රස සෙ‍ෙනහස් රහස් පිරුණු රොෂාන්ගේ කැදැල්ල

දෙසැම්බර් 16, 2024

මම රොෂාන්ගෙ දුව - සිත්මි

 අපි හැමෝම යාළුවෝ -  රොෂාන්

ජීවිතේ වටිනම දේ සතුට  - තිළිණි

කෙටි දිගු නිස්කලංක ලදනි මාවත කියන්නේ අපි දෙන්නටම නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. ඉස්සර එක එක කතා අස්සෙ අපි කීප වතාවක්ම මේ පාරේ මේ විදිහට ඇවිදින් ගිහින් තියෙනවා. කාලය කොච්චර දුරට ඈතට ඉගිල්ලිලා ගියත් ඒ සුසිනිඳු තටු අතර අපේ මතක ගොඩක් තියෙනවා.

" අපි ඉක්මනට වයසට ගියා නේද ?"

අවුරුදු ගාණක් ගියත් අපේ කතාවල වෙනසක් තිබ්බෙ නෑ. දැන් අපේ ගමනාන්තයට ළඟයි.

" වයස කියන්නෙ එක ඉලක්කමක් විතරයි"

අනෙක් පැත්තෙන් නිහඬ බව බින්දෙ ඔහු.

කොහොමින් කොහොම හරි අපි අන්තිමට ආවේ හුරු පුරුදු ගමනාන්තයකට. හෞතික දේවල් හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා තිබ්බත් ඒ බැඳීම් එදා වගේමයි.

" කාලෙකින්

ඇතුළට ඇවිත්ම විස්තර කතා කරමු"

ඒ ආරාධනාව ඇගෙන්.

කාලය කොච්චරනම් ඈතට ලස්සනට ඉගිලිලා ගිහින්ද කිව්වොත් මම එදා ළඟින් ම ආශ්‍රය කළ මේ සුපෙම්වතුන් අද තුන්දරු මව්පියන්...

"කෙල්ලට දැන් විස්සක් මචං"

තාම ආගිය කතන්දර..

මේ කතා අස්සේ මට ආයෙ අතීත මතක අතර ඇහෙන්නෙ "ජූජනීයයි ආදරේ" ගීතය.

එදා එහෙම ගායන ලෝකයේ සුදීප්තිමත් තරුවක් වුණු ඔහු අදත් ඒ ළෙන්ගතුකමින්ම මගේ ඉස්සරහ.

ෆ්ලෑෂ් බෑක් රොෂාන්.... කියල ඉස්සර අපි කිව්වට දැන් මිනිස්සු කියන්නෙ රොෂාන්ගෙ ෆ්ලෑෂ් බෑක් එක කියල. ඒ තරමට ඒ ගමන සාර්ථකයි. ඒ ගමන විතරක් නෙවෙයි. පවුල, රසිකයෝ, මිත්‍රයෝ ඒ හැමදේම අතර ඔහු ඉන්නෙ ඉහළින්. ඒකට උපරිම ශක්තියක් දුන්නේ රොෂාන්ගේ ආදරණීය බිරිය තිළිණි.

දැන් තමයි අපේ කතාව පටන් ගන්නෙ.

දුව ලංකාවට ඇවිත් නිසා මේ ටිකේ පවුලේ ඔක්කොම එකට සතුටින් ඉන්නවා. එයා ඉගෙන ගන්නේ ඔස්ට්‍රේලියාවේ. දුව ඕලෙවල් කරල ඉවරවෙච්ච ගමන් හයි එඩියුකේෂන් වලට ඔස්ට්‍රේලියා ගියා. එයා පොඩි කාලේ ඉඳලම කැමති අධ්‍යාපන පැත්තට. එයා චූටි කාලේ ඉඳන් කිව්වේ ලෝකෙම දන්න බිස්නස්වුමන් කෙකෙන් වෙනවා කියල. එයා ඉතින් ඒ ගමන දැන් පටන් අරන් තියෙනවා.

දුව ගැන නොදන්න විස්තරේ එක්ක කතාව පටන් ගත්තේ තිළිණි.

 

දුව සිත්මි වගේ නෙවෙයි පුතාල දෙන්නා. දැන් ලොක්කට අවුරුදු දාහතයි. එයා ඕලෙවල් කරනවා. පොඩ්ඩිට දාහතරයි. එයත් ඉගෙන ගන්නවා. ලොක්කා මියුසික් පැත්තට පොඩ්ඩක් බරයි. ඒත් එයාලට හොඳට ඉගෙනගෙන ෆීල්ඩ් එක තේරුම් අරන් ගමන පටන් ගන්න කියල තමයි රොෂාන් කියන්නෙ.

කැදැල්ල පුරා පිරි සිනහ වැස්සකි. ඒ සිනා අතර මම රොෂාන් සමඟ දියණිය ගැන කෙටි ගැඹුරු කතාව අරඹමි.

“කවදාවත් දුව ෆීල්ඩ් එකට ගන්න හිතුවෙ නැද්ද රොෂාන්.” පැනය මගෙනි.

 

" කවදාවත් කාවවත් කිසිම ෆීල්ඩ් එකකට ගන්න බැහැ. තමන්ගේ කැමැත්ත අනුව තමයි අපේ ගමන තීරණය වෙන්නෙ, ඩ්‍රයිව් කරන්න අකමැති කෙනෙකුට වාහනයක් දුන්නම මොකද වෙන්නෙ අන්න ඒ වගේ. මම ඒ කතාව එහෙම කිව්වෙ අද අපේ සමාජේ මෙහෙම දේවල් දකින්න ලැබෙන නිසා.

 

දුව ගැන කතා කළොත් එයා පොඩි කාලේ ඉඳලම මියුසික්වලට දක්ෂයි. මොකද එයා බඩේ ඉන්න කාලේ ඉඳල ඇහුවෙ මියුසික්. ඒත් එයා හරිම තැනට ආවම තමයි මගෙන් චාන්ස් හම්බෙන්නෙ. එයා දක්ෂයි. ඒත් අති දක්ෂ වුණාම එයා ගමන පටන් ගනී. එයා සින්දුවක් කරල තියෙන්නෙ. මගේ සංගීත දැනුම අනුව ඒක ලස්සනයි. එයාට රසික පිරිසකුත් ඉන්නවා. මම හිතනවා එයා එයාගෙ ගමන මේ හැමදේම අතරෙ ශක්තිමත් කරගනී.

අපගේ කතාබහ අතරට සිත්මි පැමිණෙන්නේ සිනහ පුරවා ගනිමිනි.

තාත්තා කියන කතාවට මම එකඟයි. අපි යාළුවො නිසා හැමදේම කතා කරනවා. තාත්තගෙන් මම ඉගෙනගත්ත දේවල් ලෝකයේ කොහේ ගියත් හැම වෙලාවෙම මට වටිනවා. තාත්ත හැම වෙලාවෙම හැමදේම ගැන පුදුමතරම් සුබවාදීව දකින කෙනෙක්. එයා හැමදේම පිළිගන්නේ ජීවිතයට ලැබෙන හොඳ දේවල් විදියට.ඒ වගේම තාත්තගෙ ලීඩර්ෂිප් එක මාරයි. එයාගෙන් මම ජීවිතේට ගත්ත ලොකුම දේ තමයි හැමෝම ගැන එක සමානව හිතන එක. ඒ වගේම එයා රසිකයන්ට තියෙන ගෞරවාන්විත ආදරය හරිම පුදුමයි. ඒක නිසාම රොෂාන් ප්‍රනාන්දුගේ දුව කියල ලෝකේ ඕනෙ තැනක මට කියන්න පුළුවන්. තාත්තා මියුසික් ෆීල්ඩ් එකේ ආදරණීය චරිතයක්. ඒ ආදරය සෑම වෙලාවකම මිනිස්සුන්ගෙන් වගේම විශ්වයෙනුත් අපි හැමෝටම නො අඩුව ලැබෙනවා.

මම යන මාවත තීරණය කළේ මමයි. ඒ කිසිම දේකට තාත්තා සහ අම්මා මට විරුද්ධ වුණේ නෑ. එයාල හැම වෙලාවෙම මගේ ගමන යන්න මට පුදුම තරම් හයියක් වුණා.

 

කොහොමත් අම්මා තමයි පොඩිකාලෙ ඉඳන් අපේ පස්සෙන් හිටියේ. තාත්තා එයාගේ කටයුතුවලට බිසී වුණා. අපේ පස්සෙන් හිටිය අම්මම තමයි තාත්තගේ පස්සෙනුත් හිටියේ. ඉතින් හැම වෙලාවෙම අපි ගෙදරදී දැක්කේ සතුටින් දවසින් දවස ඉස්සරහටම යන අම්මයි තාත්තයි.දරුවන්ට ජීවිතේ ලොකුම පාඩම ලැබෙන්නෙ ගෙදරින්. මටයි මල්ලිල දෙන්නටයි ඒ ආදර්ශ උපරිම ආදරෙන් ලැබෙනවා.

 

දියණියගේ කතාබහ මැදට එක්වන්නේ තිළිණිය. ඇය සැබෑවටම ආදරණීය ආදර්ශවත් අම්මා කෙනකු බව මේ කතා බහ නිදසුන් දසුන් දෙයි.

" දරුවන්ට අපි හරි පාර පෙන්නන්න ඕ‍ෙන හරිම ආදරෙන්. එතකොට තමයි දරුවො ඒ පාරේ හරියට ගමන් කරන්නෙ. මමයි රොෂානුයි දරුවන්ට කවදාවත් නීති දාන්නෙ නැහැ. බනින වෙලාවල් තියෙනවා ඕනෙ තරම්. ඒත් ඒවා හරිම ආදරණීයයි. අපේ ජීවිතවල තියෙන්නෙ සතුට විතරමයි. ඒ නිසා අපේ ජීවිත ගොඩක් සැහැල්ලුයි. ඒ සැහැල්ලුව තමයි මිනිස්සුන්ට අලුත් නිර්මාණවලට සංකල්ප ගේන්නෙ.මම හිතනවා අම්මට තමයි මුළු පවුලක වගකීම තියෙන්නෙ. අම්මා ඒ භූමිකාව හරියටම කළොත් පවුලටම දියුණු වෙන්න පුළුවන්.

 

මේ කතා කරන අම්මා ඒ භූමිකාව නිවැරැදිවම ඉටු කළ බවට මේ පවුල අපට නිදසුන් දේ. රොෂාන් ප්‍රනාන්දු නම් සදාකාලික තරුණයා සෑමවිටම ගැටෙන්නේ නව සමාජය සමඟය. මේ කතාව ඒ ගැනය.

" මෙ‍ෙහමයි මම නිතරම අප්ඩේට් වෙන්න ඕන. නැත්නම් ලෝකයේ අපට පැවැත්මක් නෑ. ඉස්සර ජෙනරේෂන් එක අහපු සින්දු නෙවේ දැන් අහන්නේ. එහෙමයි කියල හරසුන් නිර්මාණ කරන එක නෙවේ පිළිතුර හොඳම දේ ජෙනරේෂන් එකට ගැළපෙන හොඳ ඉන්ටර්නැෂනල් මාර්කට් එක එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නිර්මාණ කරන එක.

 

ඒකට අපි යං බ්ලඩ් එක්ක හොඳ අවබෝධාත්මක ගනුදෙනුවක් තියෙන්න ඕ‍ෙන. ඒ ගනුදෙනුව මට ගෙදරම තියෙනවා. දුව තමයි ගොඩක් වෙලාවට මගේ ෆැෂන් තීරණය කරන්නෙ. එයා මගේ ගොඩක් දේවල්වලට ඒ පැත්තේ සපෝර්ට් එක උපරිමයෙන් ලබාදෙනවා. දුවෙකුයි තාත්තයි හොඳම යාළුවො වුණාම ජීවිත සාර්ථක කර ගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්.

 

පුතාල දෙන්න සංගීතය පැත්තෙන් ඉස්සරහට යයි කියල මම හිතනවා. එයාල ඒ ගමන හරියට යනවනම් විතරක් වගකීම් පවරනවා. ඒ හැමදේටම කලින් එයාල හොඳට ඉගෙන ගන්න ඕ‍ෙන. ඉගෙනගන්නව කියල මම කියන්නේ පොතපත විතරක් නෙවේ සමස්ත සමාජයම. ඒ ඇසුරේ හැදිල වැඩිලා අපේ දරුවෝ තමන්ගේ ගමන යනකොට තිළිණිටයි මටයි ආසාවෙන් බලන් ඉන්න පුළුවන්.

 

රොෂාන් කොහොමද සංගීත කටයුතු...

හැමදාම මම නිර්මාණ කළේ මගේ රසිකයන් වෙනුවෙන්. ඒක අදත් හෙටත් අනිද්දාත් එහෙමයි. මගේ අලුත් ගීතය නර්තනී දැන් අහන්න පුළුවන්. ඒ වගේම බෑන්ඩ් එකේ වැඩත් කරගෙන යනවා. පවුල, රසිකයෝ, සංගීතය මේ හැමදේම ඉතාම සතුටින් දරාගෙන කරගෙන යනවා. මම ඕනෙම දෙයක් භාර ගන්නෙ යහපතක් විදිහට.

ඒක නිසා හැමදේම මේ මහ පොළවට ඕ‍ෙන විදියට සිදු වෙනවා කියල මම හිතනවා. ඒ සිතිවිල්ල නිසාම හැමදේම හොඳින් සිදු වෙනවා. හැමවෙලාවෙම අප්ඩේට් නිර්මාණ කරන්න තමයි මම කැමති.

අපට නොදැනී කාලය ගතවී ඇත වසර ගණනකට ඉහත රොෂාන්ගෙන් ඇසූ ඇතැම් පැන දැන් මා අසන්නේ දියණී සිත්මිගෙනි. නවතාලිය නොහැකි කාලය යළිත් අපට සමුගැනීමට ඉඩ සලසා ඇති සැටියකි. ගෙවීමට නියමිත අනාගතය ගැන කතා කරමින් අප සමුගත යුතුය.අවසානයේ කතාව නිම කරන්ට මම තිළිණිට ආරාධනා කරමි.

 

අපේ ජීවිත සරල නිසා ගොඩක් බලාපොරොත්තු නැහැ. ඒත් සැලසුම් තියෙනවා. දුවට ඩිග්‍ර්‍රි එක කරන්න තමයි පුංචි කාලේ ඉඳල ආසාව තිබ්බේ. ඒ පාරේ එයා යනවා. රොෂාන් බෑන්ඩ් එක හොඳට කරන් යනවා. මම ඒ හැමදේටම උදව් කරමින් ශක්තියක් වෙනවා. පුතාල දෙන්නගේ අධ්‍යාපන කටයුතු පැත්ත බලනවා. මේ හැමදේම හරියන්න නම් අපි කරන දේ හරියට අවංකව කරන්න ඕ‍ෙන. අන්න එතකොට තමන්ගේ සුබ සිතිවිලි සාර්ථක වෙනවාමයි.

 

එය සැබෑය. කරන දේ හරියට කළහොත් අපගේ සාර්ථකත්වය අපේම අත ළඟ බව ෆ්ලෑෂ් බෑක් උදාහරණ සහිතව ඔප්පු කොට හමාරය. මේ සටහන රොෂාන් තමාගේ තාත්තා ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතාගේ උපන් දිනය දා තැභූ ෆේස්බුක් සටහනින් නිමා කරනු කැමැත්තෙමි. ඒ එහි බොහෝ දේ ගැබ්ව ඇති බැව්නි.

 

" උඹලව බලන්න එන මිනිස්සුන්ට උඹලා සාධාරණයක් කරපල්ලා එතකොට මිනිස්සු උඹලව බලා ගනියි” ඔයා කිව්වේ එහෙමයි! ජීවිතේත් දීලා හොඳ තැනකුත් හදලා දුන්නට ඔයාට බොහොම ස්තුතියි. හැම තාත්තා කෙනෙක්ගෙම බලාපොරොත්තුව එහෙම වෙන්න ඇති. ඔයාට සුබ උපන්දිනයක්!!

 

ඡායාරූප - ශාන් රූපස්සර

 දෙනෙත් ප්‍රනාන්දු