වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
හිතුවට වඩා සින්දුවට ලොකු ප්‍රතිචාර තියෙනවා
ඔබ ඇවිත් ගිය මඟක
පියවර ලකුණු නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි
කරුණු සොයනෙමි
එය වසන්තය නොවේ
එකමෙක මලක් බව දැනී
යළි මතක නැති නොවන ලෙස
මම සුවඳ විඳගමි...
මේ ගීතය ඇසෙන විට කාගෙ මනසෙත් මැවෙන්නේ මාලිනි ෆොන්සේකා සහ උද්දික ප්‍රේමරත්න අත්පටලා ගනිමින් රතු පටු ගුරු පාර දිගේ ඇවිදගෙන යන ඒ අපූරු රූප රාමු පෙළයි. මේ රූප රචනය ඒ තරමටම ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ නිදන්ගත කිරීමට හේතු වූණේ කුමක්ද? මේ නිර්මාණයේ හඬත්, සංගීතයත්, රූප රචනයත් එකිනෙකට නොදෙවැනි ලෙස ගැළපී තිබීම එයට හේතු විය. මේ අපූරු ගීතය ගයන්නේ වෛද්‍යවරියක්. එය ඇගේ කුලුඳුල් ගීතය වීම විශේෂයි. ගායිකාවක් තමන්ගේ පළමු ගීතයෙන්ම ප්‍රේක්ෂක හදවත් දිනාගන්නවා කියන්නෙම එය ලොකු ජයග්‍රහණයක්. ඇය චාපා ජයරුක්. අද ඈ තරුණී සමඟින් එකතු වන්නේ ඒ ගීත නිර්මාණයේ රස මුසු තැන් අප සමඟ බෙදා ගන්නටයි.
"මේක මගේ හීනයක්. මේ හීනය සැබෑ කරගන්න පාර කැපුවේ මගෙ සැමියා. මම මේ හීනය අත්හැරලා දාලා ඉද්දි එයා තමයි මාව නැවත උනන්දු කළේ මේ වැඩේට. ඔහු කසුන් විතාරණ. ඉතින් අද මාව හැමෝම දන්නේ ඔහු නිසා."
ඔබේ කුලුඳුල් ගීයට සෑහෙන ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා?
ප්‍රතිචාරනම් ගොඩක් ඉහළයි. අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් අපිට සමහර අයගේ ජීවිත කතා කියලා එවනවා. මේ වීඩියෝ එකේ වගේ ඇත්ත කතාත් ලෝකෙ තියෙනවා කියලා දැනගන්න ලැබුණා මේ ගීතය හරහා. මට පොඩි කාලේ ඉඳලම ගීතයක් කරන්න ලොකු ආසාවක් තිබුණා. රාගම වෛද්‍ය පීඨයට ගියාට පස්සේ ගොඩක් ලොකු කාර්යබහුල කාලයක් තමයි ගෙවුණේ. වෛද්‍ය වෘත්තියේ මුල් කාෙලත් ගොඩක් අමාරුයි. විවාහ ජීවිතය සහ දරුවන් එක්ක ගායනය කියන දේ මම අත්හැරලා දාපු හීනයක්. හැබැයි මගේ මේ ජීවිත කාලය තුළදී එක ගීතයක් හරි කරන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව ඉටු වුණේ මේ ගීතය හරහා.
මේ පද පෙළ හමුවන්නෙ හරි අහම්බයකින්?
ෆේස්බුක් එකේ ලස්සනට කවි ලියන මගේ යාළුවෝ ඉන්නවා. ඒ අයගේ කවි මම කියවනවා. හිමාලි වීරක්කොඩි කියන්නෙ වෛද්‍යවරියක්. ඇය සේවය කරන්නෙ කරාපිටිය රෝහලේ. ඇයගේ ෆේස්බුක් වෝල් එකේ ලස්සන කවියක් දාලා තිබුණා වෙරළක අඩි සටහන් තියෙන පින්තූරයක් එක්ක. ඒක දාලා තිබුණේ ගිය අවුරුදේ මාර්තු මාසේ. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා අක්කේ මට මේක ගීතයකට ගන්න අවසරද කියලා. එයා කිව්වෙ මේ ගීතය ගන්න.. වෙනස් කරන්න ඕනේ තැන් තියනවනම් වෙනස් කරලා හදා ගන්න කියලා.
අහම්බෙන් ලැබුණු පද පෙළ මේ විදිහේ විශිෂ්ට ගණයේ නිර්මාණයක් බවට පත් වුණේ කොහොමද?
මේ ගීතය පිටුපස ලොකු පිරිසක් ඉන්නවා. අපි ඇත්තටම යාළුවෝ කට්ටියක්. මේ යාළුවෝ පිරිස නිසයි නිර්මාණය මේ තරම් සාර්ථකව කර ගන්න ලැබුණේ.
ගීතයේ තනු නිර්මාණය භාරදුන්නේ දක්ෂතා පිරිච්ච මහේෂ් විතාන අයියා. ඔහු මගෙ සැමියගේ යාළුවෙක්. කොහොම හරි වොයිස් කරලා ඉවර කරන්න අවුරුද්දක් විතර ගියා. සින්දුව කළාට පස්සේ අපි ලිරික්ස් වීඩියෝ එකක් තමයි මුලින්ම එළියට දැම්මේ. ඒකට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාරත් එක්කයි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා අදහසක් ආවේ.
මෙහි රූප රාමු පෙළ ගැන කතා නොකරම බැහැ?
