ලක්ෂ්මී යන්ත්‍රයෙන් ඔබේ ව්‍යාපාරය දියුණු කර ගන්න

පෙබරවාරි 17, 2025

අතේ මුදල් හදල් ගැවසීම අපට නිතර සිතට සතුට ගෙන එන්නකි. මුදලට සහ සතුටට අධිපති ලක්ෂ්මී දේවිය හරිහැටි ඇදහීම හරහා ජීවිතයට සතුට ළඟා කර ගත හැකි බව කියවෙයි. ව්‍යාපාර සඳහා බලපාන ලක්ෂ්මී යාදිනිය පවුලට සෞභාග්‍යය කැන්දන බව ද කියවේ.

නමුත් බටහිර රටවල මෙවැනි යන්ත්‍ර මන්ත්‍ර, ශාස්ත්‍ර පිළිබඳ විශ්වාසය නොතැබුවත් ආසියානු රටවල මේ පිළිබඳ ප්‍රබල විශ්වාසයක් පවතියි. මෙම යන්තර මන්ත්‍ර, ශාස්ත්‍රයන්ගේ පවතින යථාර්ථය පිළිබඳ විවිධ සමාජ පර්යේෂණ මඟින් සනාථ කර ඇති නිසාම අප රටේ බොහෝ පිරිසක් මේ යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම සඳහා යොමුවීමට ආගමික පසුබිම ද හේතු වී තිබේ. එහෙත් මෙවැනි යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සිදු කිරීම ව්‍යාපාරයක් බවට පත් වී ඇත. විශාල මුදලක් අයකර ගනිමින් මෙවැනි යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කටයුතු සිදුකරන පුද්ගලයන් බිහි වී ඇති නිසාම මෙහි ඇති වටිනාකම, බලය සහ විශ්වාසය බිඳ වැටී තිබේ. එහෙත් ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු විශාල මුදලක් වැය නොකර ඔබටම ඉතාම නිවැරදිව පහසුවෙන් කර ගැනීමට ද හැකියාව තිබේ.

ඒ අනුව අප ඔබට මෙවර හඳුන්වා දෙන්නේ මහා ලක්ෂ්මී දෙවියන්ගේ ආරක්ෂාව ලබාදෙන මහා ලක්ෂ්මී යන්ත්‍රයක් සකස් කර ගන්නා ආකාරයයි. ලක්ෂ්මී දෙවියන්ගේ ආරක්ෂාව හා රැකවරණය බොහෝ විට ලැබෙන්නේ ව්‍යාපාර කටයුතු සඳහාය. ඔබ කිසියම් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ කිසියම් නිෂ්පාදන කටයුත්තක් කරන්නේ නම් එම කටයුත්ත දියුණු වී ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සඳහා ලක්ෂ්මී දෙවියන්ගේ ආරක්ෂාව බෙහෙවින්ම වැදගත් වෙයි. ඒ සඳහා ලක්ෂ්මී දෙවියන්ගේ යන්ත්‍රයක් සකස් කර එම යන්ත්‍රයට වන්දනා කිරීම නිරන්තරයෙන් සිදු කිරීමෙන් නියත ලෙසම ඔබගේ ව්‍යාපාරය දියුණු තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇත.

සකස් කළ මෙවැනි ලක්ෂ්මී යන්ත්‍ර ද දැන් මුද්‍රණය කර වෙළෙඳ පොළේ විකිණීමට තිබේ. එහෙත් එම යන්ත්‍රවල ප්‍රමිතිය හා දිග, පළල හා එම අක්ෂරවල පවතින නිවැරැදි බව පිළිබඳ ගැටලු පවතියි. එම නිසා ඔබට නිවැරැදි ලෙසින් ලක්ෂ්මී යන්ත්‍රයක් සකස් කර ගැනීමට හැකි නම් එය වඩාත් සාර්ථක වෙයි.

මේ සඳහා රත්තරන් මිශ්‍ර කළ තඹපතක් භාවිත කළ හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එසේ කිරීමට නොහැකි නම් තඹ පත්‍රයක් මේ සඳහා භාවිත කළ හැකි වේ. දිග අඟල් 7x2 ප්‍රමාණයේ තඹපත්‍රයක මෙය නිර්මාණය කළ හැකිවනු ඇත. මේ කටයුත්ත ඔබටම කර ගැනීමට අපහසු නම් පළපුරුදු ජ්‍යොතිශාස්ත්‍රඥයකුට පවරන්න. ඔහු මෙය නියම අයුරින් ජීවම් කර නිවැරදිව නිර්මාණය කරදෙනු ඇත.

 

ශ්‍රී ලක්ෂ්මී පූජාව පවත්වන ආකාරය

 

මේ සඳහා මල්, බුලත් තටුවට පූජාව වශයෙන් නෙළුම් මල් 3ක්, ගිතෙල් පහනක්, කිරිබත්, උක් හකුරු, එළකිරි, විළඳ, මී පැණි, සුදු හඳුන්, බුලත්, පලතුරු වර්ග 9ක්, තැඹිලි ගෙඩියක්, රතු අරලිය මල් හා කාන්තා ආභරණ හා ඇඳුම් තබා ගන්න. ශ්‍රී කාන්තා අඳුන සඳහා මෙම ඖෂධ වර්ග පසළොස්වක පෝදින අඹරා ගන්න. නෙළුම් රේණු, සමන් පිච්ච මල්, සේපාලිකා, කොබෝනීල මල්, සුදු රත්මල්, සුදු අරලිය මල්, සුදු කටරොළු, සුදු වදමල්, බෙලි මල්, සැවැන්දරා, විෂ්ණුක්‍රාන්තිය, සුදු හඳුන්, සක් කුඹු, කුංකුමප්පු, සාම්බ්‍රානි, රන්තැඹිලි මුල්, සුදු සාරණ මුල්, කීකිරිඳිය මුල්, සඳුන් තෙලින් අඹරා මල් අසුනේ යන්ත්‍රය සහිතව තබා මෙම දිෂ්ටි මන්ත්‍රයෙන් 108 වරක් ජපකර ගන්න.

