වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
ඔබේ දියුණුව ගැන හරියටම කියන ශීර්ෂ රේඛාව
ඔබේ අත්ලෙන් ජීවිතේ විනිවිද දකින්නට අත්වැල් සපයන විශේෂාංගයේ තවත් පියවරකි මේ. පසුගිය සතියේ අපි ජීවන රේඛාව ගැන කතා කළෙමු. දෙවනුව ප්‍රධාන රේඛාවක් ලෙස සැලකෙන්නේ ශීර්ෂ රේඛාවයි. මේ දිගහැරුම ඒ පිළිබඳවයි.
එම රේඛාව සොයා ගැනීමේදී ඔබට අතේ පිහිටි මණ්ඩල නවය සහ අතේ ලග්න දොළහ පිහිටා ඇති අයුරු හඳුනා ගැනීම වැදගත්. එබැවින් 01 රූප සටහන බැලීමෙන් අතේ මණ්ඩල එනම් බුධ, රවි, ශනි, ගුරු, පහළ කුජ, චන්ද්‍ර, කිවි, කුජ කලාව, ඉහළ කුජ මණ්ඩලය ආදී වශයෙන් ග්‍රහ මණ්ඩලයේ පිහිටීම හඳුනා ගත හැකියි. 02 රූප සටහනට අනුව අංක පිළිවෙළට ඔබේ අතේ පිහිටි මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා වෘශ්චික, ධනු, මකර, කුම්භ යන ලග්න 12 හඳුනාගත හැකි වේ. මේ අනුව ඔබේ අත්ලේ ඇති ශීර්ෂ රේඛාව හඳුනා ගනිමු.
ඕනෑම කෙනෙකුගේ අතෙහි ගුරු මණ්ඩලයේ සිට හෘද රේඛාවට යටින් අත්ල හරහා ඉහළ කුජ මණ්ඩලය දක්වා විහිද යන රේඛාව ශීර්ෂ රේඛාව ලෙස හඳුන්වනු ලැබේ. ශීර්ෂ රේඛාව අත්ල හිමියාගේ මොළය, මනස සහ සිත ක්‍රියාකරන ආකාරය පිළිබිඹු කරයි. ඒ අනුව කෙනකුගේ ජීවිතයේ දියුණුව හෝ බිඳ වැටීම, ඥානය, රෝග පීඩා සහ මොළයේ ආබාධ මෙම රේඛාවේ පිහිටීම අනුව නිශ්චිතව කිව හැකියි.
එලෙසම මොළයේ සහ මනසේ ප්‍රධාන ප්‍රතිමූර්තිය වන මහපට ඇඟිල්ලත් සිතට අධිපති සඳුට හිමි චන්ද්‍ර මණ්ඩලයත් පරීක්ෂා කිරීමෙන් එය තවදුරටත් නිශ්චිතව කිව හැකි වේ.
ඔබ සතු නොපසුබට උත්සාහයත්, අප්‍රතිහත ධෛර්යයත්, උපතින්ම පිහිටන එවන් අත්ලක් හිමි අය මනාව ශිල්ප ශාස්ත්‍ර අවබෝධය ඇති කරගන්නා අතර ඉතා සාර්ථක ලෙස ධනෝපායන මාර්ග දියුණු කර ගනිති.
කැඩීම්, බිඳීම්, දූපත්, දම්වැල්, කතිර, කුරුස ආදී අශුභ ලක්ෂණයන්ගෙන් ශීර්ෂ රේඛාව දුබල වුවහොත් නැණ නුවණ මඳවීමද, චිත්ත ශක්තිය දුර්වල වීමද සිදුවේ. එමෙන්ම ආයුෂ මඳ වේ. ශීර්ෂ රේඛාව අවසන් වන තැන්හි ජීවිතය අවසන් වේ.
මෙය නිවැරදිව නිශ්චිත කළ යුත්තේ ජීවන රේඛාව සියුම්ව පරීක්ෂා කර මැන බැලීමෙනි.
