රටම සනසන අනුදිගේ ගී නද

ජූලි 1, 2024

 

හැම මොහොතක්ම ගත වෙනවා පහු වෙනවා. වෙලාව එක තැන නැවතිලා නෑ. කවදාවත් බොහෝ දෙනා සිතන්නේ ජීවිතය දිනන මඟට හැල්මේ දුවන්නට අවැසි කියාය. එහෙත් ජීවන තනුව ළයාන්විතව ගයන මේ දියණිය නමින් අනුදි යසාරා ප්‍රනාන්දු. පානදුර, වලාන පාරේ පදිංචි ඇය පානදුර බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

 

පුංචි දවස්වල ඉඳන්ම ඇගේ මුවින් රැව් දුන්නේ ගී පදවැල්ය. එහි සොඳුරුතම නවාතැන් පොළ වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.

අද වනවිට ඇය ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරන්නීය.

 

ඇය පානදුර සියරැසි කලායතනයේ සංගීතාචාර්ය සංගීත නිපුන් කථිකාචාර්ය විශාරද මංචන තරුෂාන් යටතේ රාගධාරී සංගීතය හදාරා 2022 වසරේ ඉන්දියාවේ ලක්නව් හි භාත්කණ්ඩ සංගීත විද්‍යා පීඨයේ විශාරද විභාගයකර තිබේ.

 

අනුදි, ඇය ගායන කරන ලද ගීත අතර ‘සමනොළින් නැඟී එන උතුම් බුදු අනුහසින්‘ යන දේශාභිමානී ගීතය පසුගිය දා පටිගත කරන්නට යෙදිණි. ප්‍රවීණ ගේය පද රචකයෙක්වන සිසිර කුලතිලක විසින් රචිත මෙම ගී නිර්මාණය ප්‍රවීණ සංගීතාඥ නලීන් නාගොඩවිතානගේ ස්වර සුසංයෝගයෙන් හැඩවිණි. ඇගේ මියුරු හඬින් ගැයුණු මෙම නැවුම් සුභාවිත ගීතය ගී ලොවට දායාද වූ අපුර්ව ගීයක් වනු නොඅනුමානය.

 

අැයගේ පළමු ගීතය වූ ‘වඳිමි සිය සිය දහස් වර මම‘ ගීතය ද ශ්‍රී ලංකා

ගුවන් විදුලි සංස්ථාවේ දී පටිගත කරන්නට ඇය භාග්‍යවන්ත වූවාය. ගුවන් විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දය මෙම ගීතයට සංගීතය සැපයූ අතර ආනන්ද පද්මසිරිගේ නාද තුලනයෙන් එය සාර්ථක ලෙස නිමාවට පත්කර ගැනීමට ඇයට හැකියාව ලැබිණි. ප්‍රවීණ ගේය පද රචිකාවක්වන වසන්තා කේ. මිහිඳුකුලසුරිය විසින් රචිත මෙම ගී නිර්මාණය ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දුගේ ස්වර සුසංයෝගයෙන් හැඩ වී තිබේ.

 

අනුදිගේ තවත් ගීතයක් ලෙස ‘සඟ පිරිවර මැද’ ගීතය ද වේ. නූතන ගේය පද රචක පූජ්‍ය මිරිස්වත්තේ සිරිනන්ද හිමියන් විසින් රචිත මෙම ගී නිර්මාණය ප්‍රවීණ සංගීතාචාර්ය තුසිත අබේසිංහ ස්වර සුසංයෝගයෙන් හැඩවිණි. එදා දීපංකර පාද මුලයේදී සුමේධ

තාපසතුමා බුදු වීමට නියත විවරණ ලබා ගත් දින මහනෙල් මිටි පුදා සුමිත්තා කුමරිය සසරේ ප්‍රියංබිකාව වීමට ප්‍රාර්ථනා කළ අයුරු මෙම ගීතයෙන් කියවේ.

