පිසින බත් ප්‍රමාණයට සරිලන රයිස් කුකර් එකක් ගැනීම ලොකුම නුවණක්කාරකමයි

අගෝස්තු 5, 2024

 

ඒ කාලේ අපේ අත්තම්මලාට බතක් මාළුවක් උයන්න පැය කිහිපයක් ගත වුණා. දුම් පිරුණ ළිපක, දර පෝරණුවක නොසෑහෙන්න දුක් වින්දා. ඒක භාරධූර කාර්යයකි. වර්තමානයේ මිනිසාගේ ජීවිතයට විදුලි උපකරණ සමිප වීමත් සමඟ ඒ අමිහිරි අත්දැකීමට තිත තියන්නට හැකියාව ලැබුණා. ආහාර පිසීම කාර්යක්ෂම වූයේත් එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සැබැවින්ම ගෘහිණියගේ හොඳම යෙහෙළිය රයිස් කුකරය වුවායින් කාලය කළමනාකරණයකර ගැනීමට හැකි වුණි.

 

එහෙත් රයිස් කුකරයක් භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයට සිදු නොකිරීම නිසා බොහෝ ගෘහිණියන් අතින් නොදැනුවත්වම විදුලිය, ශ්‍රමය, කාලය යන සියල්ලම අනිසි ලෙස වැය වෙයි.

 

එම දුර්වලතාවන් සියල්ල දුරු කොට යහපත් ක්‍රමවේදයකට අනුව රයිස් කුකරයක් භාවිත කිරීමේ ක්‍රියාපටිපාටිය ඔබට පැවසීමට අපි අදහස් කළෙමු.

 

ඔබ රයිස් කුකරයක් තෝරා ගැනීමේදී අවම මුදලකට පමණක් සීමා නොවී තත්ත්වයෙන් උසස් එකක් තෝරා ගැනීම උචිතය. එමෙන්ම කිලෝ දෙකක අාහාර පිසිය හැකි රයිස් කුකරයෙන් කිලෝ එකක තරම් සුළු ආහාර ප්‍රමාණයක් පිසීම ද යෝග්‍ය නොවේ. එහිදී අඩු හාල් ප්‍රමාණයකට වුව කිලෝ දෙකකට අදාළව විදුලිය වැයවෙයි. කිලෝ එකක බත් පිසීම සඳහා වොට් 550ක ප්‍රමාණයක් වැය වුවද එලිමන්ට් එකේ හිස් අවකාශයට ද විදුලිය වැයවන බැවින් කිලෝ දෙකකට අදාළව විදුලිය වැය වේ.

රයිස් කුකරයක් භාවිත කිරීමේදී ප්‍රථමයෙන්ම සිදු කරනු ලබන්නේ එයට සහල් දමා එහි ඇති ස්විචය පහළට තද කිරීමයි. බත පිසී අවසන්වන විට ස්විචය ස්වයංක්‍රියව ඉහළට එස වී ක්‍රියාවිරහිතවන අතර බත පිසෙන අතරතුර වරින් වර එහි උඩු පියන අැරීම යෝග්‍ය නොවේ. සහල් ප්‍රමාණයට අවශ්‍ය පදමට ජලය භාවිත කිරීමෙන් එහි එලිමන්ට් එකට සහ තහඩුවට ජලය යෑමක් සිදු නොවන බැවින් එය රයිස් කුකරයේ පැවැත්මට ද යහපත් වේ. ඇතැම් විට රයිස් කුකරයට සවිකරන ලද වයරය නියමාකාර ලෙස සවි නොකිිරීම නිසා වයරය උණුවීමක් ද සිදුවේ. එබැවින් එහි පැවැත්ම පිළිබඳ නිසි අවබෝධයකින් පසුවීම වැදගත් වේ. රයිස් කුකරයක් පරිහරණය කිරිමේදී සැලකිලිමත් විය යුතු සේම එය පිිරිසුදු කිරීමේදී ද යම්කිසි අවබෝධයකින් එය සිදුකළ යුතුය.

