ජීවිතයේ ‘රළ බිඳෙන තැන’ කොතැනද?

පෙබරවාරි 24, 2025

වෘත්තීය ජීවිතයේදී මුණ ගැසෙන අපූරු මිනිසුන් අතර ඇතිකරගන්නා අන්‍යෝන්‍ය අවබෝධයන් පසුව දීර්ඝ කාලීන සබඳතා

බවට පත්වන අවස්ථා එමටය. ඇතැම්විට එම සබඳතා අවසානයේ ප්‍රේම සබඳතා බවට පත්වන අවස්ථාද එමටය. එසේ ගොඩනැඟෙන එම සබඳතාවලින් මිදිය නොහැකි වූ තැන කුටුම්බය ඇතුළත මතුවන ගැටලු අඹු සැමි ප්‍රේමයට හරස්වන අයුරුත් අප සාහිත්‍ය හා සිනමාව ඔස්සේ කොතෙකුත් කියවා ඇත්තෙමු.

එබඳු පුවතක් ඉතාමත් සංවේදී ලෙස අපේ ටෙලි නාට්‍යයකින් සාකච්ඡා කළ අවස්ථාවක් ලෙස සෙනේශ් දිසානායක බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රළ බිඳෙන තැන’ හඳුන්වා දිය හැකිය.

ආනන්ද අබේනායකගේ නිෂ්පාදනයක් ලෙස අරුණ ප්‍රේමරත්නගේ රූපවාහිනී තිර රචනයක් ඇසුරින් නිර්මාණය කෙරුණු ‘රළ බිඳෙන තැන’ ටෙලි වෘත්තාන්තයේ අසම්මත ප්‍රේමයකකට මැදිවන කාන්තාවකගේ භුමිකාව නිරූපණය කරන්නේ කාගේත් ජනාදරයට ලක්වූ චාන්දනී සෙනෙවිරත්නය. එය චාන්දනී සෙනෙවිරත්නගේ රංගන

ජීවිතයේ අද්විතීය අවස්ථාවක් ලෙස මම දකිමි.

 

දැන්වීම් ප්‍රචාරක ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂවරියක ( Creative Director) ලෙස සේවය කරන වැනෙසා (චාන්දනී සෙනෙවිරත්න ) නමැති මධ්‍යම පාන්තික ගැහැනියක සහ උපේන්ද්‍ර (මහේන්ද්‍ර පෙරේරා)

නමැති චිත්‍ර ශිල්පියකු අතර හටගන්නා එබඳු බැඳීමක් නිසා ඇගේ කුටුම්බය තුළ ඇතිවූ ගිනි පුපුරක් නිවා ගන්නට දරන වෙහෙස ‘රළ

බිඳෙන තැන’ තුළින් ඉතා හෘදයාංගමව විග්‍රහ වෙයි. පසුගිය සතියේ අප සාකච්ඡා කළ ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ නිලූපා

සහ ඇගේ සැමියා මුහුණ දුන් මානසික ගැටුමට වඩා ‘රළ බිඳෙන තැන’ ටෙලි වෘත්තාන්තය තුළ මේ ප්‍රශ්නය දිග හැරෙන ආකාරය වඩාත් සංකීර්ණය. සිය දැන්වීම් ආයතනයේ රාජකාරී කටයුත්තකදී හමු වූ උපේන්ද්‍ර නමැති චිත්‍ර ශිල්පියාගේ දැනුම හා නිර්මාණශීලි බව තුළින් ගොඩනඟාගත් පෞරුෂයට වැනෙසා සිතින් බැඳුනේ ඇයවත් නොදැනුවත්වය.

ක්‍රමිකව ඇතිවන  ඒ බැඳීම අවසානයේ ආදරයක් ප්‍රේමයක් දක්වා වර්ධනය වන ආකාරය ඉතා සූක්ෂමව ටෙලි

නාට්‍ය තුළ ගෙනහැර දක්වන්නේ ඒ දෙදෙනාගේ බැඳීම කෙරෙහි ප්‍රේක්ෂකයාට උපේක්ෂා සහගත ලෙස බැලීමට සලස්වමිනි.

මේ ටෙලි නාට්‍යයේ එන සුවිශේෂත්වය වන්නේ වැනෙසාගේ සහ උපේන්ද්‍ර මේ සබඳතාවය දුර දිග යෑම නිසා ඇගේ සැමියා, සුරාජ් මුහුණ දෙන මානසික ගැටුම කිසිම මොහොතක අවේගශීලි වචන වලින් ඇනුම්පදවලින් එකිනෙකා පීඩා කර නොගන්නා ලෙසට කළමනා කර ගැනීමට ඔහු දක්වන සමත්කමයි. එයම මෙබඳු

ප්‍රශ්නයක් බුද්ධිමත් ලෙස විසඳාගත හැකි ආකාරය තුළින් ඔවුන්ගේ පන්තිමය ස්වභාවය මැනැවින් පිළිබිඹු කරයි. කිසිම විටෙක තම

බිරියට නින්දා අපහාස නොකරන්නටත් ඇයගේන් ප්‍රශ්න නොකරන්නටත් වග බලා ගනිමින් දැඩි සංයමකින් සහ හික්මීමකින්

කටයුතු කරන සුරාජ් බැරිම තැන උපේන්ද්‍ර හමුවන්නට ඔහුගේ නි‍ෙවස වෙත යයි.

