සිත් පුබුදන-සිරිය ගෙනෙන ටිලන්ඩ්සියා‍‍

අප්‍රේල් 3, 2023

නෙත් සිත් පුබුදු කරවන සොඳුරු මල් යායක හිමිකාරිනියක වෙන්න කවුද අකැමැති. කොයිතරම් කාර්යබහුල රැකියාවක නියුතු කාන්තාවක වුවද සුන්දර ශාකයක් දෙකක් හෝ වවා තම ගෙවත්ත හැඩවැඩ කරන්නට අමතක නොකරන්නීය.

එවන් කාන්තා ඔබ වෙනුවෙන් පිරිනමන මේ මල් ලෝකයෙන් අද රැගෙන එන්නේ තවත් අපූරු ශාකයකි ටිලන්ඩ්සියා (Tillandsia Air plant).

වර්තමානයේ ජනප්‍රිය උද්‍යාන අලංකරණ ශාක අතර ටිලන්ඩ්සියා සඳහා කදිම ඉල්ලුමක් පවතී. එමෙන්ම වෙළෙඳපොළ තරමක් මිලාධික මේ ශාකය වගා කිරීම සඳහා විශාල ඉඩක් ද අවශ්‍ය නොවේ. කුඩා ප්‍රමාණයේ හුරුබුහුටි ශාකයක් වීමත්, වඩාත් නිර්මාණශීලීව වගා කරගත හැකි වීමත් මෙහි විශේෂත්වයයි. ගෙවත්තේ සුන්දරත්වය වැඩි දියුණු කරන්නට වගාකරන විවිධ වර්ගයේ විචිත්‍ර ශාක මෙන් නොව මේ ටිලන්ඩ්සියා සඳහා එතරම් සාත්තුවක් අවශ්‍ය නොවේ. එම නිසා කාර්ය බහුල කාන්තාවකට වුවද ඉතාමත් පහසුවෙන් මේ ශාකය සිටුවා රැකබලා ගත හැකි වේ.

 

වගා කිරීම

වෙනත් ශාක වගා කිරීමේ දී ස්ථිර භූමියක් හෝ බඳුනක් අවශ්‍ය වුවද ටිලන්ඩ්සියා සඳහා එලෙස වගා මාධ්‍යයක් අත්‍යාවශ්‍ය නොවේ. අඟල් 2X2 ගැල්වනයිස් දැල් කැබැල්ලක් ගෙන එම දැලෙහි මෙම ශාක රඳවා එල්ලා තැබිය හැකියි. එමෙන්ම රිජිෆෝම්වල සිමෙන්ති තවරා ඒවායේ මෙන්ම දිරාගිය කොවුල සහිත කොට කැබැල්ලක ද නිර්මාණශීලීව මෙම ශාකය රඳවා එල්ලා තැබිය හැකියි.

සුන්දර ටිලෙන්ඩිසියා ප්‍රභේද ගණනාවක්ම ඇත.

 

පන්කියානා (Funckiana)

උදෑසන හිරුඑළ එක එල්ලේ පතිත වීමට සැලැස්වීමෙන් අලංකාර පන්කියානා ශාකයක් ඔබටත් හිමිකර ගත හැකියි. ළා කොළ පැහැති පත්‍ර සහිත මෙම ප්‍රභේදයේ රත් පැහැයෙන් මල් හට ගනියි.

 

වික්ටෝරියානා (Victoriana)

තද කොළ පැහැය සහ රෝස වර්ණය මිශ්‍ර අලංකාර පත්‍ර හට ගන්නා මේ ප්‍රභේදය ද අතිශය සුන්දර දසුනක් ඔබේ ගෙවත්තට රැගෙන එයි.

 

අයෝනාන්ටස් (Ionantas)

මෙම ප්‍රභේදයේ පත්‍ර අළු පැහැය මිශ්‍ර කොළ පැහැයකින් සමන්විතය. පත්‍ර මුදුනත රත් පැහැතිය. සොඳුරු දම් පැහැයෙන් අලංකාර මල් පිපේ.

 

 

නඩත්තුව

මේ ශාකය සුළඟ හොඳින් ලැබෙන පරිදි එල්ලා තබන්නේ නම් අලංකාර පත්‍ර සහ මල් සහිත ශාකයක් නිර්මාණය කරගත හැකියි. ඉතා තද අව්වට නිරාවරණය වීමත් , දින ගණනාවක් එක දිගටම ජලය රහිතව තැබීමත් ශාකය වර්ධනය බාල වීමට හෝ ශාකය වියළී යාමට එසේ නොමැති නම් මිය යෑමට බලපානු ලබයි. එබැවින් ප්රිමාණවත් පරිද්දෙන් ජලය සැපයීමට වග බලා ගන්න. ජල සැපයුමෙන් අනතුරුව හිරුඑළිය ලැබීමට සැලැස්වීමද ඉතා සුදුසුය.

 

පොහොර

ටිලන්ඩ්සියා ශාකවලට පොහොර සැපයීම අත්‍යවශ්‍ය නොවුණත් වැඩි වර්ධනයක් සහිත ශාකයක් අපේක්ෂා කරන්නේ නම් පොහොර සැපයීම කළ යුතුය. එහිදී නයිට්‍රජන්, පොස්පරස් ප්‍රතිශතය තරමක් වැඩි දියර පොහොරක් භාවිත කිරීම වඩාත් සුදුසුය.

 

හිරුඑළිය

ගෘහ අභ්‍යන්තර අලංකරණය සඳහා මෙම ශාකය මනාව ගැළපෙන අතර එෙලස නිවෙස ඇතුළත තබන්නේ නම් සතියකට වරක් පැය කිහිපයක් නිවෙසින් පිටත තබා සූර්යාලෝකය ලැබීමට සලස්වන්න.

 

බෝ කිරීම

මෙය පාර්ශ්වීය අංකුර පැන නඟින ශාකයකි. එම පැළ වෙන්කර නැවත සිටුවා ගැනීමෙන් ශාක ප්‍රචාරණය පහසුවෙන් සිදු කරගත හැකි බව අමතක කරන්න එපා.

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ

රංජිත් කළුආරච්චි