කිරි සිහිනය සැබෑ කරන අති සාර්ථක ජ්‍යොතිෂ ප්‍රතිකාර

අගෝස්තු 12, 2024

දරුපල අහිමිවීම වර්තමාන සමාජයේ දැවෙන ප්‍රබල ගැටලුවකි. මේ සඳහා දේශීය ආයුර්වේද ප්‍රතිකාර හා ජ්‍යොතිෂවේදයේ සාර්ථක ප්‍රතිකාර පවතී.

උගත් වෙදදුරා, ඇඳුරා, ජ්‍යොතිර්වේදියා මේ ශාස්ත්‍රයේ හාස්කම් පෙන්වා තිබේ. ඊට උදාහරණ ලෙස පෙන්විය හැකි සාක්ෂි රාශියක් පවතී. මේ වන විට දරුපල අහිමි විශාල පිරිසකට දරුපල ලබාදීමට තිබෙන්නේ මේ උතුම් ශාස්ත්‍රය නිසයි. එදා මෙදා තුර නව යොවුන්වියට පත් තරුණ තරුණියන් බහුතරයක් තම හිතුමතේට විවාහයන් සිදුකර ගැනීම මෙන්ම බොහෝ පිරිසක් යෝජිත විවාහය නොහොත් ජයන්පති විවාහයක් කර ගනී. මෙම යෝජිත විවාහයේදී පළමුව කේන්ද්‍ර ගැළපීම නොහොත් පොරොන්දම් බැලීම අනිවාර්යයෙන් සිදුකරයි.

සමහර පොරොන්දම් ගැළපූ ඒවා කැඩී බිඳී යෑමත්, එසේ නොවී තම හිතුමතේට කරන විවාහයන් දීර්ඝ කාලීනව පවතින බව ඇතැමුන් තර්ක කරති. එම තර්ක විතර්ක පසුව විග්‍රහ කරමු. සමාජමය වශයෙන් මෙන්ම වෛද්‍ය ශාස්ත්‍රානුකූලව තරුණ යුවළක් විවාහයට සුදුසු වයස් සීමාව යැයි කිව හැක්කේ පිරිමියකුගේ වයස අවුරුදු 25-30 කාලයත් ස්ත්‍රියකගේ වයස අවුරුදු 20-30 කාලයයි. ස්ත්‍රියගේ එම වයසේ දී ආර්ථව බීජ ඉතා හොඳින් ප්‍රාණවත්වම පවතී. නමුත් ජීවිතයේ මධ්‍ය වයසේ දී ශාරීරික අවශ්‍යතා සිතුම් පැතුම් හීන වෙයි. ජ්‍යොතිෂවේදය හා ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍ර න්‍යායන්ට අනුව තරුණ යුවළකගේ සිතුම් පැතුම් කායික ක්‍රියාකාරීත්වය ගැන සොයා බලනවා මෙන්ම ජ්‍යොතිෂයේදී දරුපල, දීර්ඝායුෂ, සාමකාමී බැඳීම්, සම්භෝගයේ යෙදෙන ගැළපීම් අනිවාර්යයෙන් කියාපායි. එපමණක් ද නොව ලිංගයේ ප්‍රමාණය, යෝනියේ ප්‍රමාණය, රමණයේ කාලයේ දීර්ඝතාවය ද මෙයින් සෙවිය හැකි වේ. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ජ්‍යොතිර්වේදය එකට බැඳුණු ශාස්ත්‍රයන් දෙකක් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී මෙය එක් ඉගැන්වීමක් බවද කිව හැකිය. ස්ත්‍රියගේ විවාහයට සුදුසු කාලය කුමරි සමය ලෙසද පුරුෂයාගේ කුමරු පුනරුත්ථාපන සමය ලෙසද හඳුන්වයි. මේ කාලයේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම වැදගත්ම කාලයයි. මේ කාලයේදී නොමනා ක්‍රියාවන්ගෙන් වැළකී ඇඟ නිවන බල වඩවන ආහාර පාන ලබාගත යුතුවේ.

සරු දරු උපතක් සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාම මේ කාලයේ අවශ්‍ය කායික ශක්තිය, ජවය හා මානසික ශක්තියද වර්ධනය කරගත යුතු වේ.