 

ඇය ගයන ‘ගලා සඳ දිය’ නම් ගීතයේ පදවැල ලියවුණේ ප්‍රවීණ ගේය පද රචිකාවක් වන වසන්තා කේ. මිහිඳුකුලසුරිය අතිණි. සංගීතය සැපයුයේ සංගීත අාචාර්ය සෙනරත් භානුක මෙහි පොසොන් පෝදා අනුරාධපුරයේ අසිරිය හරි අපුරුවට කියවේ.

 

ඇයට ඉන්දියාවේ සාන්චිගිරි විහාරවාසී පූජ්‍ය උඩුගම තපස්සි හිමියන් අතින් රචිත ගීතයක් ගායනා කිරීමට ද වරම්ි ලැබිණි. එම ගීතයට තනු නිර්මාණය කළේ ආචාර්ය තුසිත අබේසිංහ අතිනි. සංගීතය නදීෂ නාමල් ප්‍රනාන්දු ගෙනි. එම ගීතය ඇයට ලබා දෙමින් කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකාවක හා නිෂ්පාදිකාවක වන ප්‍රියන්ති ගමගේ යහම්පත් යන අයයි.

 

පියගුණ ගීයකට ද ඇය කටහඬ මුසු කළාය. එම අපූර්ව ගීතය ලියවුණේ ප්‍රදීප් එස්. ප්‍රනාන්දු අතිනි. අපූරු සංගීතයකින් එම ගීතය හැඩ කළේ විහඟ මුතුතන්ත්‍රිෙග්. මව නැති අඩුව පුරවන පියෙකු පිළිබඳ දිසානායකගේ හැඟීම ගැන එම ගීතයෙන් කියවේ.

 

පොසොන් පෝ දින ගැන ලියවුණු ගීතවලට නැවුම් ගීතයක් එක් කරමින් ‘සිය රට ඉඳලා මෙරටට ඇවිදින්’ නමැති ගීතය ගේය පද රචක පූජ්‍ය මිරිස්වත්තේ සිරිනන්ද හිමියන් විසින් රචනා කළ අතර තනු නිර්මාණය හා සංගීතය තිස්ස ඒකනායක අතින් සිදු කෙරිණි.

 

විරහා ගීතයක් ගායනා කිරීමට ද අනුදිට ඇරයුම් ලැබිණි. ‘ඔබ ඉරක් වගේ එළිය අරන්’ නමින් එම ගීතය නම් වූ අතර එහි ගීත රචකයා වූයේ හිමාල් ප්‍රනාන්දුයි. තනු නිර්මාණය සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ අතින් සිදුකර ගැනිමට ඇය වාසනාවන්ත වූවාය.

 

ඔබ අතරට එන මෙම ගීත සියල්ලට පාහේ දෘශ්‍ය රූප රාමු සැකසුයේ මාධව වික්‍රමසිංහයන්ය.

 

දැනට අනුදි ගීත 8ක් පමණ එළිදක්වා ඇති අතර, එම ගීත සියල්ලම පාහේ ශ්‍රී ලංකා

ගුවන්විදුලි සංස්ථාවේ අනුමැතිය ලැබී ස්වදේශීය සේවය, සිටි එෆ් එම්, බෞද්ධයා ගුවන්විදුලිය, ලක් හඬ, සියත, නෙත්, රන්ගිර ශ්‍රී ලංකා, රුහුණු සේවයෙන් හා කඳුරට

ගුවන්විදුලිය ආදි එෆ්.එම්. නාලිකා රැසක දැනට ප්‍රචාරයවන අතර දිදුල රූපවාහිනී නාලිකාවේද සඳ TV නාලිකාවේ හා බෞද්ධයා නාලිකාවේද මෙම ගීත ප්‍රචාරය වේ.

 

ඇය දැනට ඕගනය, ගිටාරය හා වයලින් වාදනය පිළිබඳ හදාරන්නිය. ඇගේ මියුරු හඬින් ගැයෙන මෙම නැවුම් සුභාවිත ගීත ගී ලොවට අපූර්ව දයාදයක් වනු නොඅනුමානයි.