ළිං කපන්න බැරිතැන්වල දෝෂ මකන ක්‍රම

ජූලි 28, 2025

ළිඳ එහෙමත් නැත්තම් ‘කූපය‘ කියන්නේ අතීතයේදී නම් නිවෙසකට අත්‍යවශ්‍යව තිබූ දෙයක්. අද කාලයේ වගේ නෙවෙයි, එදා දෝෂ නැතිව ළිඳක් කපන්න තරම් ඉඩකඩක් මිදුලේ තිබුණා. නළ ජල නොතිබූ ඒ කාලයේ ‘ජලය‘ කියන මූලික අවශ්‍යතාව සපුරා ගන්නට ළිඳ ඔවුනට බෙහෙවින් ඉවහල් වුණා.

 

ළිඳක් කියන්නේ නිවෙසට සම්පතක්. වසරක් පුරාවට ජලය දුන්, සා පිපාසා හා අනෙක් අවැසියා සැපිරූ ළිඳ සමඟ නව වසරේදී ගනුදෙනු කිරීමේ චාරිත්‍රය අපේ සංස්කෘතියේ ශ්‍රේෂ්ඨත්වය, කළගුණ සැලකීම මොනවට පැහැදිලි කරන්නක්.

 

මෙහෙව් සම්පත් සාදන ළිඳක් තමාගේ මිදුලේ නිවැරදිව පිහිටුවා ගන්නේ කොහොමද? වාස්තු විද්‍යානුකූලව සලකා බැලිය යුතු කරුණු මොනවාද?

 

අද අප බොහෝ දෙනකුට ඇත්තේ පර්චස් දහයේ, පහළොවේ සීමිත ඉඩම්, සමහරවිට ඊටත් වඩා අඩුයි. මේ වාගේ පුංචි ඉඩම්වලට නිවාස සැලසුම් අඳින අවස්ථාවේදීම ළිඳ හා වැසිකිළි වළ පිහිටන තැන් සැලකිල්ලට ගත යුතුයි. වැසිකිළි වළ කැපීමේදී තමාගේ හා අවට පිහිටි ළිංවල සිට අවම අඩි 50ක් වත් නීත්‍යනුකූලව තබන්න ඕනෙ. ඒ වැසිකිළි වළ අවටින් ගලා යන භූගත ජල ප්‍රවාහයන්ගෙන් ළිඳ අපිරිසුදු වීම අවම කර ගැනීමටයි. ළිඳක් කපන්න තරම් ඉඩක් මිදුලේ නැත්තම් නළ ළිං ගහනවා ඔබ දැක ඇති. නළ ළිඳ කියන්නේ ළිඳකටයි. ඒ නිසා ළිඳට තියෙන වාස්තු බලපෑම නළ ළිඳටත් තියෙනවා.

 

නළ ළිඳක් පාවිච්චි කරන තරමට භූගතව විශාල ළිඳක් හැදෙන බව මේ වන විටත් ඔබ නොදන්නවා විය හැකිය. ළිඳ කැපීමට කලින් අදාළ ඉඩමේ මායිමට කිට්ටුවෙන් තිබෙන ප්‍රේත පාදය වෙන් කර ගන්න ඕනෙ. මේ පාදය තුළ ළිං කැපීම සුදුසු නැහැ. ඉඩමේ කොන් හරහා ගසන ගිනි කතිරයටත් ළිඳ කැපී යෑම සුබ දෙයක් නෙවෙයි.

 

