කතා කරන ගිරවු හදන හෝමාගම ඉර ගිරවි

සැප්තැම්බර් 2, 2024

 

නිල්පාට අහසේ සුදු පාට වලාකුළු පේන තෙක් මානෙකවත් නැහැ. හැබැයි එකම එක පුංචිම පුංචි වලාකුළක් ඉර ළඟින් එහෙට මෙහෙට යන්නේ ඉරට ඔච්චම් කරන්න වගෙයි. මම අහස දිහා බලන් හිටියේ ඒ සුදු පාට වලාකුළ ඉර වහයි කියලා. ඒත් ඉර වැහෙන පාටක් නම් නැහැ. ගොඩක් වෙලා බලාගෙන හිටියේ ඉරටත් හොරෙන් ඉර ගිරව් කඳු මානෙට උඩින් ඉගිලෙන දිහා. පුංචි කාලේ ඉඳලම අපිට තිබුණේ හරි පුදුම හීන. විනෝදාංශ. ඒත් ඒවා ළඟා කර ගන්න ලැබුණේ කලාතුරකින්. අද අපි කතා කරන්නේ ඒ විදිහේ හීනයක් ළඟා කරගත්ත ගිරවෙක් එක්ක කතා කරන ලස්සන තරුණියක් එක්ක. ඇය හෝමාගම පදිංචි දිල්හානි වෙඩික්කාරගේ. එයාගේ මුළු ජීවිතේම වුණේ කතා කරන සුදුම සුදු පාට මැකෝ ගිරවෙක්. එයාගේ නම කොකෝ. දැන් මම ඉස්සරහා ඉන්නේ ඒ ලස්සන ගිරවයි ඒ ගැහැනු ළමයයි.

 

මම පොඩි කාලේ ඉඳලා සත්තුන්ට හරි ආදරෙයි. මම

මුලින්ම ඇති කළේ බල්ලෝ. කුරුල්ලෝ හදන්න අරගෙන අවුරුදු දෙකක් වගේ වෙනවා. කොකෝ කියන්නෙත් එහෙම ආසාවට හදන්න ගත්ත ගිරවෙක්. එයා හරිම ආදරණීය ගිරවෙක්. කුරුලු වර්ග හතක් මං ළඟ ඉන්නවා. ඒ අතර දේශීය වගේම විදේශීය කුරුලු වර්ගත් ඉන්නවා. කුරුල්ලොත් එක්ක ජීවත් වෙන එක තමයි මම මගේ ජීවිතයේදී සතුටින්ම කරන දේ.

 

දිල්හානි ළඟ ඉන්නේ මොන වර්ගයේ කුරුල්ලෝ ද ?

 

දැනට මං ළඟ කුරුල්ලෝ වර්ග අටක් විතර ඉන්නවා. Umbrella cockatoo, Ducorp cockatoo, Coconut lorikeet, Dusky lory, Chattering lory, Yellow streaked lory, Sun conure. වාගේ අය. මේ කුරුල්ලෝ ගොඩක් අය ගිරවු වර්ග. මේ ගිරවු ඔක්කොම එයාලා චූටි කාලේ ඉඳලා තමයි හදන්න ගත්තේ. ලොරිකීට් වර්ගයට අයත් කුරුල්ලෝ එයාලට මාස දෙකේ තුනේදී වගේ තමයි හදන්න ගත්තේ. ඉතින් කෑම කවලා තමයි එයාලව පුරුදු කරගන්නේ. මාත් එක්කම ඉඳලමයි එයාලාට කතා කරන්න පුළුවන් වුණේ.

 

ගිරවෙක් සුරතල් සතෙක් විදිහට හදන එක පහසු නැහැ නේද?

