වර්ෂ 2024 ක්වූ December 30 වැනිදා Monday
කුවේණිය පිළිබඳ තිබූ සිහිනයයි මේ සැබෑවන්නේ
නර්තනයේ විවිධ ඉසව් සොයා යෑමේ පිපාසයක නිරත වූ ඔහු අද වනවිට එහි උච්චතම ස්ථානයේ බැබළේ. ශ්‍රී ලාංකේය නර්තන කලාව මෙරට පමණක් නොව ජාත්‍යන්තරය කරා ගෙනගිය ඔහු කා සමඟත් ළෙන්ගතු ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහයි.
චන්දන වික්‍රමසිංහයන් මේ දිනවල යුහුසුළුවන්නේ තම නවතම නිර්මාණ කාර්යය වන The Noir Queen Kuweni හෙවත් “කුවේණී දිවි යකින්න” මුද්‍රා නාට්‍යය වෙනුවෙනි. තම පන්හිඳෙන් ලියා, එකට ඈඳා තම සිත තුළින් ආ නැවුම් සිතුවිලි ඊට එක්කොට නර්තන අධ්‍යක්ෂණය කරන්නට හෙතෙම දැඩි වෙහෙසක් දැරීය.
එය මල්පල ගැන්වෙන දිනය අත ළඟය.
කුවේණිය පිළිබඳ ඔබ තුළ තිබූ සිහිනය ද මේ සැබෑ වන්නේ?
ඇත්තටම ඔව්. මීට පෙර කුවේණිය ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් විවිධ නිර්මාණයන්, විවිධ මානයන් ඔස්සේ ගොඩනඟා තිබෙනවා.
Story Of Seetha ජාත්‍යන්තරයට රැගෙන යන්නට මට පුළුවන් වුණා. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර අතිවිශාලයි. ඒ ලැබුණු ප්‍රතිචාරත් එක්ක මට හිතුණා, අපේම කතාවක් ජාත්‍යන්තරයට ගෙනියන්න. අපේ පවතින සාම්ප්‍රදායික නර්තන කලාව අපට හිමිවන්නේ කුවේණියට මුහුණපාන්නට වුණු සිදුවීම්වල අතුරු ප්‍රතිඵලයක් ලෙසටයි.
සාමාන්‍ය කතාවක් කරනවට වඩා Theatre Art එකක් ලෙස ගෙන එන්නයි මට ඕන වුණේ. මේ තිර පිටපත ලියවුණේ කොවිඩ් කාලයටත් කලින්. තිර පිටපත ලියවෙන කාලයේ Story Of Seetha ජාත්‍යන්තරයට ගෙන යමින් තිබුණු වකවානුව. කුවේණියගේ චරිතය හරහා අප කියවන්නේ කුවේණියගේ සිතයි. හැමදාම අපි දුටුවේ කපු කටිමින් සිටින කුවේණියක්. ඉන් ඔබ්බට ගිය වෙනත් කියවීමක් තිබෙනවා. මෙම මුද්‍රා නාට්‍යය ඔස්සේ කොටස් අටකින් යුතුව අප කියවන්නේ කුවේණියගේ සිතයි.
නර්තන ශිල්පියකුට තම චරිතයට ආරූඪ වී එම චරිතයට සාධාරණයක් ඉටු කළ හැකියි. එහෙත් අපට නොපෙනෙන සිතක්, මනෝකායක් ආරූඪ කරගන්නේ කෙසේ ද? ප්‍රවීණ ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේ ගුරුහරුකම් ලබා තිබීම නිසා එහි අස්වැන්න නෙළා ගන්නට අපට හැකිවුණි.
ජාත්‍යන්තරයට ගොස් ලැබූ අත්දැකීම් සමඟින් අප රටේ මොනතරම් සම්පත් සිටීදැයි අපිට වැටහුණා.
මේ නිර්මාණය සඳහා ඔබ ඔබේ ගුරුවරුන් වූ ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් දෙදෙනෙක් එකතු කරගන්නවා. අතිසාර්ථක ගුරුවරයකු අතින් එම ගුරුවරයා පසුකර ඉදිරියටම යන ගෝලයන් බිහිකළ යුතුයි. ඔබ ඒ බව මෙම නිර්මාණය ඔස්සේ පසක් කර දෙනවා.
පඬුවස්දෙව් රජ ලෙස රඟපාන්නේ ආචාර්ය රවි බන්දු විද්‍යාපති. මලය රජ ලෙස රඟපාන්නේ මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්. ඔවුන්ගේ අද්විතීය රංගනයන් සහ නර්තනයන් මම අත්විඳින්නේ ගෝලයකු ලෙස කටයුතු කරන කාලයේ පටන්.
