උපදෙස් දෙන්න පොත් ලියන්නෙ නෑ

ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද විරාජිනී තෙන්නකෝන්
සැප්තැම්බර් 23, 2024

 

නවකතාවක්, කෙටිකතාවක් කියන්නෙ විශ්වකර්මයක් නෙවෙයි. ඒක ඇත්ත. ඒත් ලේඛිකාවක් කියන්නේ ඊටත් වඩා විශ්මිත දේ කළ හැකි කෙනෙක්. සැබෑ ලේඛිකාවකට සිය පරිකල්පන නිම් වළලු විහිදා හැරිය හැකි දුර අසීමාන්තිකයි.

 

ස්වර්ණ පුස්තක සම්මානය කියන්නේ ලේඛිකාවකට ලේඛකයකුට ලේඛන ජීවිතයේදී කලාතුරකින් ලැබෙන සම්මානයක්. පසුගිය දා පැවති 2024 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේදී විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ සම්මානලාභී නවකතාකාරියක වන විරාජිනී තෙන්නකෝන් රචනා කළ 'කැමෙලියා' කෘතියයි. ලේඛිකාවක ලෙස සම්භාවනාවට පත්ව සිටි ඇය නවකතාකාරිනියක ලෙස ඇගයුමට පාත්‍ර වන්නේ අතිශය ජනප්‍රියත්වයට පත් වන ඇගේ පළමු නවකතාව මකරානන්දය සමඟිනි. එතැන් පටන් ඇය සමකාලීන සාහිත්‍යයේ වැදගත් නවකතාකාරිනියක ලෙස විචාරක සහ පාඨක අවධානයට ලක් විය. ස්වර්ණ පුස්තක සම්මානය දෝතට ගත් ඇය තරුණී සමඟින් දොඩමළු වූයේ මේ විදිහට.

 

"සම්මාන කියන්නෙ ඕනෑම ලේඛකයෙකුට සාපේක්ෂයි. කොහොම වුණත් ඇගයීමකට යම් කිසි නිර්මාණයක් ලක් වෙනවා කියන්නේ ඒ නිර්මාණකරුවාගේ හැකියාව සහ ඒ නිර්මාණය ඉහළට ඔසවා තැබීමක්. ඉතින් ඒක නිර්මාණයට කරන ලොකු සාධාරණයක් සහ නිර්මාණකරුවාගේ ඉදිරි නිර්මාණ කටයුතුවලට ලබාදෙන උත්තේජනයක්. ඒ සියලු කාරණා සලකා බලන විට සම්මානයකට පාත්‍ර වෙනවා කියන්නෙම නිර්මාණකරුවකුට තමන්ගේ නිර්මාණ ජීවිතය ඉදිරියට ගෙනයන්න සහ වඩාත් හොඳ නිර්මාණ තව තවත් බිහි කරන්න ලැබෙන උත්තේජනයක්. ඒ නිසා ඒ ගැන මට සතුටක් තියෙනවා. ඕනෑම නිර්මාණයක් අපි කරන්නේ පාඨකයන් වෙනුවෙන් සමාජය වෙනුවෙන්. ඉතින් ඒ සමාජය අතරට යන්නත් මේ සම්මාන බලපානවා. ඉතින් ඒ විදිහට බලද්දී මේ ඇගයීම ඉතාම වටිනවා."

 

කැමෙලියා තුළින් ඔබ සමාජයට කියන්න උත්සාහ කළේ කුමක් ද?

