ජ්‍යොතිෂ ගැටලු

අගෝස්තු 26, 2024

 

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
 

සැමියාගේ දුරස් වීම

මාගේ ස්වාමියා මා අතහැර ගොස් තිබේ. නමුත් ඔහු නීතියෙන් ද වෙන් වී නොමැත. වසර හතක් මෙසේ සිටීමට හේතුව කුමක්ද?
වටරැක - ප්‍රියන්ති

ඔබගේ ස්වාමියාගේ හඳහනේ කුජ මහා දශාව ගෙවමින් තිබේ. ඔබ කේතුගේ මහා දශාව ගෙවයි. මේ වන විට ස්වාමියා අතිධාවනකාරී වෙයි. ඔබ එහි විරුද්ධ පාර්ශ්වය ලෙස කටයුතු කරමින් මන්දගාමී ලෙස ක්‍රියා කරයි. ඔබ දෙදෙනාගේ එක්වීමේදී ද එය වැටහී නොමැති බව කිව හැකියි. තවත් වසර දෙකහමාරකට පසු මෙම තත්ත්වය සමනය වෙයි. එයට හේතුව ස්වාමියාට රාහුගේ මහ දශාවත් ඔබට සිකුරුගේ මහ දශාවත් ලබනවා ඇත. එවිට දෙදෙනාට දෙදෙනා ප්‍රිය වෙයි. ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. බෝධි පූජා පවත්වා විෂ්ණු, කතරගම දෙවියන්ට බාර වෙන්න.

දේව වරම නිසා ගැටලු

මා හට වරමක් ඇති බව පැවසූ ඇදුරෙක් මට එම වරම ලබාදීමට යැයි පවසා පූජා කිහිපයක් පවත්වන ලදී. දැන් මා හට සමහර දිනවල කරන කියන දේ අමතකව උන්මත්තක ගතියක් දැනේ. මෙයට හේතු පවසන්න.
හොරණ - මධුෂානි

ඔබගේ හඳහනට අනුව චන්ද්‍රයාගේ පිහිටීම නිසා උපතින්ම උන්මත්තක ගතියක් පෙන්වයි. මෙය කලක් සිට පවතින බව කිය හැකියි. පෝය දිනවල ආසන්නයේ මෙය වැඩි වෙයි. වයසින් මුහුකුරා යන විට ස්නායු දුර්වල වන නිසා මේ තත්ත්වය දැන් ඇතිවී තිබේ. කුඩා මස්තිෂ්කයේ ඉහළ ප්‍රදේශයෙන් ආරම්භ වී සුෂුම්නාවේ ඉහළ ප්‍රදේශයේ මෙම ස්නායු තෙරපුම සිදු වේ. දක්ෂ වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

බාල වයස් ඇසුරට කැමැත්ත

මා හට විවාහ වීමට හිත නොදෙයි. විවිධ වයස්වල අය ඇසුරු කරන මා හට මට වඩා බාල අය සමඟ ප්‍රිය වෙයි. මෙයට හේතුව කුමක්ද?

වැල්ලවත්තේ - නිරූපමා

ඔබ උපතින්ම නිදහස ප්‍රිය කරන එක රාමුවකට කොටුවී සිටීමට අකැමැති අයෙකි. එම නිසා විවිධ ඇසුරු සොයයි. එවැනි අය කිසි දිනෙක විවාහ නොවේ. විවාහ වුවත් ඉතා කෙටි කලකින් වෙන් වීම සිදු වේ. එසේම ඔබේ ඇසුර ලබන ඕනෑම අයෙකු ඉතා කෙටි කලකින් එපාවෙයි. වයස අඩු වුවත්, වැඩි වුවත් එය එසේම වෙයි. නමුත් බාල වයස්කාරයන් දකින විට ඔබට හැඟීම් පාලනය කරගත නොහැකි වේ. ඉතා කෙටි කාලයක් තුළ ඔබේ චරිතය බිඳ වැටී සමාජයට මුහුණ දීමට නොහැකි වීමට ඉඩ තිබේ. ප්‍රවේශමෙන් ජීවිතයට මුහුණ දෙන්න. දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙකුගෙන් උපදෙස් ලබාගන්න.

පෙම්වතුන්ගේ ඇසුර

මා මෙවර උසස් පෙළට පෙනී සිටින ශිෂ්‍යාවකි. මේ වන විටත් පෙම්වතුන් කිහිප දෙනෙකු අැසුරු කළ මා කායිකව ද එක් වී ඇත. අධ්‍යාපනයේ දක්ෂ වූ මා මේ වන විට එය එපාවූ තත්ත්වයට පත් වී තිබේ. මෙයට පිළියමක් දක්වන්න.
දෙල්තොට - මියුනි

පළමුව මා සඳහන් කරනුයේ විශිෂ්ට ලෙස ඔබට විභාගය සමත් වීමට හැකියාව ඇති බවයි. එය අනිවාර්යෙන්ම සිදුවෙයි. ඔබ වැඩිවියට පත්ව මාස ගණනක් ඇතුළත ඔබ පවසන තත්ත්වය උදාවී තිබේ. එම නිසා සිත පාලනය කරගෙන අධ්‍යාපනයට මුල්තැන දෙන්න. නමුත් ඔබ සඳහන් කරන ආකාරයට ඔබගේ හැඟීම අතිධාවනකාරී වෙයි. තමාට ගැළපෙන එක ඇසුරක් පවත්වන්න. එය ඔබට ලබාදෙන උපදේශයකි. නැතිනම් ඔබට භයානක රෝගවලටද මුහුණ දීමට සිදුවන මා පවසමි. සෙනසුරාදා දින බෝධි පූජා ආරම්භ කර දින විසි එකක් එම බෝධි පූජාව පවත්වන්න. නිතරම ආගමික වතාවත්වල යෙදෙන්න. කුමන හෝ ක්‍රීඩාවකට යොමුවීම ද යෝග අභ්‍යාසවල යෙදීමද මේ තත්ත්වයෙන් මිදීමට හොඳම මාර්ගයයි.

උපදෙස්
‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