රඟපෑම සහ නර්තනය යන අංශයන් දෙකම ගැන හිතලයි මං මේ ආචාර්යවරුන් දෙපළ මගේ නිර්මාණයට එකතු කරගන්නේ.
කුවේණිය ලෙස රඟන්නට සම්මානනීය රංගන ශිල්පිනී නිරන්ජනී ශන්මුගරාජාව තෝරා ගන්නට විශේෂ හේතුවක් තියෙනවද?
කුවේණිට තියෙන්න ඕන හොඳ හයියක්. මෙම මුද්‍රා නාට්‍යයේ විනාඩි පහක් හයක් තුළ මෙම කාන්තාවගෙන් කරුණා රසය, ශෘංගාර රසය ඇතුළු නව රස වෑහිය යුතුයි. තිර පිටපත ලියද්දිත් මම ඈව ගෙන්වාගෙන වැඩමුළු පැවැත්වුවා. මේ සඳහා ගැළපෙනම කෙනා ඈ බව මම අවබෝධ කරගත්තා.
මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කිරීම තරමක අභියෝගයක්, මේ දිනවල ඔබ එම අභියෝගය ජයගැනීමේ මාවතේ ගමන් කරනවා. ඒ ගැනත් යමක් කිව්වොත්
ඇතැම් චරිත වේදිකාව තුළ රඟපාන්නේ නෑ. ඒවා තාක්ෂණය ඔස්සේ මවා දක්වනවා. ලෙහෙසි පහසු නැහැ. නර්තන ශිල්පීන් සියයකට අධික ප්‍රමාණයක් රඟ දක්වනවා. තාක්ෂණික ශිල්පීන් සමඟින් දෙසීයකට අධික ප්‍රමාණයක් මේ සඳහා දායක වෙනවා. මෙහි විජය කුමාරයා මෙන්ම විජය රජ්ජුරුවොත් ඉන්නවා. මගේ නර්තන ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් ඇති කරන්නට රංජිත් ප්‍රියංග සහෝදරයා සමත් වෙනවා. මුද්‍රා නාට්‍ය සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් ඇති ඔහුත් කුවේණි සමඟින් කිත්සිරි රජ ලෙස එක්වෙනවා.
මගේ නර්තන කණ්ඩායම හැම විටම හොඳ පුහුණුවක නියැළෙන අය. ඔවුන්ගේ දායකත්වය අතිමහත්.
මෙහි සංගීත අධ්‍යක්ෂණය පේශල මනෝජ්ගෙන්. නර්තනය ඔහුගේ සංගීතය හා එක්වීමෙන් මෙම මුද්‍රා නාට්‍යයට ගෙන එන්නේ අමුතුම කලඑළියක්.
භද්දකච්චායනා කුමරිය ඔබේ සුරූපී දියණිය දෙවංගී. ඇයගේ දායකත්වය කෙසේද?
විජය කුමාරයා දරු දෙදෙනාත් සමඟින් කුවේණිය එළියට ඇද දැමූ පසු ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්වා ගන්නවා. ඒ තමයි භද්දකච්චායනා. මහාවංශයට අනුව අපි පැවත එන්නේ භද්දකච්චායනා සහ විජයගෙන්. වැදි පරපුර පැවත එන්නේ කුවේණියගේ දරුවන්ගෙන්.
මෙහි භද්දකච්චායනාගේ චරිතය රඟපාන්නේ දෙවංගී. ඇය සමඟින් නර්තන ශිල්පිනියන් 47ක් නර්තනයේ යෙදෙනවා. දෙවංගි මගේ නර්තන කණ්ඩායමේ මෙතෙක් නර්තනයේ යෙදිලා නැහැ. මෙවර ඇයගේ ඉදිරිපත් කිරීම් දැක බලාගන්න පුළුවන්.
මෙම මුද්‍රා නාට්‍යයේ අන්තර්ගතය වන්නේ විජය රජු කුවේණිය සහ දරු දෙදෙනාට ද්‍රෝහී වී ඉන්දියානු කුමරියක හා විවාහ වීමෙන් පසු කුවේණිය තුළ ඇති වූ වියෝගය, වේදනාව සහ අතිශය කෝපය හේතුවෙන් විජය සහ ඔහුගේ පරපුරට කළ ශාපය. වෙනස්ම විදිහේ කතන්දරයක් වේදිකාව තුළ දිගහැරේවි. එය ඔබට නැවුම් අත්දැකීමක් එක් කරනවා නොඅනුමානයි.