 

ගොඩක් වෙලාවට හුරතලයට ගිරවු හදද්දී ඇස් අරින්නෙවත් නැති පැටවු වර්ග අපි ගන්නේ. එයාලට අපි පිටරටින් ගෙන්වන කෑම වර්ගයක් තමයි දෙන්නේ. ඉතින් ඒ කෑම හදද්දි උෂ්ණත්වය, ඝනකම ඒ හැමදේම බලලයි කෑම දෙන්නේ. අපි ඒ චූටි පැටවුන්ට සිරිංජරවලින් තමයි කෑම දෙන්නේ. ඒ විදිහට පටන් අරගෙන එයාලව ටික ටික එළවළුවලට, පලතුරුවලට හුරුකරවන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඒ කෑම හරි ප්‍රමිතියට දෙන්න බැරි වුණොත් එයාලා මැරෙන්න වුණත් පුළුවන්. පොඩි පැටවුන්ට කෑම දෙද්දී පෙණහලුවලට කෑම යන්න තියෙන අවදානම වැඩියි. කුරුල්ලෝ ගොඩක් වෙලාවට අඩු උෂ්ණත්වයක් යටතේ ජීවත් වෙන අය. ඒ නිසා එයාලව හදද්දී උෂ්ණත්වය ගැනත් හිතන්න ඕනේ.

 

දිල්හානි කුරුල්ලන්ට වටපිටාව හදලා තියෙන්නේ කොහොමද ?

 

මම කවදාවත් කුරුල්ලෝ කූඩු කරලා හදන්නේ නැහැ. එයාලට ගෙදර වෙනම කාමරයක් හදලා තියෙනවා නිදහසේ ඉන්න. රෑට නම් අපි කුරුල්ලන්ව ඇතුළට දානවා. මොකද රෑට එළියේ තිබ්බොත් සත්තුන්ගෙන් කරදර වෙන්න පුළුවන්.

ගෙදර එද්දි එයාලා අපේ වාහනේ අඳුර ගන්නවා. අපේ වාහනේ සද්දේ එයාලට හොඳට පුරුදුයි. ගේට් එක අරිද්දිම එයාලා කතා කරන්න ගන්නවා. එයාලා මට අම්මේ කියලා තමයි කතා කරන්නේ.

 

හැමෝම කතා වෙන්නේ කොකෝ ගැන..?

 

සුදු පාට ගිරවා තමයි සෝෂල් මීඩියාවල ගොඩක් ෆේමස් වුණේ. එයාට මම නම දැම්මේ කොකෝ කියලා. එයා Umbrella cockatoo කෙනෙක්. එයා කුරුල්ලෙක් විතරක්ම නෙවෙයි. මේ ගෙදර දරු පැටියෙක් වගේ තමයි එයා හැදෙන්නේ. දැන් එයාට මාස 7ක් වෙනවා. එයාට තාම කෑම කවනවා. මම දන්න සමහර අය කියනවා මේ කොකටු වර්ගයේ ගිරවුන්ට මුළු ජීවිත කාලයේම අතින් කවන්න වෙනවා කියලා. මේ ගිරවු ඔක්කොටම වෙනම කෑම වර්ග අපි ගන්නවා. එයාලටම කුරුලු කෑම වර්ග වෙනම ගන්න තියෙනවා. මේ කුරුල්ලෝ ඔක්කොම විදේශීය කුරුල්ලෝ. විදේශීය කුරුල්ලෝ ආනයනය කරන තැනකින් තමයි මම මෙයාලව ගන්තේ.

 

මුල්ම වචනේ කතා කරපු ගිරවා ගැන මතකද?

 

මං ළඟ හිටපු ඇල්ෆ් කියන ගිරවා තමයි මුලින්ම මාත් එක්ක කතා කරන්න ගත්තේ. අද එයා මං ළඟ නැහැ. එයාට මම කතා කරන්න කවදාවත් උගන්නලා නැහැ. මම උදේට එයා ළඟට ගිහින් ගුඩ් මෝර්නින් කියලා කතා කතා කරන්න පටන් ගන්නේ. එයා මට ගුඩ් මෝර්නින් කියලා කියන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ තමයි මම එයාට පුංචි පුංචි වචන කතා කළේ. එයා හොඳට කතා කළා. ඒ ගිරවා ලංකාවට ආවේණික කුරුල්ලෙක් නිසා මම එයාව නිදහස් කළා. මොකද එයාව අයිති මේ සොබාදහමටනේ. අපි ළඟ ඉන්න කුරුල්ලෝ අපි එදිනෙදා කතා කරන වචන අහගෙන ඉන්නවා. එයාලා ඒ විදිහටයි කතා කරන්න පුරුදු වෙන්නේ. දවසකට එයලා වචන 10 - 15ක් වගේ කතා කරනවා. එයාලා වැටෙන්න වගේ යද්දි තව පොඩ්ඩෙන් වැටෙනවා කියලා කියන්න පුළුවන් තරමටම එයාලා වචන භාවිතය දියුණු කර ගන්නවා.

