වර්ෂ 2024 ක්වූ September 30 වැනිදා Monday
රජ පවුලටත් කේක් හදපු ලංකාවේ විජිත
ඒ මල් පෙති කෙතරම් සියුමැලි ද? මල් මත ඇති ඒ පිනි බිංදු දිලිසෙන්නේ ඒ මල්වලට නැවුම්බවක් එක්කරමිනි. රෝසස්, පුංචි පුංචි ලැවන්ඩර් මල්, කානේෂන් එතකොට පිපෙන්නට සූදානමින් ඉන්න පුංචි මල් පොහොට්ටු.. හරියට පුංචි මල් වත්තක් වගේ.
ළා රෝස පාට රෝස මලේ වසා සිටින පුංචිම පුංචි සමනලයා මසිත කිව්වේ දැන් ඉගිලේවී කියලයි. මේ පුංචිම පුංචි මල්ගොමුවේ මම අතරමං වෙද්දී මගේ ඇඟිලි තුඩු ඒ වෙත දිව්වේ මල්වල සොබා සෞන්දර්යය දෑතින්ම ස්පර්ශකීරීමටයි. එහෙත් මේ මල් ගොමුව තිබුණේ ගෙවත්තකවත් පුංචි කැලෑ රොදකවත් නොව කේක් එකක් මතයි. මෙවැනි සියුම් නිර්මාණයක් කළ හැකි මිනිසකු මේ මිහිපිට සිටිය හැකි ද? සැබැවින්ම මෙය නම් මායාවක්මය. විස්මිත දෑතින් කේක් නිර්මාණය කරන මේ කේක් ශිල්පියා නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ කලාකරුවන්ට කේක් හදන ඔහු විජිත කුමාර. ලංකාවට විතරක් නෙවෙයි කටාර් රජ පවුලටත් කේක් හදපු ඔහු සැබැවින්ම කේක් ලොවේ මායාකරුවෙක් කියලයි කියන්නේ. අද මේ කතාබහ ඔහු සමඟයි.
විජිත කියන්නේ රජ පවුලටත් කේක් හදපු කෙනෙක් කියලයි කියන්නේ...?
ඒක වුණේ 2013 අවුරුද්දේ. කටාර් රාජ්‍යයේ රජ පවුලේ දියණිකගේ කේක් එකක් නිර්මාණය කරන්නයි මට අවස්ථාව ලැබුණේ. ඒ කාලේ අපේ ගෙවල් කිට්ටුව කටාර්වල සූපවේදියෙක් විදිහට සේවය කරන මිත්‍රයෙක් හිටියා. ඔහුගේ මාර්ගයෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. මාසයක් කටාර්වල ඉඳලා මම ඒ කේක් එක හරි ලස්සනට කළා. ඒ කේක් එකේ ෆොටෝ එකක්වත් නැත්තේ ඒ කාලේ සෝෂල් මීඩියා සහ ෆෝන් භාවිතය ලොකුවට තිබුණ කාලයක් නෙවෙයි නිසයි.
එතකොට විජිත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?
මට පුංචි කාලේ ඉඳලා කේක් හදන්න ආසාවක් තිබුණා. ඒක කොහොම ඇති වුණ එකක්ද කියලනම් දන්නේ නැහැ. මම සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දුන්නට පස්සෙයි මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මගේ ආසාව නිසාම මගේ අක්කා හොටෙල් පාසලකට යොමු කළා. එතැනින් සියලු දේම ඉගෙන ගත්තා.
කොහොමද එතකොට කේක් හදන්න පටන් ගත්තේ?
