සාපෙළට පිටවෙන්න ජය නැකැත්

(ප්‍රබල ජය මන්ත්‍රය මේ සමඟ)
මාර්තු 10, 2025

සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ දරුවෙකු ජීවිතයේ මුහුණ දෙන ප්‍රධානම කඩයිම් විභාගයක්. මෙම විභාගය සඳහා මුහුණදෙන සෑම දරුවෙකුටම ඇතිවන බය, චකිතය, මානසික අවපීඩනය, අමතකවීම් ආදි මානසික ගැටලු සඳහා ජ්‍යොතිෂ විද්‍යානුකූලව විවිධ ‘අභිචාරී’ ක්‍රම ඇත.


කඩයිම් විභාග ජය ගැනීමට, උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය, වීර්ය ආදී වචනවලින් හඳුන්වන ආත්ම විශ්වාසය තමා තුළ තිබිය යුතුයි. සෑම විටම බියක් නොමැතිව විභාගයට මුහුණදීමට අදිටන් කර ගනිමින් ආගමානුකූලව විවිධ අභිචාර ක්‍රමයන් ඔස්සේ විභාග භීතිය නැති කර ගැනීමට මේ ආකාරයෙන් පහසුවක් ලැබේ.

බෞද්ධ චාරිත්‍රවලට අනුව විභාග දිනවලට පෙර සිටම දිනකට වරක් හෝ බුද්ධ වන්දනාව සිදු කළහොත් එමඟින් සිතට ගතට ධෛර්යක් ලැබෙයි. පළමුව නමස්කාර කර පන්සිල් සමාදන් වී, තුණුරුවන් වන්දනා කර බෝධි පූජාවක් සිදු කරන්නේ නම් වඩාත් සුබදායක වේ.

විභාග දිනයේදී පිටත්වීමට පෙර සුදු මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නමැද මවුපියන් නමැද දකුණු පස පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරක් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකැතට හා දිශාවට අනුව පිටත්ව යන්න.

තුන්සූත්‍රය සහ ජය පිරිත, අටවිසි පිරිත වැනි පිරිත් සජ්ඣායනා කර

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උද්ඝෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්තු මය්හං

සුදු මල් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරට හමුවන ලෙස පිටත්වීම වඩා සුබදායකය.

ගණදෙවි සරස්වතී පූජාව

සූසැට කලාවට අධිපති සරස්වතී මෑණියන් මෙන්ම නුවණට, දැනුමට, බුද්ධියට අධිපති ගණපති දෙවියන් ද දරුවන්ගේ අධ්‍යාපනය, තරග විභාග ආදියේ උසස් ප්‍රතිපල ලබාගැනීමට නිවැරදිව ගණදෙවියන්ට හා සරස්වතී මෑණියන්ට පූජාවක් පවත්වන්නේ කෙසේදැයි විමසා බලමු.

මහා ශිව දෙවියන්ගේත්, මහා පාර්වතී මෑණියන්ගේත් පුත්‍රයෙකු වන, ගණේෂ, ගණපති, පිල්ලේයාර්, විනායක, යනාදී බොහෝ අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වෙන මහා ගණපති දෙවියන් දැනුමට, බුද්ධියට, ඥානයට අධිපති දෙවි වේ.

එමෙන්ම මනා ඉවසීමෙන් හෙබි දේවතාවන්ද ලෙසද ප්‍රචලිත මහා ගණපති දෙවියන් සෑම විටෙකම සතුටට ප්‍රකට වේ. ගණපති දෙවියන් දෙව්ලොව ඉතා බලසම්පන්න දෙවි කෙනෙකි. එම ක්‍රියාවෙන්ම පුරාණයේ සිට සම්ප්‍රදායක් ලෙසද සෑම පූජාවක් ආරම්භයේදීම ගණදෙවිඳුන්ට පුද පූජාවක් පවත්වා කටයුතු ආරම්භ කිරීම සිරිතකි.



