වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
අන්‍යයන්ට සමාව දීමේ දේවගුණය ඇති දාර්ශනික හස්තය හිමියෝ

හස්ත රේඛා ශාස්ත්‍රය කෙරෙහි සිත් බැඳි ඔබ පුන පුනා බලා ඉන්නේ ඔබේ රේඛාව ගැන විස්තරය පළ වෙනතුරුය. ඔබ දාර්ශනික හස්ත හිමියෙක් නම් මේ ඔබේ වගතුගයි.
විශාල ඇඟිලි පුරුක් සහිත වූ ද දිගු ඇඟිලි සහිත වූ ද, දාර්ශනික හස්තයේ සියලුම ඇඟිලි මැද ඇඟිල්ල දෙසට ඇලව පවතී. එමෙන්ම ඇඟිලි පුෂ්ටිමත් නොවේ. විශාල පාණි තලයක් පිහිටයි. මහපටැඟිල්ල විශාලව පවතින අතර එහි අග පුරුක ද, ඒ හා බැඳුණු දෙවැනි පුරුක ද සමාන දිගකින් යුක්ත වේ. එමෙන්ම එය අනෙක් ඇඟිලිවලට ඈත්ව පිහිටයි. ඇඟිලි තුඩු කෝණාකාර හැඩයකින් යුක්ත වෙයි.
සාමාන්‍යයෙන් දාර්ශනික හස්තයේ සියුම් රේඛා බහුලව පිහිටයි. ශීර්ෂ හෘදය යන රේඛා මනාව පිහිටන අතර බොහෝ විට ශීර්ෂ රේඛා දෙකක් සහ කුජ රේඛාවක් පිහිටා ඇත.
දාර්ශනික හස්තයක් පිහිටියේ නම් ඔබ සිය දැනුමත් ඥානයත් දියුණු කර ගැනීම සඳහා නිතර උනන්දුවෙන් ක්‍රියා කරන මධ්‍යස්ථ ධනයකින් යුක්ත අයකු වේ.
ධනය ඉපැයීමෙහි ශූර වුවද ධනෝපායන මාර්ග මනාව දත්තේ වුව ද ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වයි. ජීවිතයේ නියම අර්ථය වටහා ගැනීමෙහි නියම සමතකු වන බැවින් බොහෝ දෙයෙහි ඇති නිර්ථකභාවය අවබෝධ කොට ගෙන සිටියි. පුහු බොළඳ ක්‍රියා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බැවින් ද සමාජයේ අගතිගාමී ආත්මාර්ථකාමී ස්වභාවයෙන් හෙම්බත්වන බැවින්ද ඔබ බොහෝ විට සමාජයෙන් ඈත්ව හුදකලාව සිටින්නට උත්සාහ කරන්නෙකු විය හැකියි.
අන්‍යයන්ට සමාව දීමේ දේව ගුණයෙන් පරිපූර්ණ වූ ඔබ ඉවසීමෙහි සුවිශේෂ ප්‍රතිමූර්තියක් ද වෙයි. අර්ථවත් ලෙස මෙන්ම පැහැදිලි ලෙස කරුණු දැක්වීමෙහි සමතෙකු වන අතර තර්කානුකූල ලෙස කරුණු දැක්වීමෙහි ද සමතෙකු වේ. කුමන දෙයක් වුවද කරුණු සහිතව ඔප්පු කරන දාර්ශනික අත් හිමියාගේ මත පහසුවෙන් බිඳලිය හැකි නොවේ. ආගම දහම කෙරේ දැඩි බැඳියාවක් නොපෙන්වුවද සැබැවින්ම ප්‍රායෝගිකව ආගමට දහමට අනුව ජීවත් වන්නෙකු වේ. කෙටියෙන් කිවහොත් දාර්ශනික පාණි තලයක් පිහිටි තැනැත්තා ආමිෂ පූජාවන් අවඥාවෙන් බැහැර කොට නිරායාසයෙන් ප්‍රතිපත්ති පූජාවේ යෙදෙන්නෙකු වේ.
