විවාහය හරියටම හරියන විෂ්ණු මංගල ශ්‍රී අඳුන් යන්ත්‍රය

පෙබරවාරි 3, 2025

විශ්වාසය, වාසනාව හා හඳුනාගැනීම නම් සිද්ධාන්තය පදනම් වූ විවාහය අපගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයකි. එය කොයි අයුරින් අර්ථකථනය කළත් ප්‍රායෝගිකව විවාහ ජීවිතයේ විවිධ බාධක, අභියෝග එල්ලවෙන අවස්ථා ගැන අපට පූර්වකථනය කළ නොහැකි වෙයි. නමුත් රන් හුයකින් බැඳෙන දෑගිලි අතර ශක්තිමත්ව වැඩේ වන්නේ ගැළපෙන විවාහයත් සිදු කිරීමෙනි.

ජ්‍යොතිෂවේදයේ විවාහ පොරොන්දම් ගැළපීම අප සිදු කරන්නේ මෙලෙස විවාහ වන දෙදෙනාගේ ඇති ගැළපීම් හා දෝෂ හඳුනා ගැනීමටය. මෙලෙසින් විවාහ පොරොන්දම් ගැළපීම බොහෝ දෙනෙකු සාම්ප්‍රදායිකව සිදු කරන කටයුත්තකි. ඒ සඳහා විවාහවීමට අපේක්ෂිත ස්ත්‍රී - පුරුෂ දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාව පළමුව සිදු කළ යුතු වෙයි. මේ සඳහා දක්ෂ ජ්‍යොතිෂවේදියකුගේ උපදෙස් හා මඟපෙන්වීම ලබාගත ගැනීම පළමු පියවරයි.

මෙසේ විවාහ පොරොන්දම් ගැළපීමේදී ජන්ම පත්‍රවල පවතින දෝෂ ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේ පවතින දෝෂ හඳුනාගත් විට ඒ සඳහා පිළියම් අපට විවාහයට පෙර හෝ පසුව කළ හැකි වෙයි. කුජ (අඟහරු) දෝෂය, මංගල අංගාර දෝෂය, වෛද්‍ය භෞම දෝෂය ලෙස ප්‍රධාන දෝෂ කිහිපයක් පවතී.

එම දෝෂයන්ට අමතරව විෂ කන්‍යා දෝෂ, යෝග දෝෂ, කඩහංදි හාරක දෝෂ, ශනි මංගල දෝෂ, වැන්දඹු දෝෂ, කළුකුමාර දෝෂ, තුන් කුලුඳුල් දෝෂ, ලේ නෑ දෝෂ සහ සරාගී දෝෂ ලෙස තවත් දෝෂ රැසක්ම පවතියි. මෙසේ පවතින දෝෂ භංග කිරීම සඳහා ක්‍රම හා යන්ත්‍ර පලඳනා කිහිපයක්ම පවතී. මේ අතරින් විවාහ දෝෂ භංග කරවන විෂ්ණු මංගල ශ්‍රී අඳුන් යන්ත්‍රය පැලඳීම ඉතාම සාර්ථක ජ්‍යොතිෂ පිළියමකි. එසේම මේ යන්ත්‍රය විවාහ දෝෂ දුරු කිරීම සඳහා ඇති සාර්ථකම යන්තරය ලෙස බොහෝ දෙනෙකු පිළිගනියි.

මෙහි ප්‍රතිඵලය කෙතරම් වේගවත් දැයි දක්ෂ ජ්‍යෙතිෂවේදියකුට නියම ලෙසම සඳහන් කිරීමේ හැකියාව පවතී. මේ යන්ත්‍රය නිවැරැදි ලෙස ජ්‍යොතිෂවේදී උපදෙස් මතම සිදු කළහොත් මාස අටක් වැනි කාලයකින් ඕනෑම විවාහයක් ස්ථිර වෙයි. තවද පවුල් ජීවිතවල ගැටලු හා ආරවුල් ඇති අයට ද මෙම යන්ත්‍රය ඉතාම සාර්ථකය. මෙම යන්ත්‍රය පැලඳීමේදී හා ජීවං කිරීමේදී හා ප්‍රස්තාර කිරීම සිකුරාදා දින දෙකක් තුළ සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. මෙය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා රන් ආලේපිත තහඩුවක අැඳීම කළ හැකි නම් වඩාත් සුබ වේ. මෙසේ යන්ත්‍රය ජීවම් කරන අතර හබරල අලවලින් කැපූ ස්ත්‍රී පුරුෂ රූප දෙකක් ජීවම් කළ යුතු වෙයි.

එම රූප දෙක මඟුල්කරද පොත්තකින් වෙලා, පාට තුනක නූලකින් බැඳ යන්තරය පලඳින තැනැත්තා හෝ තැනැත්තිය ලවා අතරමඟදී හමුවන ජල පහරකට විසි කළ යුතුය. මෙසේ කිරීමෙන් පසු විෂ්ණු දෙවියන්ට පූජාවක් පවත්වා මේ කටයුත්ත අවසන් කරන්න.

ඔබට මෙම කටයුත්ත තනිවම කර ගැනීමට අපහසු වේ නම් විෂ්ණු දේවාලයක කපු මහතකු හමු වී ඔහුගේ උපදෙස් මත සිදු කිරීම ද සාර්ථක ප්‍රතිඵල ළඟා කරයි.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි අංක විද්‍යා විශාරද

සුජීවා කරුණාරත්න

 

දුමින්ද කාරියවසම්

[email protected]