ලොව වටාම ට්‍රැවල් කරන මිස් ට්‍රැවලර් තමාෂා ජයසූරිය

දැනට රටවල් 30ක පමණ සංචාරය කරලා තියෙනවා
මැයි 20, 2024

මිස් ට්‍රැවලර් එක්ක ට්‍රැවල් එකක් යමු ද? මිස් ට්‍රැවලර් කියපු ගමන් ඔබට ඇයව මතක් වෙයි. බයික් එකක නැඟ ලංකාවේ ලස්සනම තැන් සොයා ගෙන යන ඇය තමාෂා ජයසූරිය. ලංකාවේ විතරක් නෙවෙයි ගෙදර ඉන්න ඔයාලව මොහොතකින් වෙනත් රටවල අපූරු තැන් බලන්න එක්ක යන්නත් ඇයට තියෙන්නේ හරි අපූරු හැකියාවක්. ලෝකේ වටේම ඔබව සංචාරයේ ගෙනියන ඇය හරි අපූරු තරුණියක්. ලෝකේ ලස්සනම තැන්වලට රූපවාහිනී නාළිකාව ඔස්සේ අපව කැඳවාගෙන යන ඇයත් එක්ක කතා බහ කරලා බලන්න හිතුණෙම ඒ නිසයි. ඇය ගැනත් මිස් ට්‍රැවලර් ගැනත් ඇයට කියන්න ගොඩක් දේවල් ඇති. ඒ විතරක් නෙවෙයි ෂැඩෝ ක්වීන් කියලාත් ඇයට කියනවා. මොකක්ද මේ කතාව. ඇයගෙන්ම අහලා දැනගනිමු

 

ඉතින් කොහොමද තමාෂා?

 

හොඳින් ඉන්නවා. මිස් ට්‍රැවලර් වැඩසටහනත් එක්ක තරමක් කාර්ය බහුලයි. ඒ වගේම කෙටි චිත්‍රපටියක් කරන්නත් මේ දවස්වල පිටපතක් ලියන ගමන් ඉන්නේ.

 

පසුගියදා රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී මිස් ට්‍රැවලර් වැඩසටහනට ජුරියේ විශේෂ ඇගයීම් සම්මානයකුත් ලැබුණා. මොකද ඒ ගැන හිතෙන්නේ?

 

ඇත්තටම ඒක මම අතහැරලා දාලා හිටපු වෙලාවක මාව දිරිගන්නවන්න ලැබුණු දෙයක් විදිහටයි මම සලකන්නේ. මොකද මිස් ට්‍රැවලර් වැඩසටහනට අනුග්‍රාහකයින් සොයා ගන්න බැරුව හිටියේ. ඒ වැඩසටහන අධ්‍යක්ෂණය කරන ගමන් මගේ නිෂ්පාදක කණ්ඩායමට වගේම නාළිකාවටත් මම ගෙවන්න ඕනේ. මම ඒකට මොකද කරන්නේ කියලා හිත හිත ඉන්න වෙලාවකයි මේ සම්මානය ලැබුණේ. මේක මම තනිවම දිනපු සම්මානයක් නෙවෙයි. මගේ කණ්ඩායමම දිනාගත්ත සම්මානයක්.

 

තමන්ගේ පුද්ගලික වියදමින් මේ වගේ වැඩසටහනක් අධ්‍යක්ෂණය කරලා ඉදිරිපත් කිරීම අවදානමක් කියලා හිතුණේ නැද්ද?

 

මුල් කාලේදී පවුලේ අයගේ උදවු සහ මා ළඟ තිබුණු මුදල්වලින් තමයි ඒ කටයුතු කරගෙන ගියේ. පසුකාලයේදී ප්‍රේක්ෂකයින් අතරට මේ වැඩසටහන ගියාට පස්සේ අනුග්‍රාහකයින් කිහිප දෙනෙක් හොයාගන්න පුළුවන් වුණා. මේ ලැබුණු සම්මානයත් එක්ක ඉදිරියටත් අනුග්‍රාහකයින් සොයා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම මේ වැඩසටහන පටන් ගත්තෙත් මුදල් පරමාර්ථයෙන් නෙවෙයි. මට ඕනෙ වුණේ අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් අත්දැකීමක් ලබා ගන්න.

 

කොහොමද මිස් ට්‍රැවලර් වුණේ?

 

2012 වසරේදී මම ලංකාවට ෂැඩෝ ඩ්‍රාමා ආර්ට් කලාව හඳුන්වා දුන්නා. ඒ නිසා මට ෂැඩෝ ක්වීන් කියලා නමකුත් හැදිලා තිබුණා.. කලාවත් එක්ක හිටපු නිසා මට හිතුණා අධ්‍යක්ෂණයට යොමු වෙන්න ඕනෙ කියලා. මගේ හීනය තමයි අධ්‍යක්ෂකවරයෙක් වෙන එක. ජෛව වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තමයි මම උපාධිය ගත්තේ. අධ්‍යාපන කටයුතු ඉවර වුණාට පස්සේ මට හිතුණා ටෙලි නිෂ්පාදන කටයුත්තකට සම්බන්ධ වෙන්න ඕනෙ කියලා.

ඊට පස්සෙයි සමීක්ෂණයක් කරලා ට්‍රැවල් වැඩසටහනක් කරන්න හිතුවේ. මම හරි ආසයි ට්‍රැවල් කරන්න. ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණත් ඇතුව මිස් ට්‍රැවලර් පටන් ගත්තේ.

