වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
යශෝදරා කවියෙන් එක් රැයින් ජනප්‍රිය වූ ගී හඬ
ආදරණීය හඬකට පුළුවන් ආත්මයක් සනහන්න. ඒ වගේ ආදරණීය හඬක් කෙනෙක්ට පිහිටන්නේ කලාතුරකින්. ඒ වාසනාවකටය. සමහර වෙලාවට ඒ වගේ හඬකට පුළුවන් කෙනෙක්ගේ හදවතට කතා කරන්න.. පැරූණු හිත්වලට සැනසිල්ලක් ගේන්නට. එහෙම හඬකින් ඇසෙන වචනයකින් නිවෙන්නට හැකි නම් එය කොතරම් දෙයක්ද. අද කියන්න යන්නෙත් ඒ වගේ ආදරණීය හඬකින් හිතකට වැසි වස්සන පුළුවන් හඬ පෞරුෂයක් ඇති යොවුන් ගායිකාවක් ගැන. ඇය ගාල්ල පැදින්නෝරුව පදිංචි අනුත්තරා දිව්‍යාංජලී. ක්ෂේත්රයට තවමත් නවක වුවත් කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට හැකි වුණේත් ඇගේ මේ හඬ පෞෂරුය නිසාමයි.
යූටියුබ් නාළිකාව තුළ ඇගේ ඇතැම් ගීත මිලියන ගණන් නරඹා තිබුණේ එක රැයකිනි. විටෙක ඇය එක් රැයකින් ජනප්‍රිය වූ නවක ගායිකාවක් ලෙසඳ හැදින්විය හැකිය. ඒ යශෝදරා කවි ඇගේ හඬින් ගයනා කොට යූටියුබ් නාළිකාවට දැමීමත් සමඟය. එය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සලකයි.
මම මේ ගමන පටන් ගත්තේ සිරස නාළිකාවෙන් විකාශය වූ වොයිස් ටීන් තරගාවලියෙන්. ඒ තරගයට මං හරිම ආසාවෙන් ගියේ. අම්මා තමයි ඒ හැම තැනකදීම මාත් එක්ක හිටියේ. ඒ තරගය හරහා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි අවසන් 36 දෙනාගේ වටයෙන් කැපෙන්න වුණා. ඒ මීට අවුරුදු 4කට කලින්. යම් ප්‍රමාණයට ප්රේක්ෂයා මාව හඳුනාගත්තේ ඒ වැඩසටහන හරහා.
ඒ හරහාද ඔබට ප්‍රසංග වේදිකාවේ ගී ගායනයටත් අවස්ථාව හිමි වන්නේ?
ඒ තරගයෙන් ලැබුණු ජනප්‍රියත්වයත් එක්කයි මට ඒ අවස්ථාව හිමිවුණේ. දැන් මට ප්‍රසංග වේදිකාව නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද ඒ තරමටම මට සෑහෙන ආරාධනා ලැබෙනවා.
හැබැයි ඔබ වඩා ජනප්‍රිය වෙන්නේ සමාජ මාධ්‍යජාලා හරහා...
තරගයෙන් පස්සේ මම සින්දු කියන වීඩියෝ ෆේස්බුක් දැම්මා. එකේන් ප්‍රේක්ෂකයින්ට මා ගැන තියෙන මතකය අලුත් වුණා. ඒ විදිහට ගොඩක්ම අමරිකාව, එංගලන්තය වගේ රටවල අය මාව අගයන්න ගත්තා. අලුත් ගීත කරන්න එයාලා මට අනුග්‍රහය දක්වන්නත් ඉදිරිපත් වුණා. එයාලගේ අනුග්‍රහයෙන් මේ වෙද්දි ගීත 14ක් කරලා තියෙනවා මම. මගේ පෞද්ගලික වියදමින් රුපියලක්වත් වියදම් වුණේ නැහැ. ඒ තරමට එයාලා මට ආදරෙයි.
යශෝදරා කවි ඔබේ ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරපු අවස්ථාවක්..
ෆේස්බුක් එකේ ජනප්‍රියත්වයත් එක්ක මම හිතුවා මගේ නමෙන් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න ඕනේ කියලා. එක සැරයක් මම චරන tv එකේ යශෝදරා කවි ගායනා කළා. මම ඒක මගේ යූටියුබ් එකට දැම්මට පස්සේ එක රැයින් මගේ යූටියුබ් චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 8000කින් වැඩි වුණා. ඒ වීඩියෝව මිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් බලලා තිබ්බා. එදා හැමෝම පිස්සුවෙන් වගේ මං ගැන කතා කරන්න ගත්තා. එයාලා පුදුම විදිහට මගේ කටහඬට ආදරය කරන්න ගත්තා.
