙ නැහැ.

අපට ලැබෙන සෑම ආරාධනාවකටම දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මමත් බිරිඳත් සහභාගී වෙනවා. එයට අමතරව කවුරුන් හෝ දැරියකගේ මවක් අනිවාර්යෙන්ම සම්බන්ධකර ගන්නවා. අපට ගමන් බිමන් යන්න තියෙන්නෙ පොඩි වෑන් එකක්. අපි සියලු දෙනා එක පවුලක් නිසා එය ගැටලුවක් නැහැ."

සංගිත ලොව දිග් විජය කිරීමට සැරසෙන පිටපළාතකින් බිහිවූ සංගීත කණ්ඩායමක් වන ආශාවරී ශිල්පිනියන්ගේ ලොකුම අපේක්ෂාව ඔවුන්ටම කියා සංගීත මැදිරියක් ගොඩනඟා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය බොහෝ උපකරණ මේ වන විට ඔවුන්ට පරිත්‍යාග ලෙස ලැබී ඇත. ප්‍රදේශය සමීපයෙන් සුදුසු තැනක් ලැබේ නම් මැදිරියක් ද ඔවුන්ට සකස් කරගත හැකිවනු ඇත.

'' ආශාවරී ගොඩනැඟුවේ අපට ආදරය කළ ප්‍රේක්ෂකයන්. ඔවුන් දැරියන්ට අවශ්‍ය ඇඳුම්, පැළදුම්වල සිට බොහෝ දේවලින් උදව් උපකාර කළා. පරිත්‍යාගශීලීන්ගේ සහාය නොලැබුණා නම් අපට මේ තරම් ඉක්මනට මේ සාර්ථකත්වය කඩඉමට එන්න ලැබෙන්නෙ නැහැ."

මේ වන විට ආශාවරි සංගීත කණ්ඩායම ඔවුන්ගේම ගීත නිර්මාණ 5ක් එළිදක්වා තිබේ. එම ගී සඳහා සංගීත ප්‍රේක්ෂකයන්ගෙන් දිරිගන්වනසුළු ප්‍රතිචාර ලැබෙමින් පවතී. ආශාවරි එළිමහන් වේදිකාවෙන් මතුවූ වාදක කණ්ඩායමක් නිසා ඔවුන්ගේ අපේක්ෂාව එම අනන්‍යතාව ඉදිරියට ද රැක ගැනීමය. ඒ අතර ඔවුන් මේ දිනවල මංගල විදේශ චාරිකාවට සූදානම් වෙමින් සිටී. එය මැදිරිගිරියේ දැරියන්ට අපූර්ව අත්දැකීමක් වනු ඇත.