වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
සැපය ගෙනෙන සුඛ රේඛාව

ඔබේ අත්ලේ චන්ද්‍ර මණ්ඩලයෙන් හෝ අත්ලේ අන් තැනකින් ආරම්භ වී බුධ මණ්ඩලය කරා විහිද යන රේඛාව බුධ රේඛාව හෙවත් සුඛ රේඛාව ලෙස හැඳින්වෙයි.
මෙම රේඛා මඟින් විශේෂයෙන්ම ලෙඩ රෝගාදී ජීවිතයේ අවදානම් අවස්ථා පෙන්නුම් කරයි. ඒ වගේම මෙම බුධ රේඛාව හෙවත් සුඛ රේඛාව සෑම දෙනාගේම අත්ලෙහි නොපිහිටන බොහොම දුර්ලභ ගණයේ රේඛාවක් බවත් මතක තබාගත යුතුය. තවද ශරීරයේ පීඩාවන්ට අහිතකර අන්දමින් බලපාන බව නම් පෙන්නුම් කෙරේ. මේ රේඛාව ශරීරයේ අක්මාව ආහාරපාන ආදිය ක්‍රියා කිරීම් පහසු කිරීම ආදියට මුල් තැනක් ගනියි. එසේම යම් හෙයකින් අතේ කෙළවර සිට මැණික් කටුව දෙසට ගමන් කළොත් විදේශ රටවල් කරා යාමේ සුඛ ඵල වාසනාව පවා අත්වේ.
සුඛ රේඛාව බුධ මණ්ඩලය කරා ගියහොත් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. එහෙත් මෙම රේඛාවේ බල බිඳීමෙන් උදරයට, අක්මාවට, ශරීරයට ආදී සෞඛ්‍යයට අහිතකර කරුණු ගෙන දේ. තවද මෙම රේඛාව යම් විදිහකින් බිඳී යාමක් පෙන්නුම් කළොත් ජීවිතයේ අවසානය පවා පෙන්නුම් කෙරේ. එසේම මෙම රේඛාවෙන් ශුභ පලත් අත්විය හැකියි. ගැඹුරට උඩුකුරුව මෙම රේඛා, විහිදී ගියහොත් හදිසි ධන ලාබ අත්වේ. යටිකුරු වීමෙන් බලවත් දුෂ්කරතා සිදු වේ.
බුධ රේඛාව හෙවත් සුඛ රේඛාව ගැන තවදුරටත් විස්තර කළහොත් මෙය ඇතැම් තැනක සෞඛ්‍ය රේඛාව ලෙස ද හැඳින්වෙයි.
ඔබේ චින්තන ශක්තිය, සෞඛ්‍යය, තරුණභාවය, සුවිශේෂ කෞශල්‍යයන් පිළිබඳ තොරතුරු ගෙන එන බුධ රේඛාව ජීවිතයේ බොහෝ සුවිශේෂ කටයුතුවලට රුකුලක් වෙයි.
සුඛ රේඛාව හැම අත්ලකම දක්නට නොලැබෙන බව මීට පෙර සඳහන් කළා. මෙම රේඛාව ඇසුරින් විශේෂයෙන් නිරීක්ෂණය කෙරෙන්නේ සෞඛ්‍ය තත්ත්වයයි. සුඛ රේඛාව නොපිහිටීම ප්‍රශ්නයක් හෝ අසුභයක් ද නොවේ. මන්දයත් සුඛ රේඛාව පිහිටා නැති බොහෝ දෙනෙක් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවිනි. එහෙත් ලෙඩ රෝග පිළිබඳ පූර්ව නිගමන ගැනීමේ මානයක් හෙවත් මීටරයක් ලෙස භාවිත කළ හැකි බැවින් මෙම රේඛාව පිහිටීම වඩාත් සුදුසු බැව් කිව යුතු වේ. කෙසේ වුවද චන්ද්‍ර මණ්ඩලයෙන් ඇරඹි සුඛ රේඛාව බාධකවලින් තොරව බුධ මණ්ඩලය කරා විහිදී ගියේ නම් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් යුතු වන බව හස්ත රේඛා ශාස්ත්‍රයෙහි නියමය වේ.
බුධ රේඛාවෙහි ශාඛාවක් ගුරු ශනි රවි මණ්ඩලය කරා විද ගියේ නම් මහා ධනවතෙක් කුසේ ශරීර සෞඛ්‍ය ද වර්ධනය වන බවට සලකුණකි.
අශුභ පල දෙන දැල් දම්වැල් කුරුස කතිර යනාදී ලක්ෂණ රහිත වීම්ද සුබපල දෙන ත්‍රිකෝණ චතුරස්‍ර ත්‍රිශූල යනාදී ලක්ෂණ සහිත වේද බුධ රේඛාව හෙවත් සුඛ රේඛාවෙහි ධනය බලය සහ සෞඛ්‍ය පිළිබඳ සුබ පල ප්‍රකට වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිනි
නිරංගා බාලසූරිය