විශ්වයේ පවතින සියලු කලාවන්ට සහ සකල විද්‍යාවන්ට අධිපතිනිය වූ මහා සරස්වතී මෑණියන් ලෝක නිර්මාපක වූ මහා බ්‍රහ්ම දෙවිඳුන්ගේ මහේෂිකාව වේ. ගණදෙවියන්ට ඥාතීත්වයෙන් නැන්දණිය වන බව පුරාණයේ සඳහන්ය. සියලුම අධ්‍යාපන, තරග විභාග ආදියේ ජය ලබාගැනීමට සරස්වතී මෑණියන්ගේ ආශීර්වාදය ලබාගැනීම මහත් පල සම්පන්නය. එබැවින් ස්වකීය ගෘහයේදීම සරස්වතී ගණදෙවි පූජාවක් පවත්වා ආශීර්වාදය ලබාගන්නේ කෙසේදැයි විමසීමක් කර බලමු.

දින තුනකට ප්‍රථමව මස් මාංශවලින් වැළකී නිවැසියන් ද මස් මාංශවලින් තොරවී පේවී සිටිය යුතුයි. පූජා දිනයට ප්‍රථමයෙන් කහ වතුරෙන් නි‍ෙවස පිරිසුදු කොට තමාද ස්නානය කොට පිරිසුදු විය යුතුයි. පසුව පූජාව පවත්වන ස්ථානයේද සුදුසු ලෙස මේසයක් හෝ තබා එය පුජාසනයක් බවට පත්කර ගණදෙවියන්ගේ, සරස්වතී මෑණියන්ගේ පින්තූර දෙකක් තබා මල් මාලා දෙකක් රූප දෙකට දමන්න. පහන් දෙකක් දල්වා සුවඳ දුම් පුදා, ඔබට හැකිනම් පළතුරු වර්ග 5ක් හෝ 7ක් ඇතුළත් පූජාවක් තැන්පත්කොට පහත සඳහන් ස්ත්‍රෝත්‍ර ගායනා කරන්න.

ගණපති දෙවි

ඥක්ලාම්භරම් ධරං විෂ්ණුම්
ශශි වර්ණ චතුර්භුජම්
ප්‍රශ්න්ත වදනම් ධ්‍යායෙන්
සර්ව විස්නෝප ශන්තයේ

අගජානා පද්මාර්තම්
ගජානා මහානිර්ශම්
අනෙක දන්ත භක්තානාම්
එක දන්ත මුපාස්මහෙ

ගණේස්වරො ඝන ක්‍රීටො
ගණනාථො ගණාධිප :
එක දන්තො චක්‍ර තුණ්ඩො
ගජ වක්‍ර මහොදර:

ලම්භොධරො ධූම වර්ණො
විලම්භීතො විඝන නායකො
සුමුඛො දර්මුඛො පුත්‍රො
විඝන රාජො ගජානන:

සරස්වතී මෑණියන්ට

ශාස්ත්‍රාගම ධාරී ගුණඥාන සම්ප්‍රයුක්තං
ලොකචාරි ප්‍රියංගනා විද්‍යාභාර ධාරං
විද්‍යාචාරි මනුෂ්‍ය මුඛසෙවිත නිත්‍යං
සරස්වතී දේවි සුර ආයතන ප්‍රවිශ්ටං

ශ්‍රී ධීධර ගීතිකාම මධුර ස්වර වාචං
ශ්‍රී හස්තක කීර පෝතක දෂ්‍යති නිත්‍යාං
ශ්‍රී මුඛ වාසානු බද්ධ මහා බ්‍රහ්ම රාජං
සරස්වතී දේවි පුෂ්ප ආසන ප්‍රවිශ්ඨං

විද්‍යාධර සකලා බහු ජනනායක වීරං
අන්‍යාධාරක විශ්‍රැත බහුජන මන ප්‍රීතිං
නිත්‍ය ස්වර ගීත ශාස්ත්‍ර ඡන්දස්‍යාධිපති
සරස්වතී දේවි පුෂ්ප ආසන ප්‍රවිෂ්ඨං

මෙම සියලු දිනයන් හිදී ශුභ නක්ෂත්‍ර හෝරාවක් තෝරා ගෙන දී ඇති දිශාවන් බලා විභාගය සඳහා නිවෙසින් පිටත්වීම සුබයි.
ස්වස්ථ සිද්ධිම් !

ඕම් නම: ශිවාය...!

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ

 

 

[email protected]