 

එතකොට ඔබේ වෘත්තිය?

 

මම වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්. නුගේගොඩ සැලෝන් එකක රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරගෙන යනවා. ඒ වගේම මම රංගනයටත් උනන්දුයි. මම රංගන ජීවිතයට ඇතුළු වෙලා අවුරුදු 10ක් විතර වෙනවා. නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම ගීත රූප රචනා කිහිපයකටත් හිටියා.ටික කාලයක් මම රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ ඈත් වෙලා හිටපු කාලයේදී තමයි කුරුල්ලෝ හදන්න ගත්තේ. විනෝදාංශයක් විදිහටයි කුරුල්ලෝ හදන්න පටන් ගත්තේ.

 

ඒ නිසාමද කුරුල්ලෝ හදන්න හිතුවේ..

 

ඇත්තටම කුරුල්ලෝ හදන්න පටන් ගත්තේ මගේ හස්බන්ඩ් නිසා. හස්බන්ඩ් අතරමං වෙච්ච කුරුලු පැටවු ගෙනල්ලා හදන්න.. කඩවල්වල විකුණන්න දාලා තියෙන කූඩුවල හිර කරලා ඉන්න කුරුල්ලෝ ගෙනල්ලා නිදහසේ හදන්න ගත්තා. එහෙම හදන්න ගත්ත කුරුල්ලෝ නිසා තමයි මට මේ ආසාව ආවේ.

ලංකාවට ආවේණික කුරුල්ලෝ නම් පොඩි කාලේ හදලා ලොකු වෙද්දි අරිනවා. කෑම කවලා ලොකු කරලා එයාලව යවනවා. ඒත් විදේශීය කුරුල්ලෝ අපිට ලංකාවේ අතහරින්න බැහැනේ. මොකද එයාලට අපේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයිනේ.

 

ගිරවු ඇති කරන්න පුරුදු කරපු සැමියා ගැනත් කතා කරමු.

 

සැමියා ඉසුරු රංගන. වැඩ කරන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ. එයා නිසා තමයි කුරුල්ලෝ හදන්න පුරුදු වුණේ. ගොඩක් අය හදන්නේ බල්ලෝ පූසො නේ. කුරුල්ලොත් ඒ වගේ ළෙන්ගතුව හදන්න පුළුවන් කියන දේ මගේ ඔළුවට දැම්මේ හස්බන්ඩ්. එයාගේ සහයෝගය නිසයි මේ කුරුල්ලෝ ටික මම මේ විදිහට බලාගන්නේ. මම කුරුල්ලෝ හදන්න ගත්ත දවසේ ඉඳලා ගෙදරින් පිට ඉඳලා නැහැ.

 

මේ කුරුල්ලෝ නිවෙසේ තනිකරලා නම් ගමනක් බිමනක් යන්න බැරුව ඇති?

 

දවස් දෙකක් විතර මෙයාලව තනියම තිබ්බොත් එයාලා ආතතියට පත් වෙනවා. එතකොට එයාලා තමන්ගේම පිහාටු ගලවගන්න පටන් ගන්නවා. කුරුල්ලන්ටම නිර්මාණය කරපු වෙනම සෙල්ලම් බඩු තියෙනවා. ඒ වගේ වෙලාවට මේ සෙල්ලම් බඩු එයාලට දෙන්න ඕනේ. කොහොමත් කොකටු වර්ගයේ මේ ගිරවුන්ට සෙල්ලම් බඩු අත්‍යවශ්‍යයි. මේ කොකටු වර්ගයේ ගිරවු දවසට කිලෝ මීටර් 500 - 1000ක් පියාඹන සත්තු. ඉතින් එහෙම කුරුල්ෙලක් ගෙදර හදනවා කියන්නේ එයා වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරන්න ඕනේ. ඉතින් ගිරවෙක් හදනවා කියන්නේ දරුවෙක් බලා ගන්නවා වගේ වැඩක්.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර