ජ්‍යොතිෂය ගැටලු

අගෝස්තු 12, 2024

 

විවාහය බිඳවැටීම

 

මගේ දියණිය වසර කිහිපයක ප්‍රේම සබඳතාවකින් පසු තනි කැමැත්තට විවාහ වී ඇත. විවාහ වී වසරක් ගත වෙන්නට පෙර නීතියෙන් වෙන්වීමට සැරසෙයි. දැනට දෙදෙනා දෙපොළක සිටින අතර මෙයට පිළියම් හා විසඳුම් මොනවාද?

 

යාපහුවේ - චිත්‍රානි

 

මෙයට හේතුව නම් උපතින්ම ඇයගේ හඳහනට අනුව නිදහස ප්‍රිය කරන තැනැත්තියකි. තම අභිමතයටම කටයුතු කරන ඇය මවුපියන්ගේ දැඩි නීතිවලට යටත්ව කටයුතු කිරීමට කැමති නොවෙයි. මෙය මව ලෙස වඩාත් හොඳින් දන්නවා ඇත. විවාහයට පෙර මෙම තරුණයා නීති රීති ඇයට පනවා නැති නිසා වසර ගණනක් ප්‍රේම සබඳතාවය පැවති තිබේ. ඔහුගේ හඳහනට අනුව විවාහයට පසු ඔහුගේ සැබෑ ස්වරූපය මතුවී ඇති බව පෙනේ. දෙදෙනා එකට සිටීමට ආ දවසේ සිට දෙදෙනාට දෙදෙනා සිතුම් පැතුම් වටහා ගත හැකි වේ. මෙයට හේතුව එයයි. විවාහයට පෙර හඳහන් ගළපා බලන්නේ නම් මේ සිතුම් පැතුම් ගැළපීමයි.

මොන ප්‍රතිකර්මය කළද මේ දෙදෙනා එක් කිරීමට ගන්නා උත්සාහයේ අවසාන ප්‍රතිඵලය මේ තරගයේ සිය දිවිය නසාගැනීම ද විය හැකියි. හොඳම දෙය නම් දෙදෙනාම වෙන්වීමට ඉඩහැරීම පමණි. නමුත් නීතියෙන් වෙන්වීමට කලක් ගතවීමට සිදුවේ. මෙම කාලය ද කායික මානසික පීඩාවන් ඇතිවන කාලයකි. හැකි ඉක්මනින් දරුවාගේ යහපත සඳහා සෙනසුරාදා දින බෝධි පූජා පටන් ගෙන අනිවාර්යෙන් දින 21ක් බෝධි පූජා තබන්න. විෂ්ණු දෙවියන්ට භාර වෙන්න සති මුර්තය පළඳවන්න.

 

වගාව පාඩු ලබයි

 

මා අක්කර විස්සක වගා කටයුතු කරමි. කන්න කිහිපයක සිට විශාල පාඩු ලබයි. මෙයට පිළියම් ලබාදෙන්න.

 

මැදවච්චියේ - ස්වර්ණාකාන්ති

 

ඔබ උපතින්ම වාසනාවන්ත කාන්තාවක් බව සඳහන් කරමි. නමුත් ගුරු ග්‍රහයාට පාප ග්‍රහයන්ගේ දෝෂ පෙන්වයි. මෙම කාලයේදී එම පාප ග්‍රහයන් ප්‍රබලව සිටින නිසා ගුරු ග්‍රහයා අකර්මණ්‍ය කර ඇත. එය වසර පහක කාලයක් තදින් බලපායි.

ධන ධාන්‍ය භෝග සම්පත් ලබාදෙන ගුරු ග්‍රහයා නැවත ප්‍රබල කළ යුතුයි. ඒ සඳහා බ්‍රහස්පතින්දා බෝධි පූජාවක් පටන්ගෙන දින හතක් තුළ එම බෝධි පූජාවක් පවත්වා එතැන් සිට බ්‍රහස්පතින්දා දින හතක් බෝධි පූජා පවත්වන්න. එම බෝධි පූජාවේදී තම උසට රන්වන් පාට හෝ තැඹිලි පාට මල් මාලයක් අමුණා බෝධි පූජා කරන්න. තැඹිලි තෙල් හෝ රන් තැඹිලි තෙල් පහන් නවයක් පූජා කරන්න. දැහැත්, බෙහෙත්, ගිලන්පස පූජා කර පිරිත් පොත ගෙන අටවිසි පිරිත, ජයමංගල ගාථා කියා පූජාව අවසන් කරන්න. ඔබට ජය ලැබේ.