ප්‍රමෝද් රත්නායක කියලා කියන්නෙ විශ්වවිද්‍යාලයේ මගේ යාළුවෙක්. ඔහු දැන් කහටගස්දිගිලිය මූලික රෝහලේ වෛද්‍යවරයෙක්. ඒ වගේම කෙටි චිත්‍රපට කරන කෙනෙක්. ඉතින් ඔහුව මම මේ වැඩේට සම්බන්ධ කර ගත්තා. මේ වීඩියෝ එකේ පිටපත, අධ්‍යක්ෂණය සහ සංස්කරණය ඔහුගේ.
තිවංක තමයි මේකේ කැමරාකරණය කළේ. ශානක විරාජ් එයා මේක් අප් ආටිස්ට්. සහාය අධ්‍යක්ෂණය දුමින්ද්‍රා. ටානියා තමයි ඇඳුම් නිර්මාණය සඳහා දායක කර ගත්තේ.
කොහොමද ප්‍රධාන චරිත දෙක තෝරගත්තේ?
මේ ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන අපි කල්පනා කළේ මේකට ගන්න ප්‍රධාන මුහුණු දෙක කවුද කියලා. මුලින්ම අපි මේක පටන් ගත්තේ පොඩි වැඩක් විදිහට. මගේ මහත්තයා කිව්වා අපි මේ වැඩේ මාලිනි ෆොස්සේකා මැඩම්ට කියලා කළොත් මොකද කියලා. මේ වීඩියෝ එකේ හැරවුම් ලක්ෂ්‍යය එතැන.
මාලිනි ෆොන්සේකා මහත්මිය මේකට සම්බන්ධ වෙන්න ලොකුම හේතුවක් වුණා ප්‍රමෝද්ගේ ස්ක්‍රිප්ට් එක. ඒක හරිම ආකර්ෂණීය පිටපතක්. හැබැයි මේ හැමදේම හරියටම කරගන්න ප්‍රමෝද්ට උදව් කළේ පාලිත පෙරේරා මහත්මයා. මාලිනි ෆොන්සේකාව මේ වැඩේට සම්බන්ධ කරගැනීමෙන් මෙයට තියෙන වටිනාකම තවත් වැඩි වුණා.
ඊළඟ තිබුණ ලොකුම ප්රශ්නය වුණේ මාලිනි ෆොන්සේකාත් එක්ක ගැළපෙන පිරිමි චරිතයක් හොයා ගන්න එක. ඒකට ලොකු කාලයක් ගත වුණා. මාලිනි ෆොන්සේකා මහත්මියම යෝජනා කළා උද්දික ප්‍රේමරත්නත් ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි ඔහුව මේ වැඩේට සම්බන්ධ කර ගත්තේ.
මේ රූප රචනයේ වෙනස්ම කතාවක් තියෙනවා?
මම මුලින් වැඩ කළේ අඟුණකොළපැලැස්ස රෝහලේ. ප්‍රමෝද් හිටියේ කහටගස්දිගිලියේ. අපි දැකපු දෙයක් තිබ්බා. වයසක ආච්චිලා ක්ලිනික්වලට එන්නේ පුදුම ආසාවකින්. එයාලා විඳින දවස තමයි ඒක. අපි කියන වෙලාවටත් කලින් ඇවිල්ලා ඉන්නවා. එයාලා වෙනම යාළුවෝ හදාගෙන ඉන්නවා. ක්ලිනික් එක අතරතුරේදී කඩේකට ගිහින් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා පොඩි රවුමක් දාලා එනවා. නගරෙට වඩා ගමේදී ඒ වෙනස පේනවා. ප්‍රමෝද් මේ දේ හිතේ තියාගෙන හිතුවලු මම කවදා හරි මේ කොටස නිර්මාණයකට එකතු කර ගන්න ඕනේ කියලා. ඉතින් ඒ කොටසත් එයට එකතු කළා. මේක විරහවෙන් හිත හදාගන්න ඕනේ කියලා කියන ගීතයක්. මට ආදරය දිනාගන්න බැරි වුණාට මම වැටෙන්නේ නැහැ. මම ඒ මතකය තියාගෙන ඉස්සරහට යනවා කියලයි කියන්නේ.
ඔබ ගැන කතා කළොත් ඔබ සංගීතමය පසුබිමකින් පැවත එන කෙනෙක්.
මගෙ අම්මයි, තාත්තයි සංගීත ගුරුවරු. අම්මා
මියුරි විජේසේකර. තාත්තා සරත් ගාමිණි. මට නැළවිල්ලේ ඉඳන් ඇහුණේ හරිම රස සංගීතයක්. ඉතින් මමත් පුංචි කාලේ ඉඳන්ම සින්දු කිව්වා. ඒ කාලේ මගෙන් කවුරු හරි ඇහුවොත් මම ලොකු වෙලා කවුද වෙන්නේ කියලා මම කියලා තියෙන්නේ ඩොක්ටර් ගායිකාවක් කියලා. මම මුලින්ම පාසල් ගියේ හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ විශාකා විද්‍යාලයට ගියා. විශාකා විද්‍යාලයේදී දීපිකා ප්‍රියදර්ශනී මිස්ව මුණ ගැසීම මගේ ගායන හැකියාව වැඩිදියුණු වෙන්න හේතුවක් වුණා.
උසස්පෙළ කළේ විද්‍යා විෂයන්වලින්. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා රාගම වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. ඒ වගේම අද මම පුතුන් දෙදෙනකුගේ මවක්. ඒ හැමදේමත් එක්ක කලා කටයුතුවලටත් පුංචි ඉඩක් ලබා දෙනවා.