 

අපි කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ සමාජයට දේවල්

කියන්න. අපි ගොඩක් වෙලාවට සමාජයට දේවල් දෙන්න උත්සාහ කරන්නේ ළමා පොත් සහ අධ්‍යාපනික පොත් හරහා. නමුත් නවකතාව හරහා කිසිම අවස්ථාවක අවවාද අනුශාසනා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. නවකතාවලින් සමාජයට පණිවිඩ දෙන්න උත්සාහ කරන්නේ නැහැ. නිර්මාණකරුවන් විදිහට අපි නිර්මාණයකින් කතා කරන්නේ ඕනෑම නිර්මාණකරුවෙක් තෝරාගන්නා අනුභූතිය හරහා සමාජය දැකීමයි කරන්නේ. ඉතින් පාඨකයා දැන ගන්න ඕනේ අපි දෙන

මේ වියමනෙන් මොන වගේ දෙයක්ද ලබාගන්නේ කියන එක. ඒක අල්ලා ගැනීමේ වගකීම තියෙන්නේ පාඨකයාට.

 

කැමෙලියා රසවිඳපු පාඨකයන්ගේ ප්‍රතිචාර කොහොමද?

 

මේ නවකතාව පාඨකයාට අලුත් අත්දැකීමක් වුණා කියලා බොහෝ පාඨකයින් මට පැවසුවා. මොකද කැමෙලියා භාෂාව සහ කැමේලියාගේ අනුභූතිය වෙනස් විදිහට ලියවුණු එකක්. මගේ පළමු නිර්මාණය මකරානන්දයත් එක්ක ගත්තාම මකරානන්දයට සාපේක්ෂව කැමෙලියා කියන්නේ වෙනස්ම අනුභූතියක් සඳහා ලියූ කතාවක්. විචාරවලින් දැනෙන දෙයක් තමයි ඔවුන්ට හොඳ කියවීමක් තියෙනවා කියන එක.

 

මකරානන්දය කියන්නෙත් පාඨකයින් පමණක් නොව විචාරකයින් අතරත් කතාබහට ලක් වූ කෘතියක්..?

මකරානන්දය නවකතාවට 2019 අවුරුද්දේ රාජ්‍ය සම්මාන සහ විද්‍යෝදය කියන සම්මාන දෙකම හිමි වුණා. ඒක මගේ පළමු නවකතාව නිසා මගේ නිර්මාණ ජීවිතයේදී මට වැදගත්ම සන්ධිස්ථානයක් සනිටුහන් කරන නිර්මාණයක්. ඒකට තාමත් හොඳ පාඨක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වෙනුවෙන් මම වෙහෙසුණා. ඉතින් ඒකට ලැබිය යුතු ඇගයීම මට ලැබුණා.

මේ වෙද්දී කෙටිකතා පොත් දෙකක්, නවකතා පොත් දෙකක් සහ යොවුන් නවකතා පොතක් මම කරලා තියෙනවා. අච්චාරු සහ තවත් කතා, අන්ධයා සහ සුරුට්ටු න්‍යාය යන කෙටි කතා දෙකත් සම්මානයට පාත්‍ර වුණා.

 

ඔබ නිර්මාණය කරපු කෘති ඇත්තේ අතළොස්සක් වුණාට, ඒ හැම නිර්මාණයක්ම වගේ සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා. ඒකට හේතුව කුමක් විය හැකිද?

 

මේ වෙද්දි මම නවකතා දෙකයි කරලා තියෙන්නේ. කෙටිකතා ගත්තොත් ඒත් දෙකයි කරලා තියෙන්නේ. මගේ නිර්මාණයක් සහ ඊළඟට එන්න තියෙන නිර්මාණයක් අතර කාලය ගොඩක් වැඩියි. 2019 මකරානන්දය ලියන මම කැමෙලියා ලියන්නේ 2023 දී. එතකොට අවුරුදු 4ක් ගත කරලා තමයි මම ලියන්නේ. 2016 දී පළමු කෙටි කතාව ලියලා 2023 දී තමයි දෙවැනි කෙටි කතාව ලියන්නේ. මම බොහොම පරෙස්සමෙන් සහ බොහෝ කාලයක් ගනිමින් ඉවසිලිවන්තව නිර්මාණයේ යෙදෙන කෙනෙක්. මට මගේ නිර්මාණ ජීවිතයේදී දිය හැකි හොඳම පිළිතුර තමයි කාලය කියන දේ. ඒ කාලය මම ගන්නවා. අනිත් එක මම නිර්මාණ කරන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. මට පාඨකයන්ට දෙයක් කියන්න තියෙනව නම් මම එ්ක කියන්නේ මේ කෘති තුළින්.

