සාහිත සුළඟට ලැවැන්ඩර් සුවඳ මුසු කළ -සරෝජනී

අගෝස්තු 26, 2024

 

මුහුණුපොත එහෙමත් නැතිනම් facebook කියන්නේ වර්තමානයේ අතිශයින්ම ජනප්‍රිය සමාජ මාධ්‍යයක්. මේ මුහුණු පොත හරහා ලේඛන කලාවට පිවිස, වර්තමානය වනවිට නවකතා බොහොමයක් මුද්‍රණද්වාරයෙන් වෙ‍ෙළඳපොළට එකතු කළ ලේඛක ලේඛිකාවන් ගැන ඔබ අසා ඇති. සරෝජනී කරුණාතිලක ද එවැනි අපූරු ලේඛිකාවකි. අද දවසේ ආදරය, ප්‍රේමය පිළිබඳ සොඳුරුවට රචනා කරන අපේ භාෂාවෙන් කරුණාතිලක ද එවැනි අපූරු ලේඛිකාවකි. අද දවසේ ආදරය, ප්‍රේමය පිළිබඳ සොඳුරුවට රචනා කරන අපේ භාෂාවෙන් කිව්වොත් හරි රහට ලියන සරෝජිනී නවකතා කාරිනියක් වන්නට පෙරුම් පුරන්නේ පුංචි දැරිවියක අවධියේ පටන්මයි. ඒත් ඒ සමනල හීනය නොසිතූ ලෙස බොඳව යද්දී කඩා නොවැටුණු ඇය වෙනස්ම වෘත්තියකින් සිය ජීවන ගමන් මඟ ආරම්භ කරන්නීය. පසු කලෙක මුහුණු පොත හරහා අකුරු අමුණන ඇය වටා එකතු වන පිරිස නිසාම මියැදුණු හීනයට පණ පොවන්නට සරෝජනීට හැකි වේ.

මේ දිනවල සිය එකොළොස්වැනි පොත වෙ‍ෙළඳපොළට එකතු කරන්නට ලහි ලහියේ වෙහෙසෙන සරෝජනී එක්ක පුංචි කතාබහක නියැලෙන්නට අපට හැකි වුණා.

සරෝජනී, මේ දවස්වල හරිම කාර්යබහුලයි වගේ . . .

"ඇත්තටම ටිකක් කාර්යබහුලයි. මම වෘත්තියෙන් ග්‍රාම නිලධාරිනියක්. ඉතින් මැතිවරණ කටයුතු එක්ක කළ යුතු රාජකාරී බොහොමයි. ඒ වගේම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී මගේ අලුත්ම පොත 'ලැවෙන්ඩර් සුවඳ ටිෂු' පොත එළි දක්වන්න සූදානම් වෙනවා. ඒ නිසා විවේකය තරමක් අඩුයි.”

 

අපට කියන්නකෝ ග්‍රාම නිලධාරිනියක් නවකතාකාරියක් වුණු විදිහ.

“මම ඉපදුණේ කොළඹ නගරයේ වුණත් පාසල් ගියේ බිංගිරිය සරණංකර ජාතික පාසලට. ඉතින් පාසල් කාලයේ ඉඳන්ම ගද්‍ය, පද්‍ය රචනා සඳහා ජයග්‍රහණ ලැබුවා. මම උසස් පෙළට හැදෑරුවෙත් කලා විෂයයන්. විභාගය ඉවරවෙලා ගෙදර ඉන්නකොට මට හරිම ආසාවක් ඇති වුණා නවකතාවක් ලියලා පොතක් එළි දක්වන්න. ඉතින් CR පොතක ලියපු මගේ නවකතාවක් අරගෙන බිංගිරියේ සෑම ප්‍රකාශකයෙක් ගාවට මම ගියත් හැම තැනින්ම ලැබුණේ ප්‍රතික්ෂේප වීම විතරයි. ආධුනික මගේ පොතක් ප්‍රකාශයට කෙනෙක් නැතිවීම ගැන ඇතිවුණු දුක, වේදනාව, කලකිරීම වාගේ දේවල් එක්ක මම කළේ ආසාවෙන් ලියපු ඒ පොත ගින්නට දාපු එක. ඊට පස්සේ පොත් ලියවිල්ල පැත්තකට දාලා මම ග්‍රාම නිලධාරිනියක් විදිහට රැකියාව කරන්න පටන් ගත්තා.”

 

හැබැයි ලේඛනයට තිබුණු කැමැත්ත අඩුවෙලා නෑ.

“මම 2017 අවුරුද්ද වෙනකම්ම කිසිම දෙයක් ලියන්නවත් හිතුවේ නෑ. පොඩි පුතා ලැබිලා ප්‍රසූත නිවාඩු ඉන්න කාලේ Facebook එකේ ලියන්න පටන් ගත්තා. ඒ ලියවිල්ල තමයි මේ විදිහට මාව නවකතාකාරිනියක් කළේ.”

ඒ කියන්නේ.. . .

“මම මුහුණු පොතට ලියපු ‘වීදුරු හීන’ කතාව කියවපු යොවුන් ලේඛිකාවක් වූ ඉමේෂා මාධවී මල්ලවආරච්චි මට කතා කරලා ඒක පොතක් කරන්න කිව්වා. ඇයගේ මැදිහත්වීම මත තාරා ප්‍රකාශන අයිති තරංගා දිසානායකත් එක්ක කතා කරගෙන 2018 දී තමයි මගේ ‘වීදුරු හීන’ මුල්ම පොත ප්‍රකාශනයට පත් වුණේ. ඊට පස්සේ ‘අසම්මත, මැණික, සුළඟ සේ ඔබ ඇවිදින්, හුස්මක් දුරින්, ලිලී ආදී වශයෙන් පොත් 10ක්ම වෙ‍ෙළඳපොළට එකතු කරන්න මට හැකියාව ලැබුණා.”

 

ඒත් එක්කම මුහුණපොතේ ලියන එක නැවතුණාද?

“මුහුණුපොතේ ලියන එක මට දිගටම කරගෙන යන්න අපහසු වුණා. මොකද Facebook එකේ ඉන්න පාඨකයන් දිනපතාම නවකතාව බලාපොරොත්තු වෙනවා. ඉතින් රැකියාවයි නි‍ෙවසේ කටයුතුයි දරුවන්ගේ වැඩයි එක්ක මට දිනපතාම ලියන්න වෙලාව නෑ. ඒ නිසා මම දිගටම පොත් ලියන්න පටන් ගත්තා. මගේ නවකතාවලට ගොඩක් වෙලාවට තේමාව වෙලා තියෙන්නේ ආදරය. ආදරය හමුවේ ඇති විඳීම්, විඳවීම් වාගේම සම්මතය කියන රාමුවෙන් එපිටට ගිය අසම්මතය ගැනත් මම ලියනවා. සාම්ප්‍රදායික කාන්තාවකගෙන් ඔබ්බට ගිය කැරලිකාර තරුණියන් ගැන මම ලියන්න කැමතියි. මොකද මේ හැම කතාවකින්ම මට ඕනේ සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න.”

 

මේ හැමදේටම සරෝජනීට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

“ඇත්තටම ඔව්. මගේ පවුලෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. මගේ මහත්තයා ඇතැම් වෙලාවට ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ ආදියෙන් මාව නිදහස් කරලා උපරිම සහයෝගයක් දෙනවා. මොකද රැකියාව තුළත් මම හරිම කාර්ය බහුල නිසා එයාගේ උදව්ව නැතුව මේ ගමන යන්න බෑ. මගේ පුතාලා දෙන්නත් එහෙමයි. විශේෂයෙන්ම මගේ හොඳම විවේචකයා තමයි ලොකු පුතා. මම ලියන ඒවායේ අඩුපාඩු බලලා මේ කටයුත්තට මාව උනන්දු කරන්නේ ඔහු තමයි. ඇත්තටම කිව්වොත් මට ලස්සනට වචන ගලපන්න ඉගැන්නුවේ මගේ අම්මා. පුංචිම කාලෙදි මම ලියන රචනා ලස්සන නෑ. මට මතකයි අම්මා පහ වසරෙදි 'ඉර පායපු හැන්දෑවක්' ගැන රචනාවක් ලියන හැටි කියලා දුන්නා. එදා ඒ ලියපු රචනාවට ගුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රශංසාව තමයි මේ තරම් දුරක් මාව අරගෙන ආවේ.

ඒත් ඉතින් මගේ අම්මාට මම ලියපු එකම පොතක්වත් කියවා ගන්න බැරි වුණා. මොකද ඇයගේ පෙනීම දුර්වල වුණු නිසා මම අදටත් ඇය අතර පොත දීලා කතාව ළඟට වෙලා කියවනවා. ඒකට ඇය හරිම ආසයි. මම හැමදාමත් මගේ මුල්ම පොත දෙන්නෙ තාත්තා අතට. ඒ මගේ ලෝකයේ නිහඬ වීරයා. සිංහල විෂයය උගන්වපු ධනපාල හෙට්ටිනායක ගුරු පියාණන්ටත් මම මේ මොහොතේ විශේෂ ස්තූතියක් පිරිනමන්න කැමතියි. ඒ වගේම මේ ලේඛන දිවියට පාර කියලා දුන්නු ඉමේෂා මාධවී සහ තරංගා දිසානායකත් මතක් කළ යුතුමයි. ඔවුන් තමයි මගේ ජීවිතයට හයියක් වුණේ.

මට කාත් එක්කවත් තරගයක් නෑ. හෙමින් ගමනක් තමයි යන්නේ. ටිකක් දුරබැහැර ඉන්න නිසා තරමක් හුදෙකලා චරිතයක් වුවත් මගේ පාඩුවේ වැඩ ටික කරගෙන හොඳ දෙයක් පාඨකයන්ට පිරිනමන්න උත්සාහ දරනවා.