 

ස්වාමියා පිළිකුල් වීම

 

මා විවාහ වී වසර දහයක් පමණ වේ. දරු දෙදෙනෙකුද සිටි. මා හට දැන් ස්වාමියා පිළිකුල් වෙයි. නමුත් ඔහු හොඳ පුද්ගලයෙකි. එයට හේතුව කුමක්ද?

 

පිළියන්දල - නිලන්ති

ඔබ දෙදෙනාගේම හඳහන් හොඳින් නිරීක්ෂණය කළෙමි. ඔබගේ හඳහනේ කුජ රවි සමඟ සිංහ රාශියේ සිටී. රාහු ද මෙලෙසම බලවත්ව පවතී. ඔබ අධි රාගික කතක් ලෙස හැඳින්විය හැකියි. ස්වාමියා ඉතා නිවුණු ගතිය ඇති ග්‍රහයන් ඇති පූජකයෙක් බඳු පුද්ගලයෙකි. ඇත්තටම ඔහු ලෞකික ජීවිතයට වඩා ලෝකෝත්තර සුවය ලබන්නට කැමති පුද්ගලයෙකි. මෙහි ඇති සත්‍ය නම් ඔබ පතන ලිංගික සුවය ඔහුට නොලැබෙන බවයි. ඔබ ගින්දර ලෙසත් ස්වාමියා ජලය සේ ක්‍රියා කරයි. තම සිත දමනය කර ජීවත්වීම ඉතා වැදගත් වෙයි. අඟහරුවාදා දින බෝධි පූජාව පටන්ගෙන දින හතක් එය දිනපතා පවත්වන්න. බණ භාවනා කෙරෙහි සිත යොමු කරන්න.

 

ආර්ථිකය කඩා වැටීම

 

මගේ ව්‍යාපාරද අඩාළ වී තිබේ. ස්වාමියාගේ රැකියාවද අහිමි වී අග හිඟකම් පවතී. මෙයට හේතුව සඳහන් කරන්න.

 

වාරියපොළ - උදිතා ජයන්ති

 

ඔබ මේ ගෙවන්නේ සෙනසුරු මහ දශාවේ කේතු අතුරු දශාවයි. ස්වාමියා ගෙවන්නේ කේතුගේ මහා දශාවේ සෙනසුරුගේ අතුරු දශාවයි. එමෙන්ම ඔබට සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකයද ස්වාමියා සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකය ගෙවයි. වසර තුනකුත් මාස අටක කාලයක් මාරක කාලයකි.

දෙදෙනාම සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වන්න. දින විසි එකක් බෝධි පූජා තබන්න. දින හතක් කපුටන්ට එළඟි තෙල් සහිත කිරි බතක් තබන්න. අතපය කැඩුණු වැඩිහිටි අයට උපකාර කරන්න. ආරණ්‍යවාසී සීලවන්ත භික්ෂුවකට වස්ත්‍ර පූජා කරන්න. දක්ෂ ජ්‍යොතිෂවේදියෙකු ලවා හඳහන බලා කටයුතු කිරීම යෝග්‍ය වෙයි.

 

ස්වාමියාගේ අධික රාගික බව

 

මගේ ස්වාමියාගේ වයස අවුරුදු 78කි. මාස හයක සිට ඉතා රාගික වී ඇත. බොහෝ කාන්තාවන්ගෙන් ඔහුගේ නොමනාකම් අසන්නට ලැබේ. මෙයට හේතුව කුමක්ද?

 

මාදම්පේ - බියට් ්‍රිස් පෙරේරා

මොහු මේ ගෙවන්නේ රාහු මහ දශාව ලබා රාහුගේ අතුරු දශාවයි. උපතින් රාහු රවි කුජ එකට සිටි. බොහෝ කලක සිට ඔහු රාගික පුද්ගලයෙකි. දැන් වයසට ගියත් රාගික බව වැඩි වී තිබේ. ඔබට ඉදිරියේදී උසාවි වල පවා යෑමට සිදුවේ. මෙවැනි පුද්ගලයින් අතින් කාන්තා දූෂණ පොඩි දරුවන් දූෂණ පවා සිදුවිය හැකිය. ඔහුගේ හඳහන සමඟ දක්ෂ ජෝතිෂඥයෙකු ළඟට රැගෙන යන්න. මේ තත්ත්වය පහදා දී සිදුවන්නට ඇති අවමානය අඩු කර ගත හැකි මෙවන් අය මා ළඟට පැමිණ තිබේ. ඔවුන් දැනුම්වත් කිරීමෙන් සිදුවන්නට ඇති හානිය වැළකී තිබේ. නමුත් මේ රාගික භාවය වැළකිය නොහැකි වේ.

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