 

ඔබගේ ලේඛන කලාවේදී අනුගමනය කරන විශේෂ උපක්‍රම තිබෙනවාද?

 

ලේඛන කලාව කියන්නෙම උපක්‍රමයක්. මොකද වාර්තා ස්වරූපයෙන් මිදෙන්නේ අපි යොදාගන්නා උපක්‍රම මත. ඉතින් විශේෂ උපක්‍රම, අත්හදා බැලීම් සහ පර්යේෂණ කියන දේවල්වලින් තමයි නවකතාව ඉස්සරහට දිගහරින්න වෙන්නේ. ඉතින් ඒ කිසිදු උපක්‍රමයකින් තොරව සාර්ථක නිර්මාණයක් එළියට දාන්න කිසිදු ලේඛකයකුට හැකියි කියා මා හිතන්නේ නැහැ. තමන්ගේ නිර්මාණය හොඳ නිර්මාණයක් බවට පත්කරගන්න ඒ සියලු දේ අනුගමනය කළ යුතුයි.

 

සාමාන්‍යයෙන් ලිවීම ආරම්භ කරනකොට ලියන්න යන නවකතාව ගැන ඔබ මොනතරම් දැනුවත්ද?

අඩකටත් වඩා දැනුවත්. ඒ දැනුවත්භාවයෙන් තොරව මම කිසිදු නිර්මාණයක් කරන්න පටන් ගන්නේ නැහැ. මම මගේ නිර්මාණය ගැන තෘප්තිමත් වුණාට පස්සෙ ඒ කියන්නේ මම දැනට හොයාගත්ත කරුණු කාරණා පිළිබඳව සහ මගේ පරිකල්පනය පිළිබඳව තෘප්තිමත් වුණාට පස්සේ තමයි මම නිර්මාණය කරන්න පටන් ගන්නේ.

 

මුලින්ම පෑන හසුරවන්න පටන් ගත්තේ කොතැනින්ද?

මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. පාසල් යන කාලේ ඉඳලම ලියනවා. අන්තර් පාඨශාලීය සංගම්වල. ඒවල නිර්මාණ තරගවලට එකතු වෙනවා. එහෙම කුඩා කාලයක් තමයි මටත් තිබුණේ. නමුත් ඒක කලාවක් විදිහට, නිර්මාණකරුවෙක් විදිහට ඉදිරියට එන්න ඕනේ කියලා හිතලා හැඟීමක් කුඩා කාලයේදී තිබුණේ නැහැ. ඒක මගේ අත්දැකීම් සහ මගේ වයසත් එක්ක එකතු වුණ දෙයක්.

 

අද පාඨකයාගේ රසවින්දනය තියෙන්නේ කොතැනකද?

පාඨකයාගේ රසවින්දනය ඉතාමත් දියුණුයි. මොකද දේශීය විතරක් නෙවෙයි විදේශීය පරිවර්තන කෘති කියැවීමේ ලොකු නැමියාවක් තියෙනවා ලාංකේය පාඨක සමාජය තුළ. ඒ හරහා ඔවුන් විවිධ සංස්කෘතික අංග, සමාජීය පසුබිම් පිළිබඳව දැනුවත් වෙනවා. ඒ හරහා ලාංකේය සාහිත්‍යයත් ඔවුන් කියවා ගන්න උත්සාහ ගන්නවා. එතැනදී ඔවුන් තීක්ෂණ බුද්ධියකින් යුක්තයි. නමුත් ඒ සාක්ෂරතාවය හදාගත යුතු පිරිසකුත් ඉන්නවා.