නිවෙසේ ප්‍රධාන දොර හා වැරැන්ඩාව ආසන්නයේ ළිඳ පෙනෙන්නේ නැතිව එහෙම නැත්තම් සරලව කියනවා නම් ගේ ඉස්සරහට ළිඳ පිහිටන්නේ නැතිව සැලසුම් සදනවා නම් වඩාත්ම හොඳයි. ප්‍රධාන දොරට බලපාන කූප වේධ දෝෂයත් මෙයින් මඟහැරී යනවා. ගෙට ඉදිරියෙන් ළිඳ පිහිටීම නිසා යම් අනාරක්ෂිත තත්ත්වයක් ඇති විය හැකි වාගේම නිවෙසේ අලංකාරයටත් මෙය බලපානවා. ප්‍රායෝගිකව ළිඳ පාවිච්චි කිරීමේදීත් යම් අපහසුතාවක් ඇතිවිය හැකියි. ළිඳ පිහිටන තැන තීරණය කිරීමේදී මේ කරුණුත් ඔබට වැදගත් වේවි. නිවෙසේ තිරස් බිත්ති රේඛාවලට කෙළින්, ඒවාට හසුවෙන ආකාරයට ළිඳ කැපීම නොකළ යුතුයි. ගෙදර මුළු වැටෙනවා කියන එකටත් මේක අයිතියි. ඒ විතරක් නොවෙයි. වහලයේ මුදුන් ලීය, යටලී, බාල්ක ආදියට කෙළින් ළිඳ තිබීමත් හොඳ දෙයක් නෙවෙයි.

 

දිශාවන් සැලකිමේදී උතුර, ඊසාන, නැඟෙනහිර හා බටහිර කියන්නේ ළිඳක් කපන්න සුදුසුම දිශාවන්, මෙයින් ගෙහිමියාට ධන සම්පත් හා යස ඉසුරු ලැබෙන බව වාස්තු විද්‍යාවේ සඳහන්, ගිනිකොන දිශාව ළිං සඳහා සුදුසු නැහැ. ගිනි උවදුරුවලට නිවෙස ලක්විය හැකි බව මතයයි. දකුණු දිශාව නුසුදුසු වෙන්නේ අකල් මරණවලට හේතුවක් නිසයි. නිරිත කියන්නෙත් ළිඳක් සඳහා සුබ දිශාවක් නෙවෙයි. අඹු සැමියන් අතර නිතරම රණ්ඩු සරුවල් අැතිවීමට මේක හේතුවක්. වයඹ දිශාවේ ළිඳ කැපුවොත් ධන හානි සිදුවෙන බව පිළිගන්න ඕනෙ.

 

මෙසේ බලන විට ප්‍රාෙයා්ගිකව කුඩා ඉඩම්වල ළිං කපන්න බැහැ. එවැනි තැන් සඳහා ළිං කපන්න බැහැ. එවැනි තැන් සඳහා ළිං නොකපා නළ ජලය භාවිත කිරීමෙන් වාස්තු දෝෂයන් වළක්වාගත හැකිය. නළ ජලය රැස් කරන භූගත ටැංකි සලකන්නෙත් ළිඳක් විදිහට. දෝෂ නොවන්නට සුදුසු දිශාවක හා තැනක මේවා පිහිටුවීමත් බොහෝ දෙනකුට අමතක වෙන කරුණක්.

 

ළිඳක් කපන්න සුදුසු මාස ගැන ඔබ දන්නවාද?

 

සමස්තයක් විදිහට තද වර්ෂා කාලයකදී හෝ්‍ ඉඩෝර කාලයකදී ළිඳක් කැපීමට යෑම ප්‍රාෙයා්ගිකව දුෂ්කරයි. සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් පවතින වකවානුවක් මේ සඳහා තෝරා ගැනීම වැදගත්.

 

ජනවාරි මාසයේ ළිං කැපීම මඟින් භෞතික සැප සම්පත් ලැබෙන බව සත්‍යයක්. පෙබරවාරි නම් හානියක් වීමට ඉඩකඩ ඇති වේ. ඔබට සෞභාග්‍ය හා කීර්තිය ලබන්න ඕනෙ නම් ළිඳ කපන්න ඕනෙ මාර්තුවේදී. ඊළඟට එන අවුරුදු මාසෙත් වරදක් නැහැ. ධනය ලබන්න පුළුවන් නිසා. මැයි කියන්නෙත් හොඳ නැකැත් මාසයක්. මේ මාසයේ ළිං කැපීමෙන් ඔබට බොහෝ සැප සම්පත් ලැබිය හැකියි. ජුනි හා ජූලි කියන්නේ ළිං කපන්න හොඳ මාස නෙවෙයි. විවිධ බිය හා දුක් කරදර ඇතිවීම මෙහි ප්‍රතිඵලයක්. අගෝස්තු මාසයේ කපන ළිං නිසා බොහෝ සැප සම්පත් ලැබේවි. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියන්නේ නැවතත් ළිං කැපීමට නුසුදුසු කාලයක්. සතුරු කරදර, රෝග පීඩා හා දුක් කරදර ඇතිවිය හැකියි. ඔබට කීර්ති ප්‍රශංසා නොඅඩුව ලැබුණේ දෙසැම්බර් මාසයේ ළිඳ කැපූ පසුවදැයි කල්පනා කර බලන්න.