ජීවන රේඛාවද ශීර්ෂ රේඛාව ද කෙටි වුවහොත් එය ආයු පිරිහීමක් බව වටහා ගත යුතුවේ. තරු, කුරුස ආදිය සලකුණු මත මෙම රේඛාව අවසන් වූයේ නම් හදිසියෙන් මරණය සිදු වෙන්නට ඉඩ ඇත. එසේම ජීවන රේඛාවත් ශීර්ෂ රේඛාවත් එක්ව ආරම්භ වී මඳ දුරක් ගොස් බෙදීම ගුරු මණ්ඩලය යට දී සිදුවුවහොත් හෙතෙම යුක්තිගරුක අවංක බුද්ධිමතෙකු වේ.
ශනි මණ්ඩලය යටදී සිදුවූයේ නම් අලස බව දක්වන මඳ නුවණ ඇත්තෙකි.
ඔබ ප්‍රබල අධිෂ්ඨාන ශක්තියක් ද මනා සෞඛ්‍යයෙන් යුතු සිරුරක් ද පරිපාලනයෙහි සුවිශේෂී දක්ෂතාවයක් ද ඇති අයෙක් නම් අනිවාර්යයෙන්ම ශීර්ෂ රේඛාව ගුරු මණ්ඩලයෙහි දී ජීවන රේඛාව සමඟ ආරම්භ වී මඳ දුරක් ගොස් බෙදී අත්ල හරහා පිහිටයි. එහෙත් ජීවන රේඛාව සමඟ ආරම්භ වී බෙදී යන ශීර්ෂ රේඛාව අශුභ ලක්ෂණයකි.
එවැනි පිහිටීම් ශීර්ෂ රේඛාව ඇදවෙමින් විහිදී ගියහොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්තියක් ඇති නිතර අදහස් විචල්‍ය වන ගතිගුණ පිහිටයි. ඍජුව විහිද ගියහොත් ස්ථිර සිතුවිලි ඇතිවේ. තම මතය අනුව කටයුතු කරයි. කෙනෙක්ගේ ශීර්ෂ රේඛාව සිහින්වද කෙටිවද පිහිටා අනෙක් රේඛා ගැඹුරුව මනාව පිහිටියේ නම් එම පුද්ගලයාගේ සිත දුර්වල වේ. ඉතා සුළු දෙයටත් සිත කරදර කරගනියි.
ඔබේ ජීවන රේඛාව හෝ ශීර්ෂ රේඛාව වම් අතේ දුර්වලවද දකුණු අතේ ප්‍රබලවද පිහිටියේ නම් උසස් තත්ත්වයකට පත්වේ. වම් අතේ ප්රබලව ද දකුණු අතෙහි දුර්වලවද පැවතියේ නම් උසස් තත්ත්වයේ සිට දුර්වල තත්ත්වයකට පත්වන බව ඇඟවේ.
ශීර්ෂ රේඛාව සහ ජීවන රේඛාව එක්ව අත්ල දිගේ පිහිටියේ නම් තම අභිලාෂයන් සියල්ල සිතූ පැතූ ලෙසින්ම සපුරා ගන්නට එම අත්ල හිමියන්ට වාසනාව උදාවේ. හැඟීම් සහ බුද්ධිය හෙවත් මානසික ශක්තියත්, ඥානයත් එක්තැන්වීම නිසා මෙම පිහිටීම අතිශයින්ම ප්‍රබල වේ. ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව ජයග්‍රාහී ඉලක්ක හඹා යාමට එම අත්ල හිමියාට අසමසම ශක්තියක් හිමිවෙයි.
ශීර්ෂ රේඛාව සහ බුධ රේඛාව කැපෙන ස්ථානයේ තරු සලකුණක් වී නම් ඒ අයට දරුවන් නොමැති බවත් දරුපල රහිත බවත් පෙන්නුම් කෙරේ. මෙවැනි දේ කල්තියාම හඳුනාගෙන වත් පිළිවෙත් කළහොත් ඔබට ජීවිතේ දිනන්නට හැකි වේවි.
රේඛා ශාස්ත්‍රය පිරික්සීමේදී ඔබේ ජීවිතයට යම් අයහපතක්, අනතුරක් ඇතැයි දැනුණහොත් එයට ජ්‍යොතිෂයානුකූලව හෝ ආගමානුකූලව කෙම්පහන් කරගත හැකි බව සිහි තබා ගන්න.
ප්‍රවීණ ජ්යොතිර්වේදීනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය
රූ රටා:- නිලක්ෂි ආරියරත්න