වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
ප්‍රේමයේ ප්‍රතිචාර එකිනෙකාට වෙනස්
"උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ"
ප්‍රේමයත් කවියත් අතර තිබෙන්නේ ආත්මිය බැඳීමකි. කවිය ඉපැදීමට ප්‍රේමය තිබිය යුතුමය. එවන් කවියන්,කවිකාරිනියන් බිහිවන්නේ ඒ කවියට නව අරුතක් එක්කරමිනි. නූතන තාරුණ්‍යයේ අාධ්‍යාත්මය, ප්‍රේමයෙහි සුඛ දුක්ඛ සංවේදනාවන් කලෙක සිට කවි ලෙස සයිබර් අවකාශය පුරා මුදා හරින ඇය කවිය ඇසුරේ ද කවියන් ඇසුරේ ද තම කාව්‍යාත්මය මුවහත් කොට ගනිමින්, වෙනස්ම කාව්‍ය මඟක ගමන් ගනිමින් සිටින කවිකාරියකි. ඇය රංගනී ෆර්නෑන්ඩු. ‘අඩුම තරමේ අපි හමුවුණා’ ඇගේ දෙවැනි කාව්‍ය කෘතියයි.
මගේ පළමුවෙනි කාව්‍ය සංග්‍රහය දැනට තුන්වැනි මුද්‍රණයේ පවතින " බොහෝ කවි ලියවුණේ ඔබට ය" කියන කාව්‍ය සංග්‍රහය. බහුතරයක් දෙනා අතරට මගේ ලිවීම් ගෙනගිය කාව්‍ය සංග්‍රහය ඒක. ඒක දශකයටත් වැඩි කාලයක් ජ්ඕ අවකාශයේ ලියවුණ කවිවල සීමිත එකතුවක්. පොතක් නොකරන්න තීරණය කළ කෙනෙක් විදිහට සිටිද්දී. ඒ තීරණය වෙනස් කරලා ඒක පොතක් කරවීමේ ගෞරවය සහ ආදරය හිමිවෙන්න ඕෙන මගේ අතිශය සමීප මිතුරු වළල්ලට.ඔවුන් නොහිටින්න ඒ අවුරුදු දහයක කවි, පොතක් වෙන්නෑ. ඔවුන් ඒ විදිහට අරන් දුන් පියවර එක්ක මං දෙවැනි කවි පොතක් දක්වා ගිහින් තියෙනවා.
මේ කෘතියේ සංයුතිය ගැන කතා කතා කළොත්?
පොතේ නමින්ම දැනෙනවා වගේම මේක ප්‍රේමය ගැන ලියවුණ කවි එකතුවක්.ප්‍රේමය විවිධාකාරයෙන් වර නැඟෙනවා වගේම ප්‍රේමය බිඳුණාම පවා මිනිසුන්ගේ ප්‍රතිචාරත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
මේ පොත පුරාම තියෙන්නේ ප්‍රේමයේ මුල් අවධියේ ප්‍රහර්ෂය, උත්කර්ශය, ප්‍රේමය ලැබීම ඉන් ලබන සතුට නිවීම සහ ප්‍රේමයෙන් වෙන්වීමේ උපේක්ෂා සහගත දරා ගැනීම කියන ප්‍රේමයේ සියලු කලාපවල කවි.
ප්‍රේමය,විරහව කියන්නේ අතිශය සංවේදී කාරණා.
බොහෝවිට සමාජය තුළ අපි දකින්නේ වෙන්වීම් නිසා උපදින තරහව, කලකිරීම, වෛරය.
මොනම තත්ත්වයකදීවත් ප්‍රේමය සහ එහි පැවති වත්කම්, ගනුදෙනු, මතක, සියල්ලෙහි වටිනාකම් අතනොහැර ඒවා තවදුරටත් විඳිමින් උපේක්ෂාවෙන් දරාගැනීම වගේ කාරණා එක්ක මගේ ප්‍රේමය ඇත්තටම ඉහත කී කාරණාවලින් වෙනස් වෙනවා.
