තාත්තා තිරය ඉදිරියේ දකින චරිතයට වඩා හුඟක්ම වෙනස් පුදගලයෙක්.

රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ බාල දියණිය තරුකී අමායා
ජුනි 10, 2024

නාට්‍ය කලාවෙත්, සිංහල සිනමාවෙත්, ටෙලි නාට්‍යය කලාවෙත් මං සලකුණු තැබූ චරිත ඇත්තේ ඉතා අතළොස්සකි. මේ අතළොස්සක් වූ කලාකරුවන් අතුරින් සුවිශේෂි රංගන ප්‍රතිභාවයක් හා නිපුණත්වයක් දැක් වූ චරිත අතර ශ්‍රියන්ත මෙන්ඩිස් නම් කලාකරුවා සැබෑම දක්ෂයෙකි.

දශක ගණනාවක් පුරා ඔහු දැක්වූ දක්ෂතාව අඩුවක් නොමැතිව මේ දක්වාම රඳවාගෙන සිටීම ඔහුගේ වාසනා මහිමයකි. ඔහු මෙන්ම ඔහුගේ ජීවිතයේ සහකාරිය බවට පත් වූ කුසුම් රේණු නම් දක්ෂ රංගවේදිනිය ද කලා ක්ෂේත්‍රයේ නිහතමානී කලාකරුවන් ලෙස සෑම කෙනෙකු සමඟ සමීපව කටයුතු කරන්නේ හෘදයංගම කලා යුවළක් ලෙසිනි. මේ කලා පවුල තම ජීවිතයම කලාව වෙනුවෙන් කැප කරමින් කරන ලද මෙහෙවර සුළුපටු නොවේ. කලාකරුවන් ලෙසින් කෙතරම් කාර්ය බහුල වුවත් තම සොඳුරු වූ පවුල් කුටුම්බය මේ දෙපොළ අර්ථාන්විත ලෙසින් ගොඩනඟාගෙන ඇත්තේ විශාල කැපකිරීමක් කරමිනි. මේ සොඳුරු වූ පවුලේ සුපුෂ්පිත කුසුම් දෙකක් ලෙස විකසිත වූ දියණියන් දෙදෙනා වන්නේ නිපුණි උපේක්ෂා මෙන්ඩිස් සහ තරුකී අමායා මෙන්ඩිස්ය. හැඩකාර මේ දියණියන් දෙදෙනා තම ආදරණීය මවුපියන්ගේ සෙවණේ හැදී වැඩෙමින් තුරුණු වියට පා තබා සිටින්නේ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ මුණ නොගැසුණු චරිත ලෙසිනි.

ජනප්‍රිය වූ කලා යුවළකගේ දියණියන් ලෙසින් අපට හමු නොවුණු මේ දියණියන් දෙදෙනා අතුරින් බාල දියණිය වන තරුකී අමායා තිරය පිටුපස හිඳිමින් විශාල මෙහෙවරක් වෙනුවෙන් දායකවෙන බව දන්නේ බොහෝ සුළු පිරිසක් පමණකි. ටෙලි නාට්‍ය හා වෙළෙඳ දැන්වීම් හඬකැවීමේ ශිල්පිනියක ලෙසින් වසර දහයකට වඩා වැඩි කාලයක සිට දායකවෙන ඇය තම මව්පියන්ගේ ආදර සෙනෙහස ලබමින් අධ්‍යාපන කටයුතුවල ද නිරත වෙයි. ඉතාම නිහතමානී ගති පැවැතුම් ඇති ඇය තම මව හා පියා මෙන්ම මහත් හෘදයංගම ලෙසින් කලා කටයුතුවල නියැ‍ෙළන ඇය පසුගිය දිනක අපට හමු විය. මෙලෙසින් හමු වූ මොහොතක තම පියාගේ සෙනෙහසේ අරුමැසිය හා මවගේ ආදර සෙනෙහස ගැන අපට පැවසුවේ අව්‍යාජ ලෙසිනි.

“අපේ තාත්තායි අම්මයි කලාකරුවන් ලෙස රටම දැනගෙන හිටියට මම ගැන හුඟ දෙනෙක් දන්නේ නෑනේ. ඒ වගේම අක්කා නිපුනී උපේක්ෂා ගැන කොහොමත්ම දන්නේ නෑ. ඇත්තටම එහෙම වෙන්න ප්‍රධාන හේතුව වුණේ අපි දෙන්නාම පුංචි කාලේ පටන්ම ලබපු, අත්විඳපු අත්දැකීම් නිසයි. අම්මයි තාත්තායි නළුවන් ලෙසින් අපි දෙන්නා සමඟ ගත කරන්න කාලය තිබුණේම නෑ. ඒ නිසා අක්කයි මමයි දෙන්නාම පුංචි කාලේ පටන්ම රඟපෑමට ඒ තරම් උනන්දුවක් ආසාවක් ඇති වුණේ නැහැ.

නමුත් ඒ දෙන්නා කොයි තරම් කාර්ය බහුල වුණත් කිසිම දවසක තමුන්ගේ වගකීම පැහැර හැරියේ නෑ. තාත්තයි අම්මයි කොයි තරම් ජනප්‍රිය නළු නිළියෝ වුණත් ඒ දෙන්නා එයාලගේ යුතුකම් ටික හරියටම ඉටු කළා. අම්මයි තාත්තයි හරිම සුන්දරව ඉතාම දක්ෂ ලෙසින් තිරයේ දැක්කත් ඒ වෙනුවෙන් කරන කැපවීම හා ජීවිතයේ තිබෙන කාර්ය බහුලත්වය කාටවත් පේන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් තිරයේ ඉදිරියේ සිට දකින චරිතවලට වඩා වැඩි දෙයක් අපි තිරයේ පිටුපස සිටිමින් දැක්කා. හරියට නින්දක් නෑ. හරියට කෑමක් නැහැ. දවස් ගණන් ගෙදරින් පිට ගත කරන්න වෙන අවස්ථා අපේ තාත්තාට තිබුණා. අම්මා තමයි වැඩිපුරම අපි වෙනුවෙන් කාලය යෙදෙව්වේ.