ධනය, බලය ප්‍රතික්ෂේප කරන දාර්ශනික හස්ත හිමියා අන්‍යයන්ට වඩා විශිෂ්ටයෙකු වීමෙන් ආශාවෙන්ද, අභිලාෂයෙන්ද යුක්ත වේ. ඒ සඳහා වෙහෙස වේ. සැප පහසුකම් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන්නෙකු නොවේ. ආහාරයට මඳ පමණක ගිජු බවක් දක්වතත් රස මසුමුළු පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැත. "බඩගින්නට යමක් කෑවාම ඇති" ඔහු සිතයි.
සුහද මිතුරන් ඉතා අල්පයක් ඇසුරු කරන දාර්ශනික හස්ත හිමියන් සන්සුන් ගතියෙන් යුතුව නිශ්ශබ්දව කටයුතු කරයි. සැඟවුණු රහස් වෙයි. සැඟවුණු දේ සහ ගුප්ත ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමෙහි මනා බුහුටි බවක් දක්වයි. මුහුකුරා ගිය බුද්ධි මණ්ඩලයක් පිහිටන බැවින් දාර්ශනික හස්තයක් ඇත්තා ජීවිතයේ මුල් යුගය සාමාන්‍ය ලෙස ගත කළද වයසින් අඩක් ගෙවී යත්ම ජීවිතයෙන් පලා යන්නෙකුට සමාන වෙයි. බොහෝ විට හිතෙන බ්‍රහ්මචාරී දිවියක්ගත කරන්නෙකු විය හැකියි.
අධ්‍යයනය කිරීමේ ද ගවේෂණයෙහි ද මහා හපනෙකු වේ. ලද දැනුම් සම්භාරය මෙතෙකැයි හරින්නට ඔහුට ද නොහැකි තරමේ අත්දැකීම් බහුල දැනුමැත්තෙක් වෙයි. ඇඟිලි පුරුක් ඇඟිල්ලට වඩා මහත්ව පිහිටියේ නම් දුක දුකක් ලෙස වැළඳ ගත්තෙක් වේ. එහෙත් දුක දුකක් කොට නොසිතන්නෙක් වෙයි. ඇඟිලි පුරුක් සහ මැද කොටස් මනාම පිරී අලංකාරවත්ව ඇති නම් හෙතෙම වාසනාවන්ත ගුණයෙන් යුක්ත වේ. පෙර පින් බලය නොමඳව ඇති වේ. එබැවින් මධ්‍යස්ථ ජීවිතයක්ගත කිරීමට ඔහුට හැකි වේ. එමෙන්ම බුද්ධියත්, දාර්ශනිකත්වයත් මනාව පිහිටයි. අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍රවන අතර නිරායාසයෙන් ප්‍රසිද්ධියක්, ජනප්‍රියභාවයක් ගලා එන්නෙක් වෙයි.
ඇඟිලි තුඩු මෘදුව පිහිටියේ නම් ඉක්මන්කාරී ගති ලක්ෂණ ප්‍රකට කරයි. කෙතරම් බුද්ධිමත් වුවද ඇතැම් විට අනවශ්‍ය පරිදි ඉක්මන් වීමෙන් කලබලකාරී ලෙස හැසිරෙයි. එයින් තම ප්‍රතිරූපයට බාධා ඇති කර ගනියි.
න්‍යාය ශාස්ත්‍ර, දර්ශන වාද, ජ්‍යෝතිෂය, වාස්තු විද්‍යාව, මනෝ විද්‍යාව, ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යාව වැනි ලොව පැරණිතම ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමේ සුවිශේෂ හැකියාවක් දක්වයි. ඉවකින් මෙන් බොහෝ දේ පිළිබඳ නිවැරදි මත ප්‍රකාශ කරන්නට සමත් වෙයි.
දාර්ශනික හස්තය ඇති බොහෝ පුද්ගලයන්ට දාර්ශනිකයන්, කෘතහස්ත ලේඛකයන්, අදාළ විෂයන් පිළිබඳ විද්වතුන්, බහුශ්‍රැත ගුරුවරුන් වැනි තත්ත්වයන්ට පත්වීමේ වාසනාව උරුම වී ඇත. අඩුම තරමින් තමන් වසන සමාජයේ දැනුම් ඇත්තෙකු ලෙස ගෞරවාදරයට හෝ පාත්‍ර වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය
line art -නිලක්ෂි ආරියරත්න