වර්ෂ 2025 ක්වූ February 10 වැනිදා Monday
අපේ සිනමාවේ ස්වර්ණාලංකාරය ස්වර්ණා

ස්වර්ණා මල්ලවාරච්චි, දශක හයක් ඉක්මවූ ස්වකීය රංග භාවිතාව තවදුරටත් අතික්‍රමණය කරමින් රාණි සරවනමුත්තු ලෙසින් අශෝක හදගමගේ ‘රාණි’ චිත්‍රපටය තුළින් යළි ප්‍රේක්ෂකයා හමුවට පැමිණ සිටින්නීය.
සිරි ගුණසිංහගේ ‘සත්සමුදුර’ (1967) සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ (1969) මහගම සේකරගේ ‘තුංමංහංදිය’ (1970) රංජිත් ලාල්ගේ ‘නිම්වළල්ල’ (1970) ධර්මසේන පතිරාජගේ ‘ අහස් ගව්ව’ චිත්‍රපට ඔස්සේ සිනමා රංගනයට පිවිසි ස්වර්ණා මල්ලවාරච්චි ඉනික්බිතිව ‘හංස විලක්’ හි මිරැන්ඩා ,’ සුද්දීලාගේ කතාවේ’ සුද්දී, ‘සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා’හි හින් කෙලී, ‘දඩයමේ’ රත්මලී, ‘අනන්ත රාත්‍රියේ’ පියුමී, අයෝමා’ හි අයෝමා, ‘බවදුක සහ බව කර්ම’ හි නෝනා හාමි ලෙසින් එකිනෙකට ප්‍රතිවිරෝධී චරිතවල ඇතුළාන්තයන් විදාරණය කරමින් කළ රංගනය සැබැවින්ම ප්‍රාතිහාර්යයකි. ස්වර්ණාගේ සමස්ථ රංග කාර්යය මෙතරම් සුවිශේෂී ලෙස ෙප්‍ර්ක්ෂකයා ග්‍රහණය කරගන්නට සමත් වූයේ කෙසේද?
ස්වර්ණා සතු අපූරු මුහුණත්, දෙතොලත් , සරාගී තියුණු දෑසත් සියුම් භාව ප්‍රකාශනයෙහි ලා උල්පත බඳුය. ඇගේ මුහුණෙහි හා දෑසෙහි පමණක් නොව කට හඬෙහිද සුවිශේෂි බවක් ඇත. . ඇය කොක් හඬලා නඟන සිනහවක, කතා බහක ඒ හඩේ ගැඹුරක් පමණක් නොව අතිශය හැඟුම්බර ස්වරූපයක්ද මතු වෙයි. එබදු කටහඬක් ලාංකේය සිනමාවේ රංග ශිල්පිනියක වෙතින් ඇසිය නොහැකිය. ස්වර්ණාගේ එකී කටහඬ රූපණ කාර්යයෙහිම ප්‍රබල සාධකයක් ලෙස පළමු වරට යොදා ගත්තේ ධර්මසිරි බණ්ඩාරනායක ‘හංස විලක්’ චිත්‍රපටයෙනි. එහිදී ස්වර්ණා කොක් හඬ ලා නගන සිනහ හඬ ධර්මසිරි තම චිත්‍රපටයේ ප්‍රබල අවස්ථා කිහිපයකදී රූපමය භාෂාව අර්ථවත් කර ගැනීම සඳහා සාර්ථක ලෙස යොදා ගත් අාකාරය දැකිය හැකිය.
නළුවකුගේ හෝ නිළියකගේ රංග ලීලාවන්හි වෙනස්කම් ඇති කරනුයේ එක් එක් සිනමාවේදීන් විසින් ගොඩනංවනු ලබන මිනිස් චරිතවල විවිධ ස්වභාවයන් අනුවය. හැටේ දශකයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් , ඇතුළු සිනමාවේදීන් මිනිස් ජීවිතය විනිවිද දුටු අාකාරයට වඩා වෙනස් දෘෂ්ටි කෝණයකින් හැත්තෑව දශකයේ ආචාර්ය ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ඇතුළු සිනමාවේදීන් දකින්නට වූහ. අසූව දශකයේදී ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම සිල්වා වැනි සිනමාවේදීහු ස්වකීය සිනමාපට තුළින් තවත් ආකාරයකින් මනුෂ්‍ය ජීවිතය විනිවිද දකින්නට උත්සාහ දැරූහ.
ඒ අනුව වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’ තුළ රත්මලී ලෙස ස්වර්ණා කළ රංගනය එතෙක් ස්ත්‍රිය සම්බන්ධයෙන් ලාංකේය සිනමා තුළ පැවැති ෆැන්ටසිය අභියෝගයට ලක් කිරීමක් විය. අනතුරුව වසන්තගේම ‘කැඩපතක ඡායා හි නන්දා ලෙස ස්වර්ණා ඉදිරිපත් කළ රංගනයෙන් ඒ ෆැන්ටසිය මුළුමනින්ම සුනු විසුනු කර දැමුනේය.
