ජ්‍යොතිෂ ගැටලු

අගෝස්තු 19, 2024

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබා දෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

දරුවන්ගේ විවාහය ප්‍රමාදයි

 

මගේ දරු තිදෙනාටම විවාහය සහ රැකියා ලැබීම ප්‍රමාද වී තිබේ. මේවා ඉටුවීමට කොපමණ කාලයක් ගතවෙයිද?

අම්පාරේ - චන්දි

 

ඔබ යොමු කර ඇති පළමු දරුවාගේ කේන්ද්‍රය වෘෂභ ලග්නයෙන් ඉපද පළමු කොටුවේ කේතු හා හය වැනි කොටුවේ ගුරු ද හත්වැනි කොටුවේ රාහු, බුද, සිකුරු ද අටවෙනි කොටුවේ රවි, කුජ ද නවවැනි කොටුවේ චන්ද්‍රයා ද සිටී. ඉතා ජේත්තුකාර බාහිර ඔපයට බාහිර දෙයට ඉතා අාසා කරන චරිතයකි. තමා වෙත අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට ඉතා ප්‍රිය කරයි. අති සුඛෝපභෝගී ජීවිතයක්ම පතයි. ජීවිතය වරදවාගෙන මං මුළාවීමට මෙයම හේතුවන බව සඳහන් කළ හැකියි. එවැනි දේ ලබා ගැනීම සඳහා ජීවිතයේ වටිනාම දේ පවා පූජා කරයි.

 

එම නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් විවාහය යෝජිත විවාහයකින් කරන ලෙසත් තම ජීවිතය සරලව ගෙවීමට හැකි රැකියාවකට යොමු වන ලෙසත් සඳහන් කරමි. විවාහය හා රැකියාව ප්‍රමාද වීමට හේතුව ඉහත සඳහන් අධි තක්සේරුවයි.

 

ඔබගේ දෙවැනි දරුවා ද තමා ගැනම සිතා තම ගොඩ වැඩි කර ගැනීමට සිතන ආත්මාර්ථකාමී චරිතයකි. මෙවන් අයට ද විවාහය සහ රැකියාව කල්ගතවීම සහ අහිමි වීම සිදු වේ. කා සමඟත් සමඟිව ජීවත්වීමට කියා දෙන්න. තුන්වෙනි දරුවාද පළමු දරුවා හා සමාන වෙයි. නමුත් හොඳ විවාහයක් සහ රැකියාවක් ලැබීමට වාසනාව ඇත.

 

සිහිනෙන් සූරතාන්තයට පත්වෙයි.

 

විවාහය ප්‍රමාද වන මා හට සිහිනෙන් අඹුසැමි ඇසුර මෙන් පෙනී සූරතාන්තයට පත්වේ. එය සෑම කෙන්මුර දිනයකම සිදුවේ. මා කඩවර පහන ද දල්වමි.

 

කොට්ටාවේ මල්කාන්ති

 

ඔබගේ හඳහනට අනුව ඇදහිලි තදින්ම විශ්වාස කරන අයෙකි. අනිවාර්යයෙන්ම ඔබට මේ සිදුවීම සිදුවන්නේ මේ කඩවර පහන දැල්වීමෙන් බව සඳහන් කරමි. තරුණ කාන්තාවකට මෙය සුදුසු නොවේ. කළු කුමාර, මල් කඩවර බැල්ම වැටීම යැයි ගුප්ත විද්‍යාවේ මෙය සඳහන් වෙයි. දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව ස්වප්න මෝචන දෝෂද වෙයි. පළමුව පහන දැල්වීම නතර කර දක්ෂ ජ්‍යොතිෂය, ආයුර්වේදය හැදෑරු වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න.

 

ස්වාමියාගේ පහස එපා වෙයි

 

මා හා ස්වාමියා වසර 7ක සබඳතාවයකින් විවාහ වූයෙමු. දරුවන් ලැබී ටික කලකින්ම මා හට ස්වාමියාගේ පහස ද ස්වාමියාට මාගේ පහස ද එපා විය. දෙදෙනාම වෙන අයගෙන් සැනසීම පතයි. මෙයට හේතුව කුමක්ද?

 

දැරණියගල නිශානි

 

දෙදෙනාගේම උපන් හඳහනේ චන්ද්‍රයාගේ පිහිටීම අනුව සිතුම් පැතුම් වෙනස් වෙයි. ලිංගික සම්බන්ධතාවයේදී ඒකාකාරී ජීවිතය දෙදෙනාටම නොගැළපෙයි. දෙදෙනාම විවිධ රසයන් සොයයි. මෙය ඔබ ඉතා අධික ලෙස පතයි. ඉතා රාගික වෙයි. හේතුව මෙය බව අවධාරණය කරමි. මෙය සංසාර පුරුද්දක් ද වෙයි. දරුවන් ගැන සිතා තම සිත පාලනය කරගෙන කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඉදිරි කාලයේදී ඉතා දරුණු සමේ රෝග දරුණු සමාජ රෝග පවා ඇතිවීමට ඉඩ තිබේ. නිතර ආගමික කටයුතුවල යෙදෙන්න.

මාස් ශුද්ධියේ ගැටලු

 

මා හට මාස් ශුද්ධිය නතර නොවෙයි. ප්‍රතිකාර කළද කිසිම සුවයක් නොවේ. ප්‍රතිකර්මයක් තිබේදැයි කියන්න.

 

පදියපැළැල්ලේ නිරංජලා

 

උපතින්ම ඔබගේ හඳහනේ කේතු, රාහු, කුජ දෝෂ සහිතව පිහිටා ඇත. මල්වරවීම ද නරක වෙලාවක සිදුවී ඇති බව සඳහන් කළ හැකියි. මෙය කළු කුමාර දෝෂය යැයිද සඳහන් කළ හැකියි. දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සිදුවන බවද සඳහන් කරමි. සප්ත ප්‍රදරය යනු මෙයයි. ඖෂධ හා යන්ත්‍ර මන්ත්‍ර මඟින් මෙය සම්පූර්ණයෙන් සුව කළ හැකි වේ. දක්ෂ දේශීය වෛද්‍ය, ජ්‍යොතිර්වේදියෙකු හමුවන්න. නියමිත ප්‍රතිකාර මඟින් මෙය නිට්ටාවටම සුව වෙයි.