 

කිසිවිටෙකත් රයිස් කුකරයේ මතුපිට ආවරණය ජලය වත්කොට සේදීමක් සිදු නොකළ යුතු අතර එසේ කළහොත් එහි අභ්‍යන්තර අමතර කොටස්වලට හානි විය හැකිය. අත්වැරැදීමකින් හෝ ජලය විසිරීමක් සිදුවුවහොත් එය අව්වේ තබා හොඳින් වියැළුණු පසුව විදුලියට ගැසීම කළ යුතු අතර එය භාණ්ඩයේ පැවැත්මට මෙන්ම ඔබට ද යහපතක් සැලසෙන දෙයකි. රයිස් කුකරයේ පිටත ආවරණය පිරිසුදු කළ යුත්තේ කපු රෙදි කැබැල්ලක් හෝ ස්පොන්ච් කැබැල්ලක් තෙමා හොඳින් ජලය මිරිකා එමඟින් පිටත ආවරණය පිසදැමීමෙනි. කුකරයේ සාස්පාන පිරිසුදු කිරීමේදී ද කපුරෙදි කැබැල්ලකින් එය පිරිසුදු කළ යුතු අතර සීරෙන සුළු ද්‍රව්‍යවලින් එය පිරිසුදු කිරීම නුසුදුසුය. මන්දයත් එය සිරීමකට ලක්වුවහොත් බත පිසින අවස්ථාවලදී එහි බත රොස්වීමට ඉඩ පවතින නිසාය. එසේ රයිස් කුකරය භාවිත කිරීම තුළින් කාර්යක්ෂමතාව මෙන්ම විදුලි අරපිරිමැස්මද රයිස් කුකරයේ නිසි පැවැත්මද හොඳ මට්ටමකට පත් කර ගැනීමට ඔබට හැකි වේ. මෙන්න මේ ආකාරයට විදුලිය හා ගනුදෙනු කිරීමට බුද්ධිමත් වන්න.

 

* Plug Base සහ Plug top ලංකාවේ විදුලි නියමනය අනුව Squre Pin ලෙස පාවිච්චි කිරීම අනිවාර්යවන අතර විදුලි අනතුරු වළක්වා ගැනීමට එය වැදගත් වේ.

 

* රයිස් කුකර් පාවිච්චියේදී කුකරය විදුලියට සම්බන්ධකර තිබියදීම ආහාර බෙදාගැනීම නොකළ යුතුය. එය අනතුරුදායක විය හැකියි.

 

*කිසිවිටෙකත් Extention Code හෝ Extention Socket Adaptor එකක් හරහා රයිස් කුකුරයක් විදුලියට සම්බන්ධ නොකරන්න. බොහෝවිට එසේ සම්බන්ධ කළ විට ගිනි ගැනීම්වලට හේතුවිය හැකියි. තවද විදුලි සැර වැදීමට හේතුවිය හැකි වේ.

*රයිස් කුකරයක් භාවිත කිරිමේදී එය සම්බන්ධ කරන විදුලි පේණුවේ සහ Plug Base එකෙහි Earth Connectivity ඇත්දැයි පරීක්ෂා කරගන්න. රයිස් කුකරයක් විදුලියට සම්බන්ධ කිරීමේදී Trip Switch ක්‍රියාත්මක වී විදුලි බලය විසන්ධි වේ නම් නැවත විදුලියට සම්බන්ධ නොකර පළපුරුදු විදුලි කාර්මිකයකු ලවා රයිස් කුකරය පරීක්ෂාකර බලා දෝෂ නිවැරැදි කරගත් පසුව නැවත පාවිචිචියට ගන්න.

*රයිස් කුකරයක් ස්වයංක්‍රීයව විසන්ධි නොවන්නේ නම් Indicator Iamp නිසියාකාරව ක්‍රියාත්මක නොවේ නම් භාවිතයට ගැනීමෙන් වළකින්න. හැකි ඉක්මනින් විදුලි කාර්මිකයකු ලවා දෝෂ නිවැරැදි කරගත් පසු පාවිච්චියට ගන්න.

 

උපදෙස් -

ආචාර්ය එච්. එච්.ඩී. නලින්

ප්‍රධාන ඉංජිනේරු

වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව

ලංකා විදුලිබල මණ්ඩලය