ජ්‍යෝතිෂ ගැටලු

මැයි 20, 2024

සුවහසක් තරුණී පාඨකයන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීමක් ඉටු කරමින් අපි ඔබට අගනා වටිනා අවස්ථාවක් උදාකර දෙමු. අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ජ්‍යෝතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂි ජ්‍යෝතිෂය ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ තැපැල් මඟින් ඔබගේ ජන්ම පත්‍රයේ පිටපතක් සමඟ ඔබේ ගැටලුව යොමු කිරීමයි. නැත්නම් අපගේ Whatsapp අංකයට නම සහ ලිපිනය සමඟ හඳහනේ පිටපතක් යොමු කිරීමයි. එසේ යොමු කරන ජන්ම පත්‍ර පිටපත චන්දන සතරසිංහ මහතාට යොමුකර ඒ සඳහා පිළිතුරු අප තරුණී පුවත්පතේ පළ කරමු. ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය,

ජ්‍යෝතිෂ ගැටලු

තරුණී

ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

විවාහය පිළිබඳ බියක්

 

මගේ පළමු විවාහය අසාර්ථක විය. දෙවැනි විවාහය ද අසාර්ථක වීම පිළිබඳ බියක් පවතී. මෙයට විසඳුම කුමක්ද?

කුරුණෑගල - ජී.එම්. ගමගේ

 

ඔබගේ හඳහනේ කුජ හා රවි රාහු සමඟ පළමු කොටුවේ පිහිටීමත් 7 වැනි කොටුවේ කේතුගේ පිහිටීමත් අනුව ඔබට සාමාන්‍යයෙන් ප්‍රතිකර්මයක් කළ නොහැකි විවාහ දෝෂයක් තිබේ. ඔබ කොතෙක් දුරට පොරොන්දම් ගළපා විවාහයක් සිදු කළත් මේ තත්ත්වයට මුහුණදීමට සිදුවනු ඇත. එම නිසා කොතරම් ශාන්ති කර්ම, වතාවත් කළත් මෙය නිවැරැදි කළ නොහැකි නමුත් තම සිත පාලනය කරගෙන ස්වාමී ගරුත්වය ලබාදීමට කටයුතු කරන්නේ නම් දෙවැනි විවාහය පවත්වාගෙන යා හැකි වේ. හැඟීමට වඩා බුද්ධියට මුල්තැන දෙන්න. කටින් පිටවන වචනය දෙවරක් නොව හතරවරක් සිතා පිට කරන්න. මෙය ඔබට ලබාදෙන උපදේශයකි.

 

විවාහය ප්‍රමාදයි

 

විවාහය ප්‍රමාද වේ. එය කිහිපවරක්ම සාර්ථකවීමට තිබු අවස්ථා ද ගිලිහී ගියේය. එය කවදා සිදු වේවි ද?

බේරුවල - ගයත්‍රී ද සිල්වා

 

ඔබගේ හඳහනට අනුව විවාහය ප්‍රමාද වන්නේමය. නමුත් ඔබට හොඳ විවාහ ජීවිතයක් පෙන්නුම් කරයි. එය 2025 වසරේ මැයි මාසය වනවිට අනිවාර්යෙන්ම සිදුවන්නේය. දැනටමත් හොඳ යෝජනාවන් කිහිපයක් ලැබී ඇතැයි සිතමි. ඔබගේ විවාහය සිදුවන පුද්ගලයාගේ කුමන හෝ අඩුපාඩුවක් තිබිය හැකිය. උස මට්ටමින් හෝ එසේ නොමැති නම් ශරීරයේ අඩු පාඩුවකින් හෝ කුමන හෝ අඩුපාඩුවක් විය හැකියි. නමුත් එය සාර්ථක විවාහයක් බවට පත් වන්නේමය. සිකුරාදා දින 7ක් බෝධි පූජා තබන්න. විෂ්ණු දෙවියන්ට සහ ශිව පාර්වතියට පූජා තබා භාර වන්න. නීල මණ්ඩල යන්ත්‍රය පැලඳීම සුදුසු වේ.

 

හැර ගිය සැමියා ගෙන්වීමට

 

මම දරු දෙදෙනකු සිටින මවකි. ස්වාමියා විදේශතව සිටී. සැමියා නැවත පැමිණීම ගැන බියක් පවතී.

පුත්තලමේ - ජයන්ති

 

ඔබ දෙදෙනාගේම හඳහන් ගැළපෙයි. එයට අනුව දෙදෙනාටම මේ වන විට රාහු මහ දශාව ගෙවෙන බව පෙනේ. මෙය දශා සන්ධි දෝෂය ලෙස ජ්‍යෝතිෂයට අනුව සටහන් කළ හැකිය. ඒ අනුව ඔහු විදේශගතව ඇත්තේ ද ඔබ දෙදෙනාගේ වෙන්වීම සඳහාමය. නමුත් දෙදෙනා දික්කසාද ආකාරයට ජීවත් වුවත් විදේශගතව ඔහු සිටින නිසා පවුල් ජීවිතයේ ගැටලු තිබුණද ආර්ථිකය යහපත් වේ. ඔහු උපයන මුදල් ඔබට ආයෝජනය කළ හැකිය. මේ මොහොතේ එය කරන්න. තව වසර 5කට පසු මේ තත්ත්වය ගෙවී යයි. ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. හැකි තරම් බෝධි පූජා තබන්න. ඉරිදා දිනෙක උදේ 9.45ට පමණ නිවෙසට බටහිර දෙසින් වැටකෙයියා පැළයක් සිටුවා සාත්තු කරන්න.

 

මල්වර නැකැතේ ගැටලුවක්

 

දියණියගේ හඳහනේ මල්වර නැකැතේ ගැටලුවක් පවති. ඇය මල්වර වුවාදැයි සැකයක් තිබේ. එය දැනගන්නේ කෙසේද?

යටිනුවර - ජයමිණි බණ්ඩාර

 

දැරිවියගේ උපන් කේන්ද්‍රයට අනුව දැනට අවුරුද්දයි මාස දෙකකට පෙර වැඩිවියට පත් වී ඇත. නමුත් ශරීරයේ වර්ධනය වේගයෙන් සිදු වී නොමැත. එයට හේතුව කේතුගේ මහ දශාව ලබා ඇති බැවිනි. උපතින්ම කේතු අයපත්ව පිහිටීම ද මෙයට හේතුවයි. තව මාස 6කට පසු මේ සියලු දොස් දුරු වී යන බැවින් බලාසිටියදීම ඇයගේ ශරීරය වර්ධනය වෙයි. මාස ශුද්ධිය ද නිසි ආකාරව සිදුවනු ඇත. දැනට දරුවාගේ ශරීරයට යකඩ අඩංගු ආහාර වර්ග ලබාදෙන්න. දින 7ක් බෝධි පූජා තබන්න. පොතපත පරිශීලනය වැඩි කරන්නට උපදෙස් දෙන්න. දරුවාට සුබ අනාගතයක් උදාවෙයි.

උපදෙස්
ජ්‍යෝතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