ඒ විදිහට වොයිස් ටීන් එකෙන්, ෆේස්බුක් එකෙන්, යූ ටියුබ් එකෙන් ලොකු පිරිසක් මාව ආදරයෙන් වැලඳගත්තා.
ඔබ කරපු ගීත ගැන කතා කළොත්?
ඒ කරපු ගීතවල audio විතරයි යූටියුබ් එකට දැම්මේ. මොකද මම පසුගිය කාලයේදී උසස් පෙළ විභාගයට මුහුණ දීපු නිසා ඒ කටයුතුවලට වෙලාව හදාගන්න බැරිවුණා. හැබැයි ඒ ගීතවලින් කිහිපයක්ම ගුවන්විදුලි නාළිකාවල විකාශය වුණා. මාස 6ක් වැනි පුංචි කාලයක් තුළදී තමයි මම මේ ගීත 14ම කළේ. මම කරපු ගීත අතරින් වස්සානය, චාටු බස්, සතුටු කඳුළු, දුක හිතෙන්න කලින්, පිනි වැටෙනා වගේ ගීත ගොඩක් ජනප්‍රිය වුණා. නවරත්න ගමගේ, ආරාධනා ඒකනායක, කපිල අපරැක්ක එවැනි දක්ෂ පදරචකයින් සහ සංගීතඥයින්ගේ මැදිහත් වීමෙන් තමයි ඒ ගීත නිර්මාණය වුණේ. ඒ වගේම කවර් සෝන්ග් විශාල ප්‍රමාණයක් මම කරලා තියෙනවා.
දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද?
උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා තියෙනවා. මම විශ්වවිද්‍යාල අපේක්ෂක සිසුවියක්. මම අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ශ්‍රී හෘද කන්‍යාරාමයෙන්. මම පෙර පාසල් යන කාලේ ඉඳලම ගායනයට දක්ෂයි.
එක වසරට පාසලට ඇතුළත් වෙන්න කලින් දරුවන්ට ටැලන්ට් ෂෝ එකක් තිබුණා. ඉතින් මම ඒකෙදිත් ගීත ගායනා කළා. මගේ නම පාසලේ කතා වෙන්න අරන් තිබුණේ මම එක ශ්‍රේණියට ඇතුළත් වෙන්න කලින්මයි. මම පාසලෙත් වැඩි කාලයක් ගත කලේ සංගීත කාමරයේ.
මම විශාරද විභාගයත් කරලා අවසන්. මට ඕනේ මේ සමාජයට සංගීතය පැත්තෙන් දෙයක් කරන්න. මම උසස් පෙළට කළේ හින්දි භාෂාව, සංගීතය සහ නාට්‍ය හා රංගකලාව. ඉතින් මට හින්දි භාෂාවත් හොඳට පුළුවන්. ඒ වගේම මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායිකාවක්.
ගායනයෙන් ඔබ බොහෝ ජයග්‍රහණ ලබා ගත් කෙනෙක්.
අවුරුදු 11 වයස් කාණ්ඩයේදී ගායනයෙන් සමස්ත ලංකා ඒකල ප්‍රථම ස්ථානය ලබා ගත්තා. අවුරුදු 14 දී සමස්ත ලංකා ශාස්ත්‍රීය ගායනයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. එතකොට පාසල් මට්ටම වයස අවුරුදු 15 - 18 කාණ්ඩයෙන් ශාස්ත්‍රීය ගායනා දෙවැනි ස්ථානය ලැබුණා.
ඉන්දියාවේ හයි කමිෂන් එකෙන් කරන සෝලෝ සෝන්ග්ස් තරගාවලියෙන් ද ප්‍රථම ස්ථානය ලැබුවා.
මේ ගමන එන්න ලොකු පිරිසක් උදව් කරන්න ඇති..
පවුලේ අයව ආදරයෙන් මතක් කරන්න ඕනේ. තාත්තා කේ. එල් නිශාන්ත. අම්මා අනූෂා කලහෙවත්ත. මට අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. එයාලා මට ලොකු හයියක් වුණා පෙර පාසලේ ගුරුවරු, පාසලේ ගුරුවරු, පදරචකයින්, සංගීතඥයින් එතකොට මගේ ගීතවලට අනුග්‍රහය ලබා දුන් අය.. ඒ වගේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ හැමෝම මට උදව් කළා.
ඡායාරූප - ශාන් රූපස්සර