 

එහිදී උපේන්ද්‍ර විසින් වැනෙසාගේ

ආලේඛ්‍ය චිත්‍රයක් ( Portrait ) ඇඳ තිබෙනු ඔහු දකී. එහිදී උපේන්ද්‍ර සමඟ දබරයකට නොගොස් ඉතා බුද්ධිමත් ලෙස ප්‍රශ්නයේ බැරෑරුම් බව පෙන්වා දෙමින් ස්වකීය වචන ඔස්සේ සියුම් ලෙස ඔහුගේ පෞරුෂය බිඳ දමන සුරාජ් අවසානයේ මෙසේ කියා පිටත්ව යයි.

‘තමුසෙගෙ මේ බලි කුරුටු චිත්‍රය වගේ නෙවි වැනෙසා කියන්නේ මගේ ජීවිතය.’

සුරාජ් තම බිරිය කෙරෙහි දක්වන අසීමිත ප්‍රේමය සහ බැඳීම නිසාම ඇගේ ගෞරවයට හානියක් නොකරන ආකාරයෙන් හැසිරීම

වැනෙසාගේද ගෞරවයට හේතු වෙයි. එහෙත් ඇයට උපේන්ද්‍රගේ අපූර්ව පැවැත්ම සහ ඔහු තුළ සිටින සුන්දර නිර්මාණ ශිල්පියාගේ ඇසුරින් මිදීම පහසු නොවීය. සැබැවින්ම විශ්ව සාහිත්‍යයේ අපට

හමුවන ඇනා කැරනිනා, ලේඩි චැටර්ලි ආර්යාව, එමා බොවාරි වැනි කාන්තාවන් ප්‍රේමය හා විවාහය හමුවේ මුහුණදුන් මෙබඳු ඛෙදනීය තත්ත්වයන්ට විසඳුමක් තිබිණිද? මේ ටෙලි නිර්මාණය ඔස්සේද තහවුරු කෙරෙන්නේ මෙබඳු මිනිස් සබඳතාවල සදාතනීයබව හා ඒවා ජයගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය සහෘදයා තුළ

නඟමිනි. අසම්මත ප්‍රේමය හමුවේ වැනෙසා මුහුණ දෙන තත්ත්වය මෙන්ම, සුරාජ් ගොදුරුවන මානසික අර්බුදය මැද මෙතෙක් ඔවුන්ගේ නි‍ෙවස තුළ තිබූ සතුට , සාමුහිකත්වය බිඳෙයි.

 

මේ ප්‍රශ්නය

නිසා ඇගේ දියණියත්, පුතාත්, සැමියාත් නිහඬව ගොළුවත රකිමින් ගෙවන ජීවිතය ඔවුනොවුන්ට පීඩාකාරීය. වරෙක

දියණියත් මවත් නි‍ෙවසින් බැහැර ස්ථානයකදී හමුවී මේ සම්බන්ධයෙන් ඇතිවන කතාබහද ඒ දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කිරීමකි.

නොසිතූවිරූ ලෙසින් ශෝචනීය ලෙස මාරක රිය අනතුරකට මුහුණදෙන වැනෙසාගේ පුතා විසින් එතෙක් තම නි‍ෙවසේ සියලු

සාමාජිකයන්ගේ චර්යාවන් නිහඬව වීඩියෝගත කරන ලද රූප පෙළ ඔස්සේ වැනෙසාටත් සුරාජ්ටත් තම ජීවිත පිටුපස පැවැති අඳුර විනිවිද දකින්නට හැකි වෙයි. අධ්‍යක්ෂ සෙනේශ් දිසානායක ටෙලි වෘත්තාන්තය අවසන් කරන්නේ ප්‍රේමය, විවාහය, පුද්ගල නිදහස,

සම්මතය, සදාචාරය පිළිබඳ සුහද කතිකාවක්, සංවාදයක් ප්‍රේක්ෂකයා

තුළ ගොඩනඟමිනි. අධ්‍යක්ෂවරයාට සිය කාර්යය ජය ගන්නට හැකිවී ඇත්තේ ‘රළ බිදෙන තැන’ චරිත හා සිදුවීම් සියුම් ලෙස ගොඩනඟන්නට එහි තිරනාටක රචක අරුණ ප්‍රේමරත්න දැක්වූ සමත්කම මත බව නොකියා බැරිය.

මෙම වෘත්තාන්තයේ ආත්මයන් බඳු චරිත තුන වන වැනෙසා, උපේන්ද්‍ර හා සුරාජ් ලෙස පිළිවෙළින් චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, විශ්වජිත් ගුණසේකර ඉදිරිපත් කළ චරිත නිරූපණයන් මේ රටේ රංගන ශිල්පීන්ට රංග අභ්‍යාස මධ්‍යස්ථානයක් බඳුය. චරිත නිරූපණයේදී තාත්වික, වාචික හා

ආංගික අභිනයන් ඔස්සේ ඔවුන් පෑ පෙළහර එතරම්ම විශිෂ්ටය.

රූපවාහිනී ටෙලි නාට්‍ය ඔස්සේ බහුලව අපේ කාන්තාවට දකින්නට ලැබෙන, කෙස්වලු පටලවා ගනිමින් ගිරිය යටින් කෑගසමින් කෙරෙන භාවාතිශය අවස්ථාවන්ට වඩා රංගනය යනු කුමක්දැයි යන්න චාන්දනී, මහේන්ද්‍ර සහ විශ්වජිත් විසින් මනාව උගන්වනු ලැබ අැත.

 

රළ බිදෙන තැන ටෙලි නිර්මාණය ඔබට you Tube ඔස්සේ රස විඳිය හැකිය.