හැබැයි ප්‍රේක්ෂකයෝ තිරයේ දකින ශ්‍රියන්ත මෙන්ඩිස් කියන නළුවාගේ රංගනයට වඩා හුඟක් වෙනස්. ඔහු සැබෑ ජීවිතයේ හරිම විනෝදකාමී චරිතයක්. ඒ වගේම නිදහසේ ගෙදර ගත කරන්න කැමැතියි. ඇත්තටම ප්‍රේක්ෂකයෝ දකින්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ හරිම සැර පරුෂ රෞද්‍ර පුද්ගලයෙක් ලෙසටනේ. ඇත්තටම තාත්තා රැවුල වවලා රඟපාන විදිහට එහෙම පෙනුමක් තිබුණාට හරිම අහිංසකයි. ඒ වගේම විහිළු තහළු කරමින් තමයි කාලය ගත කරන්නේ.

මම පොඩි කාලේ තාත්තායි, අම්මයි නාට්‍යවල රඟපාන්න හරි රූගත කිරීම්වලට හරි යන එකට හරිම අකැමැති නිසා මම කරන්නේ ඒ දෙන්නා ගෙදරින් ගිය වෙලාවේ පටන්ම call කරනවා. එහෙම call කරලා ගෙදර එන්න කියලා අඬනවා. දවසක් එහෙම දිගටම call කරනකොට අම්මා බැරිම තැන තාත්තාට phone එක දීලා. මම call එකක් දුන්නහම තාත්තා තමයි කතා කළේ. එයා මට කියනවා. ‘ඔයා දන්නවාද මේ කවුද කතා කරන්නේ... මම තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියන ජනප්‍රිය, ප්‍රතිභාපූර්ණ, දක්ෂ රංගන ශිල්පියා’ කියලා. මම කේන්තියට එකපාරටම කිව්වා එයා හිතාගෙන ඉන්නේ එහෙම තමයි කියලා. ඒක ඉතිං මට වැඩක් නෑනේ... කියලා.

ළඟදි තාත්තා මේ කතාව එයාගේ යාළුවන්ට කියලා ති‍ෙයනවා. යාළුවෝ කිව්වලු අපටත් ඕක කියා ගන්න බැරුව හිටියේ. දුව කියපු එක හොඳයි කියලා. ඇත්තටම අපේ තාත්තා රගෙනයේදී හරිම වගකීමෙන් කටයුතු කරන නළුවෙක්. එයාට ලැබෙන හැම චරිතයකටම සාධාරණයක් ඉටු කරන්න තමයි හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ. ඒ වගේම තාත්තා කිසිම දවසක මුල අමතක කරන පුද්ගලයකුත් නෙවෙයි. එයා කොයි තරම් ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රඟපෑවත් වේදිකා නාට්‍යවල රඟපෑම අත් හැරියේ නැහැ. ඒක හරිම වටිනා දෙයක්.

අපේ තාත්තා අක්කටයි මටයි ඕනෑම ක්ෂේත්‍රයක් තෝරා ගන්න නිදහස දීලා තිබුණු නිසා තමයි මම හඬ කැවීමේ ශිල්පය තෝරා ගත්තේ. මට ඒ ක්ෂේත්‍රයේ ඉන්නකොට තමයි හිතුනේ මනෝ විද්‍යාව ගැන හදාරන්න. මම ඒ නිසා තමයි මනෝ විද්‍යා උපදේශන පාඨමාලාවක් කළේ. ඒ පාඨමාලාව මට හුඟක් ප්‍රයෝජනවත්. මම හැම වෙලාවෙම සමාජයේ කටයුතු කරනකොට විවිධ පුද්ගල චරිත හමුවෙනවා. ඒ සෑම පුද්ගලයෙක් සමඟම කටයුතු කිරීමේදී උපදේශනය ඉතාම වැදගත්. මම මේ පාඨමාලාව කළේ ඒ නිසයි. මට ඒකට සමාජ මාධ්‍යයේ විශාල ප්‍රචාරයක් ලැබුණා. ඇත්තටම මම කැමැති ජනප්‍රියත්වයට වඩා සමාජයට කුමන හෝ ආකාරයකින් සේවයක් කිරීමටයි. ඒ කටයුත්තට මගේ මේ පාඨමාලාව ප්‍ර‍යෝජනවත් වෙයි කියලා මම හිතනවා”.

තරුකී අමායා තිස්වැනි වියේ පසුවෙන තරුණ දක්ෂ හඬකැවීම් ශිල්පිනියක ලෙස මේ වන විට චරිත රාශියකට හඬකවා තිබේ. ‘හිමාන්තර’ කොරියානු නාට්‍ය, රූපවාහිනියේ රුවැති සිතැත්ති, ප්‍රේම දඩයම, චන්ද්‍ර නන්දනී වැනි චරිතවලට අමතරව තවත් චරිත රාශියකට ඇය දායක වී තිබේ. කෙතරම් ජනප්‍රිය චරිත සඳහා හඬකැවුවත් ඇය වේදිකාව ඉදිරියට එන්නට කිසිම බලාපොරොත්තුවක් නැති බව ද ඇය අප සමඟ පැවසුවේ අපේ හෘදයාංගම පිළිසඳරට සමුදෙන මොහොතේදීය.