ඒ නිසාම මේ පොතේ කවිවල ප්‍රේමයේ ඔලාරික හුරතලයවත් ප්‍රේමයේ දරුණු මනෝභාවයන්වත් නෑ. ප්‍රේමය සනීපදායක තැනක තිබිය යුතුයි කියලා මං හැම මොහොතකම විශ්වාස කරන නිසා මේ පොතේ කවිත් එහෙම සනීපදායක කවි කියලා මං විශ්වාස කරනවා .
අද කවියට තැනක් තියෙනවාද ?
ලංකාව තුළ සාහිත්‍ය ශානර අතරින් කවිවලට ලොකු ඉල්ලුමක් තිබුනේ නෑ.
ඇත්තටම අද වනවිට කවියට කවරදාකවත් නොතිබුණු විශාල ජනප්‍රියත්වයක් එක්ක අනෙකුත් සාහිත්‍යය ශානරයන්ට සමාන තැනකත් ලැබිලා තියෙනවා.
ලෝකයේ බහුතර ෆේස්බුක් පරිශීලකයන් තරුණ ප්‍රජාව.ෆේස් බුක් නිසා නිර්මාණ වැඩි ප්‍රමාණයක් එකතුවීම, විශාල රසික ප්‍රරජාවක් දක්වා වර්ධනය වීම සහ ඩිජිටල් අවකාශයක පහසුවෙන් නිර්මාණ කියවීමට ලැබීම කියන කාරණය නිසාම කවි ඉතා වේගෙන් යම් සැලකිය යුතු මට්ටමක ඉහළ තැනකට ආවා කියලා මං විශ්වාස කරනවා.
යොවුන් පරපුරෙන් කවියන් බිහිවෙන්න ප්‍රමාද ඇයි?
මීට කලකට උඩදි ඔය ප්‍රශ්නය කවි වැඩබිම තුළ තිබුණා. ඒත් ඇත්තටම මේ වෙනකොට සෑහෙන යොවුන් කවි කිවිඳියන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් අතරින් බොහෝමයක් දෙනා ප්‍රවීණයන් කියවමින්, අභ්‍යාසයන්හී යෙදෙමින් තමන්ගේ අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් යන ගමනක් දකින්න තියෙනවා. බොහෝ අය මේ වන විටත් තමන්ගේ කුළුඳුල් කවිපොත පවා ජනගත කරලා ඉවරයි. මේ සැප්තැම්බරයේ පොත් ප්‍රදර්ශනයේදී
අපිට විශාල කවි පොත් ප්‍රමාණයක් දැකගන්න ලැබෙන ලකුණු තිබෙනවා.
කවියට පුළුවන්ද සමාජයක් වෙනස් කරන්න.
කවියන්ට සමාජය වෙනස් කරන්න පුළුවන් ද කියලා ඇහුවම ඒකට ඔව් කියනවට වඩා මං කැමතියි "කවියට යම් ප්‍රමාණයක සාධනීය වෙනසක් කරන්න පුළුවන්" කියලා කියන්න.
පුරාණ ජන කවියෙන් පටන් ගත්තම මිනිසුන්ගේ හැඟීම්, දුක් කම්කටොලු, ජය පරාජයන්, සතුට, ජීවිතය හැඩගස්‌වා ගැනීමට අවශ්‍ය උපදෙස්, අවවාද දීමත් එක්ක සමාජයට යහමඟ පෙන්වීමටත්, සමාජ සංවර්ධන කාර්යයටත් ජනකවිය සෘජු නොවුණත් වක්‍ර දායකත්වයක් හෝ දැක්වූ බව අපිට පිළිගන්න වෙනවා.
තවමත් කවිය කියන්නේ පොඩි වචන කිහිපයකින් පවා මිනිස්සු කම්පනය කරන්න පුළුවන් මාධ්‍යයක්.
කවිය සමාජය තුළ වෙනස්කම්වලට ලොකු දායකත්වයක් දෙමින් හෙමින් අචලව ගලා ගෙන යනවා කියලා මං විශ්වාස කරනවා.