මම හොටෙල් පාසලේ ඉද්දී බේකරි පැත්ත, ෆේස්ට්‍රි වර්ග, බන් වර්ග, ඩෙසට් වර්ග මේ හැමදේම ඉගෙන ගත්තා. නමුත් මගේ හිත ගියේම කේක් කියන විෂයයට. ඉතින් මම හොටෙල් පාසලේ අධ්‍යාපනය අවසන් කරලා ගම්පහ සර්වෝදයේ තිබුණු කේක් පාඨමාලාවකට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. එතැනින් අත හුරුකර ගත්තට පස්සේ කොළඹ හොටෙල් පාසලකට සම්බන්ධ වුණා. මගේ අක්කා තමයි ඒකටත් මාව යොමු කළේ. ඒ පුහුණුවෙන් පස්සේ මම හෙලන් මදනායක මහත්මිය ළඟට ගියා. එතුමියගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔරෙන්සි සිරිවර්ධන මහත්මිය ළඟ අවුරුදු 3ක් වැඩ කළා. ඊට පස්සේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ කේක් ආයතනයක මම අවුරුදු 19ක් වැඩ කළා. එතැනදී මට මුණු ගැහුණු තවත් ගුරුවරයෙක් විදිහට ජෙරම් ඇන්තනී මහත්මයාවත් මතක් කරන්න පුළුවන්.
ඊට පස්සේ....
ඒ දැනුමින් මෙරට වගේම පිටරටත් මම ප්‍රමුඛ පෙෙළ් හොටෙල්වල වැඩ කළා. අබුඩාබි සහ කටාර් යන රටවල් දෙකේම මම වැඩ කළා. එහිදී ලබා ගත් දැනුම් සමභාරය ඉහළයි. දැන් මගේම කේක් ෆැක්ට්‍රියක් ෙමාරටුවේ තියෙනවා.
සාමාන්‍යයෙන් මේ වගේ ක්ෂේත්‍රවලට උනන්දු වෙන්නේ කාන්තාවන්. ඇයි ඔබට මේ ක්ෂේත්‍රයට ආසාවක් ඇති වුණේ?
ඇත්තටම අපේ අම්ම නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ මම කේක් හදනවට. දැන් වුණත් එයා කියන්නේ කේක් හදන එක ගැහැනු ළමයින්ගේ වැඩක් කියලයි. මට වෙන දෙයක් තෝර ගන්න කියලා එයා හැම වෙලාවෙම කියනවා. අම්මාගේ දැඩි විරෝධය මැද මම මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙද්දී අක්කා තමයි හැමදේටම උදවුවට හිටියේ. ඇත්තටම කේක් කියන්නේ දැන් මගේ ජීවිතයේම කොටසක් වගේ. අද සමාජයේ ගැහැනු පිරිමි කියලා භේදයක් මම දකින්නේ නැහැ. හැකියාවේ නිපුණත්වය ඕනෙ කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඉතින් තමන් කැමති දේ කරන්න පැකිෙළන්න අවශ්‍ය නැහැ.
බොහෝ කලාකරුවන්ගේ කේක් හදන්නෙත් ඔබේ අතින්මයි. මේ සම්බන්ධතාව ගොඩනැඟුණේ කොහොම ද?
මගේ මුල්ම කේක් එක හැදුවේ ලවන් අභිෂේක්ට. ඒකට එතරම් ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊටපස්සේ අක්කගේ මාර්ගෙන් මට දිනක්ෂිගේ අම්මගේ උපන්දිනයට කේක් එකක් හදන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවේදී දිනක්ෂි, ශනුද්‍රි, ශේෂාද්‍රි එයාලගේ ෆේස්බුක් ගිණුම්වල මාව මෙන්ෂන් කරලා කේක් එක හදපු එකට ස්තූති කරලා තිබුණා. එදා එක රැයින් මගේ ෆේස්බුක් ගිණුමට ලයික් 10,000ක් ඇවිත් තිබුණා. ප්‍රියසාද් පවුල තමයි මාව මේ තැනට ගෙනාවේ. එදා ඉඳන් ලංකාවේ සෙලිබ්‍රිටීස්ලා හැමෝම වගේ එයාලගේ උපන්දිනවලට, විශේෂ අවස්ථාවලට මගෙන් කේක් හදා ගන්නවා. නළු නිළියන්ට කලාකරුවන්ට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් වෙනුවෙන් මම කේක් නිර්මාණය කරනවා.