ජ්‍යොතිෂ ගැටලු

ඔක්තෝබර් 7, 2024

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබා දෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

කඩඉම් වයසේදී දරුණු අපල

 

මාගේ ස්වාමියා මියගියේ මගේ වයස අවුරුදු 29 දීය. පසුගිය මාස කිහිපයකට පෙර වැඩිමහල් දරුවා අකාලයේ මියගියේ මට වයස 39දීය. මට මෙසේ වන්නේ ඇයි?

 

මාතර වෙහෙරහේන - ජීවනි මුතුහෙට්ටි

 

ඔබ ගැටලුව සඳහන් කර තිබූ ආකාරයට මෙයට හේතුව මගෙන් විමසීමට පෙර ජ්‍යොතිෂවේදීන්ගෙන් දැන සිටින බව සිතාගත හැකියි. මම ඔබට මෙසේ සඳහන් කරමි. ඔබ උපන් නැකතත් ග්‍රහ පිහිටීම්වලටත් අනුව ඔබගේ ජීවිතයේ හොඳ නරක සිදු වන්නේ වයස් කඩඉම් සීමාවන්ගේ දීය. ඔබගේ දෙවැනි උත්පත්තිය වන මල්වරවීම, විවාහය, අවසානයේ ඔබගේ මියයෑම ද සිදු වන්නේ මෙවැනි කඩඉම්වලදී බව සඳහන් කළ හැකි වේ. අනිවාර්යයෙන් වයස අවුරුදු 9 දී මල්වර වීමත්, 19 දී විවාහ වීමත්, 29දී ස්වාමියා මිය යෑමත්, 39දී වැඩිමහල් දරුවා මියයෑමත් එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයකි.

 

එම නිසා හැකි තරම් පින් දහම් කරන්න. නුවර දන්ත ධාතුන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, කතරගම කිරි වෙහෙර, අෂ්ටඵල බෝධිය හැකි ආකාරයකින් වන්දනාමාන කර පුද පූජා තබන්න. සෑම මසකම පොහෝ දිනයට යෙදෙන සෙනසුරාදා දිනෙක අඛණ්ඩ බෝධි පූජා පවත්වන්න. කෙසේ හෝ පෝය දින සිල් ගැනීම සිදු කරන්නේ නම් පෙර සඳහන් කළ කිසිවක් කළ යුතු නැත. නැත්නම් පෙහෙවස් සමාදන් වන්න. සියලු අපල දුරුවනවා සත්‍යයි.

 

ජීවිතයේ ගැටලු ගොඩයි

 

මා කලක් ප්‍රසිද්ධ වූ කෙනෙකි. කුඩා පැලක සිටි මට මාලිගාවක් වැනි නිවෙසක්, යාන වාහන වතුපිටි හිමි විය. අවසානයේ ස්වාමියාද මියගොස් දියණිය ද මා හැර ගොස් එකම පුතු ද මන්දබුද්ධික වී මා අසරණ විය. මෙසේ සිදු වූයේ ඇයි?

 

මැණික්හින්නේ - සුධර්මා

 

ඔබ උපතින් වාසනාව රැගෙන ආ කාන්තාවකි. ඔබ තේ කඩයක් ආරම්භ කළත් විශාල ව්‍යාපාරික කාන්තාවක් වෙයි. පෙර කළ කර්මයකට ඔබ තෝරාගත් විෂය ඔබේ කර්මයම වී ඇත. පෙර ආත්ම භවයක කළ නුසුදුසු ක්‍රියාවක් නිසා මේ භවයේදී මේ තත්ත්වය උදා වී තිබේ. දැනට සිත සාදාගෙන මෙයට අයත් පුද පූජා වතාවත් ඉටු කරමින් ධාර්මික ජීවිතයක් ගත කිරීම තුළින් අනාගතය යහපත් කරගත හැකි වනු ඇත.

 

සුව නොවන රෝග රැසක්

 

මා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙමි. මා හට නිතර උණ ගතිය වමනය හා ශරීරය පුරා ආසාත්මිකතා ඇති වෙයි. ප්‍රතිකාර කළ ද සුව නොවෙයි. හඳහනට අනුව මේ නරක දෝෂයක්දැයි පවසන්න.

 

උණවටුනේ - රූපිකා

හඳහනට අනුව අනිවාර්යයෙන්ම ඔබට සමාජ රෝග වැනි දරුණු රෝග වැලඳීමට ඉඩ ඇති බව පෙන්වයි. මෙය ඔබගේ මල්වර නැකැත් සෑදූ ජ්‍යොතිෂ්‍යවේදියා පවසා තිබිය යුතුව තිබේ. මෙය එවැනි රෝග තත්ත්වයක් බව අවධාරණයෙන් සඳහන් කරමි. මේ පිළිබඳ ප්‍රතිකාර ඕනෑ තරම් ඇත. මෙවැනි සායනයකට යොමුවන ලෙසත්, අඛණ්ඩව ඖෂධ ලබා ගන්නා ලෙසත් අවවාදාත්මකව සඳහන් කරමි.

 

ස්වාමියා පිළිබඳ හැඟීම් ඇති නොවෙයි

 

මම දරුවන් තිදෙනකුගේ මවක් වෙමි. මගේ ස්වාමියා ගණිකා ඇසුර ලබයි. මෙය ඔප්පු වී ද ඇත. ඔහු ගැන හැඟීමක් මට ඇති නොවේ. වසර හතක සිට මේ තත්ත්වය පවතී. මෙයට පිළියම් තිබේද?

 

වැලිවේරියේ - පුෂ්ප කාන්තා

 

ඔබගේ හඳහන පමණක් බලා නිවැරැදිව කිව නොහැකි වුවත් ඔබගේද වැරැදි ඇති බව කිව හැකියි. පළමුව තමා වාචිකව පවසන දේ පිළිබඳ දෙවරක් සිතා කටයුතු කරන්න. ලිංගිකත්වය පමණක් නොව සහජීවනය ද සිදුවිය යුතුම වෙයි. ඔහු මේ තත්ත්වයට පත් කිරීමට හේතුව ඔබ යැයි කිව යුතුය. ඔබද ආදරය සෙනෙහසට වඩා මිල මුදල් වස්තුවට ප්‍රිය කරන කෙනකු බව සඳහන් කරමි. ඔබගේ හෘද සාක්ෂියට අනුව එය පිළිගැනීම ඉතා වැදගත් වෙයි. නමුත් උපතින් ඇති විවාහ දෝෂ දුරු කිරීමට බෝධි පූජා තබා, ශිව පාර්වතියට පුද පූජා තබා බාර වෙන්න.

 

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