 

ඕං හ්‍රීං ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී ශ්‍රියා දේවී දිෂ්ටි වර වර නමඃ :-

ඕං ශ්‍රීං ශ්‍රියා කාන්තා දිෂ්ටි දිෂ්ටි ඒස්වාහඃ :- ඕං හ්‍රීං ශ්‍රියා කාන්තා දේවී දිෂ්ටි බන්ධ බන්ධ ඒස්වාහඃ

 

මේ මන්ත්‍රයෙන් 108 වරක් ජපකර ප්‍රාණය ඇති කරන්න. ඕං හ්‍රීං හ්‍රීං සවේ සවේ රහිතේ රහිතේ ක්ලිං ක්ලිං සවේසවේ හිතේ හිතේ සර්ව ඖෂධ ප්‍රාණ හිතං විතරෙ නමෝ නමස්මාහා ඕං සර්ව මන්ත්‍ර ඖෂ්ධ ප්‍රාණ ප්‍රාණ ප්‍රාණ ඒස්වාහා….

 

ජීවම් මන්ත්‍රය :- ඕං ශ්‍රී විෂ්ණු නාරායනේ නමඃ ඕං හ්‍රීං ශ්‍රියා දේවී කමලා දේවී ශ්‍රියා කාන්තා දේවී නමඃ ඕං ශ්‍රී අදර සක්ති කමලා සනාය නමඃ ඕං නමෝ රත්නත්‍රයාම් ශ්‍රියාදේවි ජය භූමි ජය දේවි සර්ව ජය සිද්ධිකාරී සර්ව සෞභාග්‍ය වෘධිකරී සර්ව ඓස්චර්ය (තමාගේ නම) මෙමා සිතූ අභිවෘද්ධියට කිරි මුහුද ගැලි ගැලී වාවා, ඕං නමෝ නමඃ ආදී ලක්ෂ්මි බන්ද ධාන්‍ය ලක්ෂ්මි, බන්ද ධෛර්යය ලක්ෂ්මි, බන්ද ගජ ලක්ෂ්මි, බන්ද සන්තාන ලක්ෂ්මි, බන්ද විජය ලක්ෂ්මි, බන්ද ධන ලක්ෂ්මි, බන්ද විද්‍යා ලක්ෂ්මි, බන්ද බන්ද ඒස්වාහඃ… (321 වර ජප කරගන්න)

 

මෙම යන්ත්‍රය සහ ශ්‍රී ලක්ෂ්මි අඳුන රන්, රිදී හෝ පස්ලෝ සුරයක පැලඳීමෙන් ශ්‍රී ලක්ෂ්මී බැල්ම වැටී ශ්‍රියාව ඇතිවී සියලු ආරක්‍ෂාව ලැබී ප්‍රධානීන්ගේ සිත් ඇඳ බැඳගැනීමට, නඩුවලින් ජය ලබන්නට, අංගම් පිල්ලු කොඩිවින නොවැදීමට, තම අභිමතාර්ථ ඉටුවීමට, ග්‍රහ දෝෂ විකාර දුරුවීමට, සතුරු පරාජයට, මහපොළොව සතු ඛනිජ වර්ග වන කළුගල්, ගඩොල්, උළු, මැණික්, මිනිරන්, ජලය, පිඟන් මැටි, වැලි ආදී ව්‍යාපාරිකයන්ට, වෙළෙඳ ව්‍යාපාරිකයන්ට දියුණුව ඇතිවී ගඟක් ගලා උතුරන්නා සේ ධන ධාන්‍ය භවභෝග, සැප සම්පත්, යස ඉසුරු ලැබෙයි. විවාහ ප්‍රමාද ස්ත්‍රී පුරුෂයන්ට වශී ආකර්ෂණය ඇතිවී වාසනාවන්ත විවාහ ඉටුවීමට, විභාග ජය ලබන්ට, පාඩම් හිටීමට, වෛද්‍ය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට, රැකියා ලැබීමට, තරග දිනා ජය ලැබීමට මෙම අඳුන සහිත යන්ත්‍ර රාජයා පැලඳීමෙන් ස්ත්‍රී, පුරුෂ සැමට යන යන තැන කේශර සිංහ රාජයකු මෙන් මහත් තේජස් ප්‍රතාප කීර්ති ආදියෙන් විරාජිත වෙයි. මෙම යන්ත්‍රය සහ අඳුන පලඳින විට සිකුරාදා දිනක කැඩපතින් මූණ බලා පලඳින්න. මන්ත්‍රවේදයේ ඇති උපදෙස් අනුව කරන්න. ශුභ පල උදාවේ.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යොතිෂඥවේදිනී අංක විද්‍යා විශාරද

සුජීවා කරුණාරත්න

 

[email protected]