 

ළිඳක් කපන්නේ සුබ මාසයක වාගේම සුබ දිනයක වීමත් වැදගත්. සඳුදා, බදාදා හා බ්‍රහස්පතින්දා කියන්නේ මේකට හොඳ දවස්. කැපූ පසුව නැවුම් ජලයෙන් ළිඳ පිරී යෑම එහි ප්‍රතිඵලයක්. මේ දිනවලදී පුර පක්ෂයෙන් ගුරු, සිකුරු බලවත්ව තිබීම වැදගත්.

 

ළිඳක් කැපීමට සුදුසු නැකැත් වෙන්නේ රෙහෙණ, මුවසිරස, මා, උත්‍රපල්, හත, අනුර, පුවසල, උත්‍රසල, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවතී යන ඒවායි.

 

බොහෝ දෙනකුට ඇති තවත් පැනයක් තමයි පාවිච්චි කරන ළිඳක් වසා දමන්නේ කෙසේද යන එක. යම් වාස්තු දෝෂයක් වැළැක්වීමට හෝ වෙනත් අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා මිස කිසිදු අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නා ළිඳක් වැසීම නොකළ යුතුයි.

 

නැකැතට කැපූ, ප්‍රයෝජනවත් වූ ළිඳක් වැසීම සිදු කළ යුත්තේ සුබ වේලාවකටයි. තමාට කළ මෙහෙවර සිතමින්, ආගමානුකූල පිළිවෙතිනුයි මෙය කරන්නේ. පහනක් දැල්වීමත් ළිඳෙන් පිිරිසුදු ජලය කළයකට පුරවා බෝධිය නෑවීම පිණිස තබා ගැනීමත් චාරිත්‍රයක්.

 

ළිඳ වැසීමේදී කිසිම විටෙක කුණුරොඩු, සුන්බුන් දමන්න එපා. අසමගිකම් ඇති වී පවුල විනාශ වීමට මෙය හේතුවක් ලෙසයි සැලකෙන්නේ. මුලින්ම ළිඳේ ජල මට්ටම දක්වා හෝ ඊට කිට්ටු වෙනකම් වැලි දමා පුරවන්න. ඉන්පසු ‘නොකිලිටි පස් යොදා පිරවීම කළ යුතුයි. කොන්ක්‍රීට් යොදා ඉහළින් ස්ලැබ් එකක් දැමූ පමණින් ළිඳක් වැසී යන්නේ නැහැ. ළිඳේ දොස් මඟ හැරෙන්නේත් නැහැ. ළිඳක් කියන්නේ තවත් එක් වළක් කියා කිසිවිටෙකත් හිතන්න එපා. කලකට ඉහත පාවිච්චි කළ ළිඳක් පසුවට කුණු වළක් කර ගැනීමත්, අපදියර හැරවීමත් ඉතා අහිතකරයි. එම ස්ථාන ඉහත ආකාරයට නිවැරැදිව වැසීම කළ යුතුයි.

 

ළිඳේ තරම දැන් ඔබට මනාව පැහැදිලි අැති. ජ්‍යෝතිෂ කාරණාවලටත්, වාස්තු විද්‍යාවටත් ගැළපෙන ආකාරයට ළිඳ කැපීම නිරතුරුවම ඔබට සෞභාග‍ෙය්ත්, වාසනාවේත් උල්පතක් මතුවූවා හා සමානයි.

 

උපදෙස්:-

සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද

ආචාර්ය ගයාන් එරමුදුගොඩ