නව යොවුන් තරුණ තරුණියන් සිටින මවුපියන් ඒ ගැන අවධානය යොමු කළ යුතු කාලයකි. අංග සම්පූර්ණ දරුවකු බිහිකිරීමට නම් ස්ත්‍රී ආර්ථව බීජ හා පුරුෂ බීජ මනා පරිණත තත්ත්වයේ තිබිය යුතු වෙයි. අාර්ථව බීජ හා පුරුෂ බීජය සංකලනය වීම එසේ නොමැති නම් සමායෝජනීය එක්වීමෙන් ස්ත්‍රී ගර්භාශය තුළ වියෝජනය හටගනී. මෙම ක්‍රියාවලිය සඳහා පෙර සඳහන් කළ පරිදි පුරුෂයාගේ පුරුෂ බීජය ඉතා පරිණත තත්ත්වයේ තිබිය යුතුමය. ස්ත්‍රියගේ ආර්ථව බීජය නැතිනම් ඩිම්බය කෙතරම් ශක්තිමත් වුවත් ගර්භාශය තුළ අධික උෂ්ණත්වය පැවතීම දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙයි. බොහෝ කාන්තාවන්ගේ උපතින්ම ශරීර ප්‍රකෘතිය අධික උෂ්ණත්වයක් පවතී. එම නිසා ශරීරය නිවන ආහාරපාන මල්වර වූ දිනයේ පටන් ලබාදිය යුතුය. මල්වර නැකැතට ජ්‍යොතිර්වේදීන් සාදා දෙන නැකැතට ස්නානය කරන විට ආයුර්වේද ශාස්ත්‍රයට අනුව සැකසූ ඇඟ නිවන ඖෂධීය කළ හතක් නෑවීම පළමු ක්‍රියාදාමයයි. එමෙන්ම උෂ්ණ ආහාර නතර කර ඇඟ නිවන සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීම සිදුකරන්නේ මේ දරු ප්‍රසූතියට සූදානම් වීම සඳහාය.

මෙම තත්ත්වය ජ්‍යොතිෂ ඇසින් විග්‍රහ කළ හැකි වේ. සමහර යෞවනයන් නරක කාමුක දර්ශන බලා විකෘති කාම ආශා ඇතිකර ගනියි. මේ නිසා යටි සිතේ ක්‍රියාකාරීත්වය නින්දේදී අවදි වී සිහිනෙන් ධාතු පිටවීම සිදුවෙයි. මෙය ස්වප්න මෝචනය ලෙස ආයුර්වේදයේ හඳුන්වයි. මෝහනී හෙවත් මදනකාම යක්ෂණියන්ගේ බැල්ම වැටී ඇති බවද ජ්‍යොතිෂයේ පවසයි. තවත් සමහර යෞවනයන් විවිධ අයුරින් බටහිර ඖෂධ භාවිතයෙන් ස්වභාවික ශුක්‍ර ධාතු පිටවීම කාලය දීර්ඝ කරගැනීමට ගොස් ස්නායු වියළි ධාතු පිට නොවන තත්ත්වයට පත්වෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව මෙය නිෂ්ඨකාමය ලෙස හඳුන්වන අතර ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාව අනුව කලවා බන්ඳනය කළා යැයි වරදවා වටහා ගනී. අතීතයේ එවැනි දේ කළ හැකි අය සිටියත් වර්තමානයේ එවැනි බන්ඳන අය සොයා ගැනීම අපහසුය. ඔවුන් උගත් බුද්ධිමත් අය නිසාත් එම පාර්ශ්වයන් මනාව පිහිටා ඇති නිසා කර්මය සහ කර්මඵලය වටහාගත් අය නිසා එවැනි අපරාධ නොකරයි. අදටත් එවැනි තත්ත්වයන් ඇති වූ ස්වාමිපුරුෂයන්, දරුවන්, හිතවතුන් සිටී නම් එවැනි ව්‍යවසනයන්ට ගොදුරු වී සිටී නම් මෙම ලිපිය වඩාත් වැදගත් වනු ඇත.