සුදු පීතෘත්වයේ කළු පැහැය

ඔක්තෝබර් 21, 2024

 

ජීවිතයේ බොහෝ දෑ සිදුවන්නේ අප සිතන පතන ආකාරයට නොවේ. එහි විවිධ පැතිකඩ නොයෙක් ආකාරයෙන් අපට හමුවන අතර මේ සියල්ලට අපට මුහුණ දීමට සිදුවන්නේ ද විවිධත්වයෙන් යුතුවය. එහෙත් සිදුවන සියල්ල බද්ධව පවතින්නේ අප ළැබැඳි ජීවිතය සමඟයි. විටෙක තමාගේම අත්දැකීම් තුළින් ජීවිතයට මතක සටහන් ගොනු කරගන්නට හැකිවනවා සේම අන් අයගේ සිතුවිලි හා ක්‍රියාදාමයන් තුළින්ද තම ජීවිතයට වර්ණවත් මෙන්ම අසංතෘප්ත හැඟුම් සමුදායන් එක්කර ගැනීමට සිදුවේ.

නවකතා රචිකාවියක වන Rama තම ජීවිතයේ කෙදිනක හෝ අමතක කළ නොහැකි තම මනසින් කිසිදු මොහොතක බැහැර කළ නොහැකි සිදුවීමක් තම ළය මත්තේ හොවා ගත්තාය. මාස 15ක බිලිඳියකු සයුරු වෙරළේ මිය යාමට දමා යෑම ඇයගේ සිත සසල කරවන්නක් විය. එහෙත් එම සිදුවීමට මුල් වූ කාන්තාව පිළිබඳවද ඇය දුක් වූවාය.
තම පන්තිය, ජාතිය සහ මාතෘත්වය පිළිබඳ කියැවෙන saint omer නිර්මාණය වන්නේ ෆේබියන් කබූගේ සත්‍ය නඩු කටයුත්තක් ආභාෂයෙනි. චිත්‍රපටයේ කතාව කියවෙනු ලබන්නේ තම මාස 15ක් වයසැති දියණිය මිය යාම පිණිස මුහුදු වෙරළේ දමා ගිය කාන්තාවකගේ සිදුවීමක් මූලික කරගනිමිනි. ඇය නමින් Colyය.

Colyගේ චරිතයට පණ පොවනු ලබන්නේ ප්‍රංශ නිළියක වන Guslagie Malanda ය. Coly සෙනගාලයේ සිට සංක්‍රමණය වූවකු වන අතර, උපාධිධාරිනියක වන ඇය තම දියණිය මිය යෑමට සැලැස්වීම පිළිබඳව චෝදනා ලැබ සිටින්නියකි. එමෙන්ම නඩු වාරයක් සම්බන්ධයෙන් ඉදිරිපත්වීමට ද ඇයට සිදුව තිබුණාය. මේ නඩු විභාගය දැක බලාගැනීම සඳහා එක් විශේෂ වූ අමුත්තියක් පැමිණේ. නවකතා රචිකාවියක, සාහිත්‍ය පිළිබඳ වූ මහාචාර්යවරියක වන ඇය Rama ය. ප්‍රංශයේ, පැරීසියේ සිට saint omer දක්වා ඇය පැමිණෙනුයේ එම සිදුවීම මහත් කම්පනය දනවන්නක් වූවාක් මෙන්ම Coly මෙන්ම මිශ්‍ර ජාතික සම්භවයක වූ කාන්තාවක ද වූ හෙයිනි. මේ හෙයින්ම ඇයට Coly පිළිබඳ යම් සමීපකමක් ද දැනෙන්නට විය. මෙම චිත්‍රපටය පුරා යම් යම් සංකීර්ණ සිදුවීම් ගොඩනැඟෙන අතර ස්ත්‍රී, පුරුෂභාවය, අතීත සිදුවීම්, මානසික ව්‍යාකූලතාවයන් හා සංක්‍රමණය සම්බන්ධව අවධානය යොමු කිරීම් දක්නට ලැබේ.

පැරීසියේ සිට පැමිණෙන Rama, Colyගේ අතීතය පිළිබඳ මෙන්ම වත්මන් දිවිය පිළිබඳ ද කරුණු කාරණා විමසිල්ලෙන් අවබෝධ කරගනිමින් සිටියාය. මේ අතරවාරයේ අපට දැනගන්නට ලැබුණේ Coly තම පවුල තුළින් මෙන්ම සමාජයෙන් ද විඳි හුදෙකලාව පිළිබඳයි.

මේ සියලු කරුණු කාරණා මෙනෙහි කරමින් සිටින ඇයට ගැබිනියකව සිටින තම ජීවිතය සම්බන්ධයෙන්ද වඩා කනස්සල්ලක් හිත පුරා නැඟෙන්නට විය. මෙම නඩු විභාගය Ramaගේ මනස ව්‍යාකූලත්වයට පත් කරන්නට සමත් විය. චිත්‍රපටයේ රාමාගේ චරිතයට පණ පොවනු ලබන්නේ Kayije Kagame ය.

නඩු විභාගය සිදුවෙමින් පවතින මොහොතේ Coly ඉතා සන්සුන් බවක් දක්වනුයේ තමා එම නඩුවේ විත්තිකාර පාර්ශ්වයද වන අවස්ථාවකය. තමාට එරෙහිව නැඟී තිබෙන චෝදනාවන්ට එරෙහිව නැඟී සිටීම පවා වෙනුවට ඇය තෝරාගෙන තිබුණේ නිහඬවීම මෙන්ම උවමනාවටත් වඩා සන්සුන්ව සිටීමය. එහෙත් එය එසේ වූවද Ramaගේ සිතෙන් පැන නඟින සිතුවිලිවල වේගවත් බව චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට දැනෙන්නට ඉඩ සැලසේ.

චිත්‍රපටයේ මේ ආකාරයට නඩු විභාගය විසඳෙමින් පැවතිය ද අවසානයේ චිත්‍රපටයේ දර්ශනය වන්නේ වෙනම දර්ශන තලයක සිදුවන සිදුවීමකි. නඩු විභාගයේ තීරණය ලබාදීමට පෙර Rama යළි පැරීසියට පැමිණ තම මව සමඟ කාලය ගත කරන ආකාරයයි.
2013 දී සිදුවූ සත්‍ය සිදුවීමක් මත මෙම චිත්‍රපටය නිර්මාණය තිබේ. චිත්‍රපටයේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ද ප්‍රංශය චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන Alice Diop ය. ඇය මෙම චිත්‍රපටය වෙනුවෙන් 79 වන වැනි අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී Silver Lion Grand Jury ත්‍යාගය සහ Luigi De Laurentiis Lion of the Future සම්මානය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම 2023 වසරේදී Golden Globe's Breakthrough Aitist Awarads Breakthrough Director සම්මානය දිනා ගැනීමට සමත් විය. එහෙත් කවර හෝ හේතුවක් නිසා ඇයගේ මෙම චිත්‍රපටයට ඔස්කාර් උලෙළට ප්‍රවේශ වීමේ හැකියාවක් ලැබුණේ නැත.

රජිත බස්නායක