 

මිස් ට්‍රැවලර් කිරීම තුළ ඔබට අභියෝග පැමිණියේ නැද්ද?

 

මගේ පෞද්ගලික මුදල් යොදවලා තමයි මේ වැඩසටහන කළේ. මට මුලින්ම ආව අභියෝගය තමයි මම මේ උත්සාහය මොන චැනල් එකටද දෙන්නේ කියලා. තෝරගත්ත චැනල් කීපයකට කතා කළා. මුලින්ම ගියේ ජාතික රූපවාහිනියට ඒකට හේතුව වුණේ ෂැඩෝ ඩ්‍රාමා මම පටන්ගත්තට පස්සේ ජාතික රූපවාහිනිය මට ගොඩක් ප්‍රෝගෑම්වලට කතා කළ නිසා මම ඒකට මුලින්ම ගියා. මම වයසින් හා අත්දැකීම්වලින් පොඩි වුණත් ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලය මාව විශ්වාස කරලා මට අවස්ථාව දුන්නා. විකාශය වෙනුවෙන් චැනල් එකට සල්ලි ගෙවන්න ඔයාගේ ප්‍රඩක්ෂන් කොස්ට් එක ඔයාම හොයාගන්න කියලා. මට නිර්මාණ කරන්න මීට වඩා පුළුවන්. නමුත් අනුග්‍රාහකයෝ හොයන එක තමයි අමාරු කාර්ය. කොහොම හරි මම ඒ අභියෝගයත් ජයගත්තා. මට මුලින්ම චැනල් එකේ මුදල ගෙවන්න පුද්ගලික ආයතනයක් එකඟ වුණා. අදටත් ඒ ආයතනය ඒ මුදල දරනවා. මට මේ වැඩසටහන ඇතුළේ එක එක විදිහේ වාහන පදින්න තියෙනවා. බයිසිකල් පදින එකත් මට ලොකු අභියෝගයක් වුණා. මොකද මම මීට කලින් බයිසිකල් පැදලා තිබුණේ නැහැ. මට මැනුවල් වාහන පදින එකත් අභියෝගයක් වුණා. ඒකත් මම ජයගත්තා.

 

ෂැඩෝ ඩ්‍රාමා කලාවේ ක්වීන් විදිහට ඒ කලාව ගැනත් වචනයක් කතා කරමු...

 

ස්ටේජ් ඩ්‍රාමා කියන අංශයට තමයි ෂැඩෝ ඩ්‍රාමා කලාව අයත් වන්නේ. ආලෝකය සහ සංගීතය මාධ්‍ය ලෙස භාවිත කරලා ස්ක්‍රීන් එක පිටුපස අපේ හියුමන් බොඩි එක පාවිච්චියට ගෙන අපේ ශාරීරික හැඩතල ඔස්සේ දෙබසක් පාවිච්චි කරන්නේ නැතිව ප්‍රේක්ෂකයන්ට අපි පණිවිඩයක් ලබාදීම සිද්ධ කරනවා. ඒක තමයි නාට්‍ය කලාවෙන් සෙවණැලි නාට්‍ය කලාව වෙනස්වන ක්‍රමය වන්නේ. මෙන්න මේ කලාව තමයි මම මුලින්ම හඳුන්වල දුන්නේ. ෂැඩෝ කලාවෙන් ද සකල් ඔෆ් ලව් නමින් මම නාට්‍යයක් කළා. ෂැඩෝ ඩ්‍රාමා කලාවට අයත් මෙරට පළමු නිර්මාණය එය. අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ දේවල්වලින් ඈත් වෙන්න වුණා. ඊට පස්සේ තමයි මිස් ට්‍රැවලර් පටන් ගත්තේ.

 

ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

 

මේ වනවිට ලෝකයේ රටවල් තිහක සංචාරය කරල තිබුණත් මට ඒ කොහේදිවත් හමුවෙලා නෑ අපේ රට තරම් ස්වභාවික සෞන්දර්යෙන් පිරුණු රටක්. අපි කොච්චර ඒ රටවල් හොඳයි කිව්වත් ඒ රටවල මිනිස්සු එක්ක ඇත්තටම කතා කළොත් ඒ අය ඉන්නේ සතුටින් නොවෙයි. හැම වෙලාවෙම ඒ අය කියන්නේ අපේ රට කොච්චර හොඳද කියලා. අපේ රටට යන්න ඕනෙ කියලමයි. මම ඒ අදහස මගේ රට වෙනුවෙන් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඒ අය ලවාම කියවගෙන මගේ වැඩසටහනෙන් ඉදිරිපත් කරනවා. මාව මිනිස්සු දැනගත් කාලයක් ආ දවසට මගේ ජීවිතයෙන් ගන්න තියෙන ආදර්ශය තමයි තමන් ආශා කරන දේට අවංක වුණොත් පරක්කු වෙලා හරි ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබෙනවා කියන එක.

 

මේ ගමන මේ විදිහයට එන්න පවුලේ අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති...

 

මගේ අම්මා විදුහල්පතිනියක්. අම්මා, තාත්තා වගේම අයියත් මට ගොඩක් උදවු කළා. මගේ අම්මා තමයි මගේ ළඟම හිටිය සෙවණැල්ල. තාත්තා මට මූල්‍යමය අතින් උපකාර කළා. මම මේ ආ ගමනේ වැටුණු තැන් බොහොමයි. ඒ හැම තැනම මගේ ශක්තිය වුණේ මගේ අම්මා. ඒ අයගේ සහයෝගය නිසයි මම අද මෙතරම් දුරක් ඇවිත් තියෙන්නේ.