අනූව දශකයේදී සිනමාව ආක්‍රමණය කරන ප්‍රසන්න විතානගේ , අශෝක හඳගම , විමුක්ති ජයසුන්දර ඇතුළු සිනමාවේදීහු වෙනස්ම දෘෂ්ටී කෝණයකින් ජීවිතය හා මිනිස් ක්‍රියාකාරකම් දකින්නට උත්සාහ කළහ. එකම මිනිස් ජීවිතය දෙස ඔවුන් මෙසේ එක් එක් ආකාරවලින් බලන්නට පෙළඹුණේ ඒ ඒ යුගවල මිනිස් ජීවිත පාලනය කළ
සමාජ ආර්ථීක - දේශපාලන හා සංස්කෘතික බලවේගවල ස්වභාවයන් අනුවය. එහෙයින් ඔවුන්ගේ සිනමා කෘතිවල හැටේ , හැත්තෑවේ, අසූවේ දශකවල අපට මුණ ගැසුණු චරිතවලට වඩා සංකීර්ණ විය. එකී චරිත ඇසුරින් නිර්මාණය කළ සිනමා කෘති අතින් ද වෙනස් මගක් ගත්තේය. එකී සංකීර්ණභාවයට අනුරූපව නළු නිළියන්ගේ රංග ශෛලිය තුළද සියුම් වෙනස්කම් ඇති කරගත යුතු විය. එය නළුවකුට හෝ නිළියකට කෙරෙන අභියෝගයකි. එම අභියෝගය ජය ගත නොහැකි වූයේ නම් නළුවකුට හෝ නිළියකට සිදුවන්නේ සිය අවවර්ධීත රංග ශෛලීන් සමඟ ඉතිහාසය තුළ කොටු වීම පමණකි.
එහෙත් ස්වර්ණා මල්ලවාරච්චි වෙනස්වූ සමාජ බලවේගවලට අනුව වෙනස්වූ මිනිස් ජීවිතවල අභ්‍යන්තර සහ බාහිර හැඩයන්ද මනාව ග්‍රහණය කර ගත් ආකාරය ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘සුද්දිලාගේ කතාව’ ‘බව දුක’ සහ බව කර්ම’ ප්‍රසන්න විතානගේ ගේ ‘අනන්ත රාත්‍රිය’ සහ අශෝක හඳගමගේ ‘චන්ද කින්නරී ‘ චිත්‍රපට තුළ ඇය ගේ චරිත නිරූපණයන් සාක්ෂි දරයි.
අශෝක හඳගමගේම නවතම නිර්මාණය වන ‘රාණි චිත්‍රපටයේ වෛද්‍ය රාණි සරවනමුත්තු ලෙස ස්වර්ණා ඉදිරිපත් කරන රංගනය ඇගේ රංග භාවිතාවේ ඉහළම වර්ධනයක් ලෙස සනිටුහන් කරවයි. දරුවකුට වඩා සමීපතම මිතුරකු ලෙසින් ජීවත්වූ තම එකම පුතා මැර හමුදාවක් විසින් පැහැර ගෙන ගොස් මරා දැමු ආකාරය යළි යළි ආවර්ජනය කරමින් රාණි සරවනමුත්තු වෛද්‍යවරිය විඳවන ආකාරයත් , ඒ විඳවීම තුළින්ම ඇය ලබන පන්නරය ඒ යුගයේ අතුරුදන් කළ දරුවන්ගේ මවුවරුන්ගේ සටනට පණ පොවන්නට ඉවහල් වූ ආකාරයත්, එයම එවකට බලලෝභී දේශපාලකයන් සිය මැතිවරණ සටන් ජය ගැනීම සදහා භාවිත කළ ආකාරයත්, රාණි චිත්‍රපටය තුළ මනාව සාකච්ඡා වන අතර ස්වර්ණා ස්වකීය රංගනය තුළ රාණි සරවනමුත්තු නමැති ගැහැනියගේ ඇතුළාන්තය මනාව විදාරණය කරන්නටත් සමත් වී ඇත. එම චිත්‍රපටයේ රාණිගේ චරිත නිරූපණය, තමා ‘දඩයම’ චිත්‍රපටයේ රත්මලී ලෙස නිරූපණය කළ චරිතයටත් වඩා ඉදිරියෙන් සිටින බව ස්වර්ණා බව පවසයි. එය විවාදාත්මක ප්‍රකාශයක් වන අතර එහි සත්‍ය අසත්‍යතාව තේරුම් ගන්නට දැන් ෙප්‍ර්ක්ෂකයාට අවස්ථාව ලැබී තිබේ.